- Advertisement -

ඔබත් දරුවා ලැබුණු බිරිඳට ආදරයෙන් සලකන සැමියෙක් වෙන්න

-

ප්‍රසූතිය හැම අම්මා කෙනෙකුටම දරාගන්න බැරි තරම් සංවේදී සිදුවීමක්. මේ සිදුවීමට මුහුණ දීමට ඇති වන යම් යම් බලපෑම් අම්මගෙ සිතිවිලි එක්ක ගළපා ගැනීමේ දී යම් යම් මත ගැටුම් ඇති වෙනවා. මේවා දරා ගැනීමට ගන්නා උත්සාහයේදී වටපිටාවෙන් ලැබෙන උදව් උපකාර අලුත් මවකට ලොකු පිටුවහලක්.

ජීවනී තම කුළුදුල් දරුවා ලැබීමට නියමිතව පැමිණියා. ඇයගේ කුළුඳුල් අත්දැකීම එක්ක දරා ගන්න වුන වගකීම් ගොන්න ඇයට ගෙනාවෙ මහත් බරක්. මේ නිසා ඇයට කනස්සල්ලක් සාංකාවක්  දැනෙන්න වුණා. ඒත් මේ සිතිවිල්ල යටපත් කරන්න ඇයගේ සැමියාට හැකි වුණා. ඒ ජීවනීගේ සැමියා හැමදාමත් තම බිරිඳ වෙනුවෙන් සිතා බලා කටයුතු කළ නිසයි. ඒ වගේම ගර්භනී වුණ දවසෙ ඉඳලම ඇය සමග සායනයට යන්නත් ඔවුන් සඳහා සකසනු ලැබූ පුහුණු වැඩසටහන් වලට ( පූර්ව ප්‍රසව සැසි ) සහභාගි වෙන්නත් ජීවනීගේ සැමියා අමකත කළේ නැහැ. මේ නිසා ප්‍රසූතියෙන් පස්සෙ අම්මට ඇතිවිය හැකි මානසික ගැටලු ගැන ඔහු දැන සිටියා. ඒ හින්දම ඔහු, ඔහුගේ බිරිඳට දැනෙන්න ආදරය කළා. හැම වෙලාවකදිම ඇයට උදව් කළා. ඒ වගේම කිසිම විටෙක ඔහු තම බිරිඳට අණ කිරීම් කළේ නැහැ. හැමදේම සිදු කළේ යෝජනාත්මක ආකාරයට පමණයි. ඒක කොහොමද කියනවා නම්… ජීවනී, ඔයාට දැන් ටිකක් අමාරුයි නේ… ඔයා ටිකක් හාන්සි වෙන්න, මම දරුවාව බලාගන්නම්… 

- Advertisement -

ඒ වගේම දරුවාගේ රෙදි ටික සෝදද්දීත් අම්මට විවේකයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි කැමති අකමැති දේවල් ගැන හොයලා බැලුවා. දරුවාට කිරි දෙන කොට වුණත් බබාව අල්ලගන්න උදව් කළා. කිරි දීලා ඉවර උනාමත් බබා අල්ලගෙන ඉඳලා ඔයාගේ අත රිදෙනවා ඇතිනෙ කියලා බබාව අරගෙන ගුඩුස් යවන්න තියා ගත්තා. ඇත්තටම දරුවා තාත්තගේ පපුවට තුරුළු වෙලා ඉන්න විදිය දැක්කහම ඒ බැඳීම් ගැන ඇයට ඇති වුණේ මහත් සතුටක්.

දරුවා අඬන බොහෝ වෙලාවට දරුවාව බලාගන්න සැමියා ඇයට උදව් කළා. ඒ වගේම ලබාගත් සෞඛ්‍ය දැනුම දෙන්නත් එක්ක කතා කරලා බෙදා හදා ගත්තා. ඒ නිසා කිරි දෙන විදිහ, කාලය, ඉරියව් ගැන සාකච්ඡා කරමින් උදව් කළා. ඒ වගේම කිරි දෙන කාලයේ අම්මට ඕනේ කරන අතිරේක පෝෂණය ගැනත් හොයලා බැලුවා. ඒ එක්කම කිරි වැඩෙන ආහාර ගැන සොයා බලා ඒවා ලබාදෙන්නට උනන්දු වුණා. 

