- Advertisement -

දත් එද්දි දරුවන්ට උණ ගැනෙනවා කියන්නේ ඇත්තක්ද?

-

කිරි සිහින දකින්නට පෙරුම්පුරන සෑම මවකගේම බලාපොරොත්තුව නිරෝගී දරු උපතක්. ඒ කියන්නෙ සියලු අගපසග සම්පූර්ණ දරුවෙක්. එහෙම බලාපොරොත්තු වෙන දරු උපතකට සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම කල ලෑස්ති වෙන්න් බලාපොරොත්තු ගොන්නක් හිත දරාගෙන. ඒ බලාපොරොත්තු මල්පල ගැන්විලා දරුවන් එක්ක ගතකරන ජීවිතයේ ඊලග පියවරයන් වෙන්නෙ දරුවගෙ හැකියාවන් දක්ශතාවන් වගේම ඒවට ඕන අවයව වල වර්ධනය දැක්ම. ඒ කියන්නෙ අම්මා එක්ක හිනා වෙන එක, අම්මා තාත්තා ආච්චි සීයා අදුරන එක, වටපිටාව පිළිබදව අවධානය යොමුකරන එක, මාස 6ක් සම්පූර්ණ වුන ගමන් ආහාර ගන්න පටන් ගන්න එක, ඒ වෙනකොට දරුවන් අම්මා තාත්තා කෑම කන දිහා බලාන ඉන්නවා, අත දික්කරනවා, එහෙම කරලා එයාත් කෑම කන්න සූදානම් වෙනවා. එතකොට අපිත් සූදානම් ඊට. මෙන්න මේ ආහාර පටන් ගන්න කාලෙ එහෙමත් නැත්තම් ආහාර පටන් අරන් ටික දිනකින් ඒ කියන්නෙ මාස 6, 7 වෙනකොට තමයි දරුවගෙ මුල් දත් මෝදු වෙන්නෙ.

මේ දත මෝදුවෙන්න එච්චර කාලයක් ගියාට දත් නිර්මාණය පටන් ගන්නෙ මව් කුස තුල සිටියදීමයි. සංසේචනය වෙච්ච කලලයක් ගර්භාෂයේ තැන්පත් වෙන්නෙ සෛල ගොනුවක් හැටියට. කලලය සති 4 – 6 යනකොට අනෙක් අවයව නිර්මාණය පටන් ගන්නවා. ඒ නිසා මව්කුස තුලදී දත් නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙම නිර්මාණය වෙච්ච දත් මෝදු වෙන්න පටන් ගන්නෙ මාස 6 – 7 දී. එතකොට දරුවා ආහාර පටන් අරන්.

- Advertisement -

මේ දත් මෝදුවෙන්න කලින් අපිට දකින්නට ලැබෙන දේ තමයි දරුවා හපන්න උත්සහ කරනවා. අහුවෙන හැම දේම කටේ දාගන්න බලනවා. එහෙම වෙන්නෙ දත් මෝදු වෙන්න කිට්ටු වෙනකොට විදුරු මස තුනී වෙනවා. මේ නිසා දරුවට දැනෙන සංවේදනය නිසා විදුරුමස් වල කසන ගතියක්, පුපුරු ගහන ගතියක් වගේ වේදනාවක් දැනෙන්න පුලුවන්. මෙන්න මේ වේදනවා තමයි අපි දකින්නෙ දරුවා හපන්න උත්සහ කරන එකෙන්. අත කටට දානවා, අම්මා කිරි දුන්නම අම්මගෙ තනපුඩු පවා හපන්න ගන්නවා, එහෙම කරන්නෙ ඒ එයාට දැනෙන සංවේදනය හින්දා.

