- Advertisement -

තද අව්වේ දරුවෝ යවනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

-

මේ දින වල විටින් විට වැස්සත් වැඩි වේලාවක් අධික සැර හිරු එළියක් තියෙන නිසා දහවල් කාලයේ නිවසින් පිටතට යාම හරිම අපහසුයි. මෙසේ වෙනස් වන කාළගුණික තත්ත්වයත් එක්ක ඇතැම් රෝග ව්‍යාප්ත වෙන ආකාරයත් දැකගන්න පුළුවන්. ඒ ලෙඩ රෝග වගේම සැඩ හරු රැස්වලට නිරාවරණය වීම නිසා සමේ රෝග ඇති වීමේ ප්‍රවණතාවයත් වැඩියි. කාලගුණික වෙනස් කම් අපේ සමට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා අපි දැනුවත් වෙමු.

වෛද්‍යතුමියනි, සැඩ හිරු රැස් අපේ සමට බලපාන්නේ කොහොමද?

- Advertisement -

මේ  දිනවල බොහෝ දුරට තියෙන්නේ වියළි උෂ්ණත්වය සහිත කාලගුණයක්. හිරු රැස් සැඩයි. මේ හේතුවෙන් වැඩිපුර දහඩිය දැමීම වගේම සැඩ හිරු රැස්වලට නිරාවරණය වීමත් සිදු වෙනවා. මේ හේතු දෙක නිසා අපේ සමේ යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි. 

හිරු කිරණ හැම විටම සමට අහිතකරද?

හිරු කිරණ හැම දෙනාටම සහ හැම විටම සමට අහිතකර නෑ. අපට අවශ්‍ය විටමින් ඩී විශාල වශයෙන් නිපදවන්නේ දහවල් හිරු කිරණ සමට පතිත වීම මගින්.  අප රටේ බහුතරයක් දෙනා විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව පරීක්ෂණ මගින් පෙන්වා දී  තිබෙනවා. එනිසාම අපේ ජනතාවගෙන් වැඩි පිරිසකට උදේ 10 සහ සවස 3 අතර විනාඩි 15 – 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම මගින් දෛනික විටමින් ඩී අවශ්‍යතාව සපුරා ගත හැකියි. නමුත් හිරු රැස් ඉතා තදින් පතිත වන විට සහ වෛද්‍ය උපදෙස් මත හිරු කිරණ වලට නිරාවරණය වීම නුසුදුසු අයට මෙම ක්‍රමයට විටමින් ඩී ලබා ගැනීමට උත්සාහ කිරීම සුදුසු නෑ.

දැඩි හිරු රැස්වලට නිරාවරණය වීම නිසා සමට සිදුවිය හැකි හානි මොනවද? 

දැඩි හිරු රැස්වලට නිරාවරණය වීම නිසා සමේ වියළි ගතිය වැඩි වෙනවා. ඒ වගේම දහඩිය දැමීම වැඩි වන නිසාත් සමේ තෙතමනය අඩු වෙලා සම වියලි වෙනවා. ඒ විතරක් නෙවෙයි, දහඩිය දැමීම වැඩි වුණාම දහඩිය බිබිලි ඇති වෙනවා වගේම තෙත් ගතිය වැඩි නිසා බිබිලි තෙත් ආසාදනය විය හැකියි. ඊට අමතරව විශේෂ හේතු මතත් සමට හානි විය හැකියි. 

සමට හානි විය හැකි විශේෂයෙන් ඇති වන තත්ත්ව මොනවද?

වියලි බව සහ වැස්ස නිසා සමහර කෘමීන් බෝ වෙනවා වැඩියි. මදුරුවන් වගේ ලේ උරා බොන සතුන් වැඩිපුර මේ කාලයේදී වැඩි වශයෙන් බෝ වෙනවා. මේ කෘමීන් දෂ්ට කිරීම නිසා අසාත්මිකතා ඇති විය හැකියි. සාමාන්‍යයෙන් අපපේ වැඩිහිටියෝ මදුරු බිබිලි, මදුරු ලප කියලා හඳුන්වන්නේ මේ වගේ තත්ත්ව. මේවා දරුවන්ගේ වගේම වැඩිහිටයන්ගේත් දකින්න පුළුවන්.

වියළි සුලඟ එක්ක වැලි දූවිලි ගෙදරට එනවා වගේ බල්ලෝ බළල්ලු වගේ සත්තූ නිවස තුළ නොසිටියත් මිදුලේ ඉන්නවා නම් ඒ සතුන්ගේ ඇ‍ගේ සිටින මැක්කෝ/කිනිතුල්ලෝ වගේ සත්තූ ගේ ඇතුලට එනවා ඉතින් ඒ වගේ අය නිසා ඇතිවන දශ්ට කිරීම් වුනත් මේ කාලයේදි දකින්න පුලුවන් . 