සෑම මවකටම ප්‍රසූතියෙන් පසු පෝෂණය ,විවේකය වගේම වැඩපිළිවෙළේදී කාර්යය පහසු කර ගන්නට හැකි ක්‍රමවේද මෙන්ම උදව්ව ද ඉතාමත් වැදගත්. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සැලසුම් සහගත ලෙස කටයුතු කිරීමයි. සැලසුමක් තුළ වැඩ පිළිවෙළයි. ඒ නිසා කාලය, ශ්‍රමය වගේම මුදලත් ඉතිරි වෙනවා. ඒ විතරක් නෙමෙයි හැමෝගෙම සහභාගිත්වයෙන් කාර්යයන් බෙදා හදා ගැනීමත් මේ සැලසුම් තුළ තියෙනවා. එහෙම උනාම සියලුම දේ පිළිබඳ වගකීම අම්මාට පමණක් එන්නෙ නෑ. පවුල් ජීවිතය තුළ ඇති මේ සංවිධානාත්මක බව මානසික යහපැවැත්මට දැඩි  සේ බලපෑමක් ඇති කරනවා.

රෝහල් පරිසරය තුළ ගොඩනගා ගත යුතු සම්බන්ධතා පිළිබඳව පූර්ව ප්‍රසව සමය තුළදී ලබා ගන්නා දැනුවත්භාවය ද ඉතා වැදගත්. මෙසේ හෙයින් රෝහල තුළ පවත්වන වැඩසටහන් වගේම පූර්ව ප්‍රසව සමය තුළ මවට පියාට රෝහල පිළිබඳව එහිදී ලබා දෙන සේවාවන් හා සම්බන්ධ ස්ථාන මෙන්ම රෝහල තුළදී තමාගේ කාර්යය අන් අයට සහයෝගයක් දක්වමින් කරගන්නා අන්දම පිළිබඳව රෝහල තුළදී දැකබලා අත්විඳීමට ලබා දෙන අවස්ථාවන් වගේම රෝහල් කාර්යමණ්ඩලයේ කාරුණිකව සහයෝගය ලබා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා.

සාමාන්‍ය නිවසක් තුළ තමාට සිතැඟි පරිදි කටයුතු කරන්නට ලැබීමත් සෑම දෙනාගේම ආදරය කරුණාව හා රැකවරණය ලැබෙන බවට සහතික වීමත් සමගින් ප්‍රායෝගිකව පසු ප්‍රසව සමයට සූදානම් විමට ඒ පිළිබඳව ලබාගන්නා දැනුම ආකල්ප මෙන්ම ඒ ඒ අවස්ථාවන්හිදී ඇතිවන බලපෑම් වල ප්‍රතිවිපාක දැන සිටීමත් මගින් මානසික පීඩනය අවම කරවා ගත හැකි මෙන්ම සෑම ගැටලුවක දී ම නිශ්චිත විසඳුමක් සඳහා මගක් ඇති බවත් ඒ සඳහා අත්නොහළ උත්සාහයේ වැදගත්කමත් පවුල තුළ ජනිත කරවීමට හැකි පසුබිමක් සෑම නිවසක් තුළම ගොඩ නැගිය හැකි නම් එය සාර්ථක බවට පිටිවහලක් වනවා නොඅනුමානයි.

එමෙන්ම වේදනාකාරී අත්දැකීමකින් පසුව අවශ්‍ය වේදනා නාශක ලබා දීමත් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුළින් වේදනා සඳහා ප්‍රතිඵලයක් අත් කරගත හැකි බවටත් මව්වරුන් හට දැනුමක් ලැබීම ඉතාමත් වැදගත්.

නින්ද, ආහාර ,ජලය, ඇඳුම් පැළඳුම් ,ස්නානය ආදී ලෙසින් ගත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි පරිසරයක් ගොඩනගා ගැනීමටත් ඒ ඒ අවස්ථාවන්හිදී සහාය ලැබෙන බවට දැනෙන සහතිකයක් මගින් මවට දැනෙන මානසික අස්වැසිල්ල සුළුපටු නොවෙයි.

හැම ජීවිතයක්ම ජීවත් කරවන්නේ බලාපොරොත්තු ව තුළින් හෙයින් සියලු බලාපොරොත්තු සඳහා සාර්ථක විසඳුම් ලබාගත හැකි පරිසරයක් ගොඩනැගීම එනම් සියලු කටයුතු සඳහා උදව් ලැබෙන බවටත් දුක් වේදනා දරා ගැනීමේ දී සහයෝගය ලැබෙන බවටත් ඒත්තු ගැන්වීම මවගේ මානසික සහනය ඇතිවන බවට හොදම සාක්ෂිය වේවි. මෙසේ හෙයින් අපි සියලු දෙනාම එක්ව අනාගතයට යහපත් දරුවකු තනන මවකට සියලු අවස්ථාවන්හි දී අත්‍යවශ්‍යම පුද්ගලයා වෙමින් දැනෙන සාංකාව කණස්සල්ය නැති කරමින් සිතට දිරියක් වෙමු.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article