ඒ විතරක් නෙමෙයි සමහර විට කට දෙපැත්තෙන් කෙල වැක්කෙරෙනවා දකින්න පුලුවන්. එහෙම වෙන්නෙ දත් මෝදු වෙද්දි දැනෙන සංවේදනය නිසා දරුවා විදුරුමස් තද කරමින් කරන ක්‍රියාකාරකම් නිසා. තදින් විදුරුමස් තද කරලා ඒ වේදනාව විදගන්නයි උත්සහ කරන්නෙ. මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනෙ.

මේ විදියට වේදනා විදින දරුවගෙ විදුරුමස් ටිකක් තද ගතියෙන් යුක්ත විය හැකියි. විදුරුමස් තුනී වෙලා දත මෝදුවෙන්නෙ විදුරුමස් පලාගෙන. විදුරුමසේ තද ගතිය නිසා මේ ක්‍රියාවලිය සිදුවෙද්දි දරුවට තද වේදනාවක් දැනෙනවා. විදුරුමසින් පමණක් නෙමෙයි මේ වේදනාව දැන්නෙ හක්ක දෙපසිනුත් දැනෙනවා. මේ වේදනවා නිසා දරුවට උණ ගන්න පුලුවන්. මෙහෙම කිව්වට හැම දරුවටම උණ එන්නෙ නෑ. ඒක තීරණය වෙන්නෙ විදුරුමසේ තද ගතිය නිසා ඇතිවන වේදනාව අනුව. දතක් මෝදුවෙද්දි සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යයනය කරාම ඒ දිනවල දරුවා වේදනාවෙන් ඉන්නවනම් උණ ගන්නවනම් දෙමව්පියන් මේ තත්ත්වය තේරුම් ගන්න ඕනෙ. දරුවට උණ 100°C වලට වඩා වැඩි වෙනව නම් පැරසිටමෝල් දෙන්න පුලුවන්. එහෙම දුන්නත් උණ වැඩි වෙනව නම් හෝ වැඩි අගයක් එනම් 100°C වඩා වැඩි වෙනව නම් දරුවා වේදනාවෙන් ඉන්නවා තේරෙනව නම් හොදම දේ වෛද්‍ය උපදෙස් ගැනීම. ඒ වගේම මේ දිනවල දරුවට ටිකක් බුරුලට මලපහ පිටවීමක් වෙන්නත් පුලුවන්. ඒකත් මේ තත්ත්වයට හේතුවක් වෙන්න පුලුවන්. ඒ ශරීර වේදනාවන් නිසා ඇතිවන ක්‍රියාකාරිත්වයක් වගේම නිතර නිතර අතට හසුවෙන දේවල් කටේ දමා ගැනීම නිසා විශබීජ ශරීර ගත වෙලා නිසා වෙන්නත් පුලුවන්. මේ වගේ ලක්ශණ අධ්‍යානය කිරීම හරිම වැදගත්. මොකද ඒක දරුවා ඉන්න අපහසුතාවය තේරුම් ගැනීමට එක් හේතුවක් වෙනවා.

දත් නිර්මාණය කලලයේ සති 4 – 6 දි වගේම මුල්ම දත මෝදුවෙන්නෙ දරුවට මාස 6-7 වගෙ.බොහෝවිට මුලින්ම එන්නෙ කෘන්තක දතක්. ඒක උඩු ඇන්දේ හෝ යටි ඇන්දේ වෙන්න පුලුවන්. හරිම හුරතල් බවක් පෙනෙන හරිම සුන්දර දසුනක් මේක. ඇත්‍තටම දරුවා මේ දත පෙන්නා සිනාසෙද්දි මව්වරුන්ට දැනෙන ප්‍රීතිය ගැන කියන්න වචන නෑ.

මුල් දත මතු වූ පසු ක්‍රමයෙන් කෘන්තක දත් 4ක් රදනක දත් දෙකක් හා චාර්වක දත් 4ක් ලෙසින් එක ඇන්දක දත් 10 ලෙසින් දත් 20 වයස අවුරුදු  2 1/2 දි පමණ දකින්නට පුලුවන්. එහෙම වුනත් දරුවා ගර්භාෂය තුලදී ලද පෝෂණය, පෝෂකාංග උරාගැනීමෙ හැකියාව මත දරුවා‍ගෙන් දරුවාට මේ කාලයන් වෙනස් විය හැකියි. ඒ සදහා විශේසිත වූ හේතු දෙකක් දැක්විය හැකියි.