ඊටත් වඩා අපි දකිනවා දැන් සාමාන්‍ය විදුලු බල්බ විදුලි ආලෝකය බල්බය වටේට කැරකෙන චූටි කෘමී සත්තූ. මේ කෘමීන් අපේ ශරීරය මතුපිට පොඩි උනොත් (බොහෝ විට මෙය එසේ සිදු වන්නේ මදුරු දැලක් භාවිතා නොකිරීම නිසයි) හෝ නොදැනුවත්ව සතෙක් හමේ ගෑවුනොත්/ වැහුවොත් නින්දෙදි වුනත් ස්වභාවික ප්‍රතික්‍රියාවක් විදියට සිද්ධ වෙන්නේ පිස දා ගැනීඹයි. එහෙම නැත්නම් අතේ නැමෙන තැනකට ගියොත් එහෙම නැත්තම් ඇඟට යට වෙලා පොඩි වෙන්න පුළුවන්. මේ විදිහට පොඩි වුනාම පොඩි වතුර බිබිලි ඇති වෙනවා. ඒ බිබිලි ඉතාම තදින් කසනවා. දවස් කිහිපයකින් කෘමි සතා ගෑවුණේ නැති තැන්වලත් සමහර වෙලාවට බිබිලි ඇති විය හැකියි. ‍මෙහෙම වුණාම අපේ වැඩිහිටියෝ බොහෝ විට හිතන්නේ කැරපොත්තෙක් ගෑවිලා එහෙමත් නැත්නම් මුත්‍රා කරලා කියලයි. 

දැඩි හිරු රැස්වලට නිරාකරණය වීම නිසා චර්ම රෝග ඇති වීම වළක්වා ගැනීමට කළ යුත්තේ මොනවාද?

 පුංචි දරුවන්ගේ බොහෝ විට අපි දකින්නේ මුහුණේ සුදු පැහැති කසන සුළු ලප. මේවා අම්මලා හිතන්නේ අලුහම් කියලා. ඒත් මේ අලුහම් නෙවෙයි. අලුහම් කියන්නේ දිලීරයක් නිසා ඇති වෙන තත්ත්වයක්. මේ සුදු පැහැති ලප මුහුනේ උඩ කොටසේ ඒ කියන්නේ ඇස් අවට/කන්/කම්මුල්වල ඇති වෙනවා. බොහෝ විට නිකට පෙදෙසට වෙන්න මේ ලක්ෂණ බොහෝම අඩුයි. ඒත් බාහිරට නිරාවරණය වුනු ප්‍රදේශවල ලක්ෂණ පෙන්නුම් කරනවා.

බොහෝ විට මුහුණේ සුදු ලප ඇති වුණත් සිරුරේ අනෙක් ප්‍රදේශවල අපි අර කලින් කිව්වා වගේ සිරුරේ නිරාවරණය වන තැන්වල කැසීම සහිත බිබිලි ඇති වෙනවා. මෙතැනදී සිදු වන්නේ හිරු එළියට නිරාවරණය වීම නිසා සමේ වර්ණක යම් විනාශ වීමකට පිලිස්සීමකට භාජනය වීමයි. ඒ නිසා ප්‍රධාන දේ හිරු කිරණෙන් ආරක්ෂා වීමට යම්‍ යම් උපක්‍රම යොදා ගැනීමයි. 

දැඩි හිරු රැසෙන් ආරක්ෂා වීමට ‍යෙදිය හැකි උපක්‍රම මොනවාද?

හොඳට මුහුණට සෙවන වැටෙන විදිහට හොඳ තොප්පියක් පාවිචි කරන්න දරුවන්ට ඉගැන්විය යුතුයි. ඒ වගේම හැකි නම් හිරු ආරක්ෂක ආලේපනයක් පාවිච්චි කළ හැකියි. නමුත් හිරු ආරක්ෂක ආලේපන මිල අධිකයි. නිවැරදි විදියට හිරු ආරක්ෂක ආලේප පාවිව්චි කිරීම දරුවන්ට (විශේෂයෙන් කුඩා දරුවන්ට) අපහසුයි. ඒ ආලේපනය ටිකක් ඝනකමට ආලේප කළ යුතුයි. ඒ වගේම හැම පැය දෙකකට වරක් වගේ නැවත ආලේප කළ යුතුයි. කුඩා දරුවන්ට මේ දේවල් ගැන අවබෝධයක් නැහැ. එහෙමයි කියලා දරුවන්ගේ බාහිර ක්‍රියාකාකරම් නතර කළ යුතු නැහැ. ඒවා දරුවන්ගේ සංවර්ධනයට ඉතාම වැදගත් වෙනවා. අන්න ඒ නිසා දරුවන්ට මේ තත්ත්වය තේරුම් කරලා දීලා හිරු එළියෙන් හොඳට ආරක්ෂා වන ලෙස උපදෙස් ලබා දී තොප්පියක් පාවිච්චි කිරීමට හුරු කිරීම වඩාත් සුදුසුයි. වැඩිහිටියන් වුනත් තොප්පි/කුඩ පාවිච්චි කිරීම සහ තමන්ගේ ශරීරය හැකි තරම් ආවරණය වන ඇඳුම් ඇදීමට කල්පනාකාරී විය යුතුයි.