  • පාරම්පරිකව බලපෑම
  • පෝශණීය ගැටලු

පාරම්පරික ලක්ෂණ නිසා දත් ඒම ප්‍රමාද වෙන්න පුලුවන්. ඒක ඒ දරුවගෙ ආරය වගේම නිසි පරිදි ගර්භණී කාලය තුලදී මවට අවශ්‍ය පෝශණය නොලැබීම නිසාත් විය හැකියි. දත්, නිය ආදී සියල්ල නිර්මාණයට අවශ්‍ය  ප්‍රෝටීන් ආහාර වගේම කැල්සියම් වැනි ලවණ ඒ වගේම ප්‍රෝටීන් හා කැල්සියම් සමග සම්බන්ධ වන විටමින් C, විටමින් D වැනි විටමින් ඌණතා මවට දැඩි ලෙස වී නම් එහි ප්‍රතිපල දරුවාට බලපෑමක් ලෙස දත් ඒම ප්‍රමාද වෙන්න පුලුවන්. මේ නිසා ගර්භනී සමය පුරාවටම මවට අවශ්‍ය පෝෂණය සැපයීම සැමියාගේ මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේද වගකීමක් මෙන්ම එය සමාජයීය වගකීමක්ද වෙනව. ඒ වගේම මේ කාලය තුල මවගේ රුචි අරුචිකම් අනුව පෝශණය පහසුවෙන් ලබාගත හැකි ආහාර පිළිබදව අවශ්‍ය දැනුම මවට, පවුලට ලබාදීම වැදගත් වනවා.

මෙම මාස 6න් 7න් පටන් ගෙන එන දත් අපි හඳුන්වන්නෙ කිරිදත් ලෙසිනුයි. කිරිදත් ස්ථිරවම තියෙන්නෙ නෑ. මේ දත් අවුරුදු 7 දි 8දි  කටෙන් ඉවත් වෙනවා. ඊට පස්සෙ අපිට ස්ථිරවම දත් ලැබෙනවා. ඒ කලින් තිබුණු දත් 20 වෙනුවට නව දත් 32ක්. මේ ස්ථිර  දත් වලින් පළමු දත අවුරුදු 6දී පමණ එනවා වගේම අවුරුදු 9 දී පමණ කිරිදත් ගැලවී ස්ථිර දත් මතුවෙනවා. කිරි දත් ගැලවී ගියද ඒ දත් පවතින කාලය තුලද දන්ත සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. පළමු දත මතු වූ දා සිටම දත් පිරිසිදු කිරීම පටන් ගත යුතුයි. ඒ දත මතුපිට රැදෙන ආහාර නිසා දත ඉක්මනින් දිරවීමකට ලක්විය හැකි නිසා දත් නිසි වේලාවට දත මතුපිට සිහින් රෙදි කඩකින් පිසදැමීම කල යුතුයි.

දත් කිහිපයක් මතුවූ පසු කුඩා බුරුසුවකට දත් බෙහෙත් යොදා දත් මැදීමත් දරුවා ඊට සහභාගී කර ගැනීමත් කලයුතු වනවා සේම දත් මැදීම හෝ දත් පිරිසිදු කිරීම දරුවාට කරදරයක් නොවන ලෙසට හා එය විනෝදාංශයක් ලෙස සලකා පුරුදු පුහුණු කිරීමත් දරුවන් සඳහා ආදර්ශයක් වන සේ වැඩිහිටියන්ද මේ ක්‍රියාවලියේ යෙදීම වැදගත්. එසේම දරුවා අතට බුරුසුවක් ලබාදීමත් දරුවාට තනියම දත් මැදීමට පුරුද්දක් හා හුරුවක් ඇති කිරීමත් එකසේ වැදගත් වනවා. බුරුසුව දරුවාට හානි නොවන සේ භාවිත කිරීමට උනන්දු කරමින් නිරන්තර ආරක්ෂා සැපයීමත් වැඩිහිටි අප සැමගේම වගකීමක්.