සමහර දෙමව්පියන් හිරු ආරක්ෂක ආලේප ගල්වලාම දරුවන් පාසැලට යවනවා. ඒත් නැවත නැවත මෙය අ‍ාලේප කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඔබ කියන විදියට එය අසාර්ථකයි නේද?

ඔව්.. සාමාන්‍යයෙන් දරුවන් පාසැලෙන් පස්සේ දවල් කාලෙ තමයි ක්‍රීඩා පුහුනු වීම් කරන්නේ. ඒ නිසා  උදේ දරුවා පාසලට යන කොට හිරු ආරක්ෂක ආලේපන ආලේප කර යැවීම තේරුමක් නැහැ‍. ඇත්තටම මේ වෙද්දී පාසැල් මට්ටමේ සිටම මේවා සම්බන්ධව යම් වෙනසක් ඇති විය යුතුයි. දෙමාපියන් විතරක් නෙවෙයි මෙතනදී ගුරුවරුත් උනන්දු විය යුතුයි. ගුරුවරුන්ටත් දරුවෝ එක්ක මේ හිරු එළියේ ඉන්න වෙනවා. ඔවුන්ගේත් ශරීරය හිරු එලියට නිරාවරණය වෙනවා. ඉතින් ගුරුතුමියගේ සිට පටන් ගෙන අපි හිරු ආරක්ෂක ආලේපන භාවිත කළ යුතුයි. දරුවන් හා ගුරුවරුන් මේ කටයුතු සදහා එළියට එන්නේ දහවල් 1.30, 2.00 වගේ නම් හිරු ආරක්ෂක ආලේපන භාවිත කළ යුත්තේ ඒ අවස්ථාවේදීයි. ඒ නිසා ගුරුවරු මේ ගැන දැනුවත් වීමෙන් ගුරුවරයාට තමනුත් ආරක්ෂා වෙලා දරුවනුත් ආරක්ෂා කරගන්න සහය විය හැකියි. 

අපේ ශ්‍රී ලංකා කණ්ඩායම මේකට හොඳම උදාහරණයක්. මොකද ඔවුන් ඉතා නිවැරදි විදියට හිරු ආරක්ෂක ආලේපන හරිම ක්‍රමයට පාවිච්චි කරනවා. ඔවුන් ගැල් වූ ආලේපනය සුදු පැහැයට පේනවා ඔබත් දැක ඇති. අනෙක් ක්‍රීඩාවලදීත් මේ ආකාරයට හිරු ආරක්ෂක ආලේපන භාවිතයට හුරු ‍විය යුතුය. 

දැඩි හිරු රැස් මේ තරම්ම අපේ සමට අහිතකර වෙන්න හේතුව මොකද්ද?

මේ ගැටලු එන්නේ පාරජම්බුල කිරණ නිසා. ඕසෝන් වියනට එන්න එන්නම හානි වෙනවා. ඒ නිසා අහිතකර කිරණ අපේ පොළොවට ළගා වීම එන්න එන්න වැඩි වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ රටවල සමේ පිළිකා හැදෙන ප්‍රමාණය පසුගිය අවුරුදු පනහ වගේ කාලය තුළ හත් අට ගුණයකින් වැඩිවෙලා. ඒ නිසා ඒ වගේ රටවල හිරු ආරක්ෂණ ආලේපන භාවිත කිරීම අත්‍යවශ්‍යම හැමෝටම වගේ දෙයක්. අපිටත් මේක පුරුද්දක් කරගත යුතුව තියෙනවා. මොකද හිරු කිරණින් අපට වෙන හානිය වැඩීයි. අපිට  සොබාදහම වෙනස් කළ නොහැකි නිසා සොබාදහමට අනුගත වෙන විදියට අපි අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article