දතක බාහිරයෙන් පිහිටා ඇති එනමලය කිරිදත් වල තුනීවට ඇති අතර ස්ථිර දත්වල ඊට වඩා ඝනව සැකසී ඇත්තෙ ජීවිත කාලයටම දතේ ආරක්ෂාවට වැදගත් හෙයින් සේම කිරිදත් වල මුල් කෙටි හා ඇතුලත විහිදී නැති අතරම ස්ථිර දත්වල මුල් එකිනෙක යටට විහිදී තිබීමත් දතේ ආරක්ෂාකාරී පැවැත්මට බලපැවැත්වෙන ලෙසටයි. එසේ වුවද කිරිදතක් ආරක්ෂා කිරීම වැදගත් වනවා.එසේ වන්නෙ අකාලයේ කිරිදත් දිරීමට ලක්ව  කැඩී ගියහොත් ඒ නිසා හනුවේ විවරයට සිදුවන බලපෑම නිසා ස්ථිර දත් පැමිණීමේදී එහි පිහිටීමේ යම් යම් දෝෂ ඇතිවිය හැකි නිසායි.එසේ වුවද වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුව නිසා ගැලවෙන දත් නැවත සිටුවීමට ද දත්වල පිහිටීම වෙනස් කිරීමට හනුවේ ස්වාභාවය වෙනස් කිරීමට හැකිලෙස වෛද්‍ය විද්‍යාව දියුණුව තිබෙනවා.

කුඩා වියේ සිටම දත් රැක ගත යුත්තේ ඇයි?

දත්, ජීරණ ක්‍රියාවලියට පහසු වනසේ ආහාරය කුඩා කැබලි වලට කැඩීම, ඉරා ගැනීම ආදිය සිදු කරන්නේ දත් වලිනි. එසේ ආහාරය කුඩා කැබලි බවට පත්වී මුඛය තුළ දීම ජීරණ ක්‍රියාවලිය ආරම්භ වනවා සේම  ආහාර මාර්ගය දිගේ එය ගමන් කිරීමටද පහසුව සලසනවා.

දත්වල පිහිටීම අපේ කතන හැකියාව ඇති කරමින් වචන, ශබ්ද උච්චාරනය සදහා ද බලපෑම් එල්ල කරනු ලබනවා.

මුහුනේ ස්වරූපය හා ස්වාභාවය ඇති කිරීම වෙනුවෙන්ද දත්වල පිහිටීම බලපෑමක් එල්ල කරනු ලබනවා. එසේ හෙයින් මුහුණේ ස්වරූපයේ වෙනසක් සිදුකිරීමට අවැසි වූ විට හනුවේ ශල්‍යකර්ම මගින් එය කිරීමට හැකියාව තිබෙනවා.

මෙසේ සලකා බලන කල දරුවෙකු මෙලොව එළිය දැකීමේදී වේදනාවට මුහුණ දෙන්නේ යම් සේද දත් මෝදුවීමේදීද වේදනාකාරි අත්දැකීමකට මුහුණ නෙු ඇත. ශරීර පද්ධති හා සලකා බලන කල වැදගත් අංගයක් ලෙස දත් හා මුඛ සෞඛ්‍යද සැලකිය හැකියි. සෑම රෝහලකටම දන්ත සායනයක්, වාට්ටුවක් පිහිටුවීම මගින් මෙන්ම වෙනම දන්ත රෝහලක් පිහිටුවීම තුලින්ද එය අපට මනාව පැහැදිලි වනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article