- Advertisement -

ගැහැණු දරුවන් වැඩි වියට පත්වන්න සුදුසුම වයස කුමක්ද?

-

ගැහැණු හෝ පිරිමි දරුවන් ඕනෑම අයකුගේ ජීවිතය තුළ සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස මල්වර වීම හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයටම පොදු කාරණාවක් වන මල්වර වීම එනම් වැඩිවියට පත්වීම විශේෂිත ලෙස සළකනු ලබන්නෙ ගැහැණු දරුවන් සම්බන්ධයෙන් වීම සුවිශේෂි කරුණකි. 

උපන් දරුවෙකු ඇවිදීම, බඩ ගෑම ආදී ලෙසින් සුවිශේෂී වූ අවධි පසුකරමින් ගමන් ගන්නා මගේ ළදරු වියෙන් ළමා වියට පියමන් වී ඉන් යොවුන් වියට පිවිසෙන විට දෙමාපියන්ගෙ මිලග බලාපොරොත්තුව දරුවන්ගේ මල්වර වීමයි. ගැහැනු දරුවෙකුගේ මල්වර වීම හෙවත් වැඩිවියට පත්වීම ලෙස හදුන්වන්නෙ පළමු ඔසප් වීමෙ දිනයයි.

- Advertisement -

සෑම දරුවෙකුගේම ජීවිතයේ මුල් අවධිය ළදරු අවධිය ලෙසත් අවුරුදු 1 – 5 අතර කාලය පෙර පාසල් වලින් 5 සම්පූර්ණ වූ පසු ළමාවියටත් එළබෙනු ලබන අතර අවුරුදු 10 – 19ත් අතර කාලය නව යොවුන් විය ලෙසින් හදුන්වනු ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව වයස අවුරුදු 1019ත් අතර කාලය යොවුන් විය ලෙස හදුන්වනු ලබනවා.

පුද්ගලයකුගේ ජීවන චක්‍රය තුළ ළදරු වියේදී සීඝ්‍ර වර්ධනයක් පෙන්වන්නේ යම් සේද යෞවන අවධියද සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන කාල සීමාවක් වනවා. යොවුන් වියේ ආරම්භය ලෙස එනම් යෞවනෝදයට පත්වීම එනම් මල්වර වීම නව යොවුන් වියේ වැදගත් සංධිස්ථානයක් මෙන්ම පරිවර්තන කාලසීමාවක් බවටද පත්ව තිබෙනවා. මෙම මල්වර වීමද හඳුනා ගනු ලබන්නෙ පලමු ඔසප්වීම  සිදුවන නිසයි. මෙය මගින් දරුවන්ට කායිකව මානසිකව හා සමාජයීයව ඇතිවන වෙනස්වීම මගින් දරුවන්ගෙ මෙම කාලසීමාව හදුනාගත හැකිවනවා.

දරුවකුගේ වැඩිවියට පැමිණීමට එම දරුවාගෙ පෝශණ තත්ත්වයද බලපෑමක් ඇතිකරනු ලබනවා සේම දෙමාපිය ආරය මගින් රැගෙන ආ ජානමය ලක්ශණ හේතුකොට ගෙනද වැඩිවියට පත්වනු ලබන කාලය තීරණය කරනු ලබනවා. මව්පිය උරුමය මගින් ලැබූ ජානමය සාධක අනුව දරුවාගෙ වැඩිහිටියන්ගෙ පරම්පරා තුල වැඩිවිය පත්වීමට ලක්වූ වයස් මෙම දරුවාටද ඒ ලෙසින් පිහිටීමට හේතුව වනුයේ එය ජානමය වශයෙන් සිදුවන බලපෑම නිසයි. එමෙන්ම දරුවාගෙ ශරීරය තුල සිදුවන හෝමෝන ක්‍රියාවලින්ද මේ සදහා බලපානු ලබනවා. මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරනු ලබන හෝමෝන මගින් දරුවාගෙ ප්‍රජනන පද්ධතිය හා සම්භන්ද හෝමෝන ස්‍රාවය කිරීමට කරනු ලබන බලපෑම හේතුවෙන්ද දරුවන් යෞවනෝදයට පත්වනවා. මේ සදහා හදුනා ගතහැකි මූලික ලක්ෂණ වශයෙන් ද්වීතීක ලිංගික ලක්ශණ පහලවීමද දැකිය හැකියි.

නවයොවුන් වියේ ආරම්භයේ පළමු ලිංගික ලක්ශණ ඇතිවීම ලෙස ඩිම්බකෝශ හා ගර්භාශයේ වර්ධනය සිදුවනවා. එසේම මේ ක්‍රියාවලිය සමගම එයට බාහිරව පෙන්නුම් කරනු ලබන ලක්ෂණ ලෙසින්  ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන්නට ගන්නවා. මේ ලක්ෂණ පහළ වීම මගින් යෞවනෝදයට පත්වීමේ පෙරනිමිති පහළ කෙරෙනවා. එම ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරීම මගින් වැඩිවියට පත්වන වයස හදුනාගත හැකිවනවා.

එම ලක්ෂණ ලෙසට, 

  • ගැහැණු දරුවන්ගෙ සිරුරේ හැඩය වෙනස් වීම
  • උසින් බරින් වැඩිවීම
  • පියවුරු විශාල වීම
  • උකුල් පලල් වීම
  • කටහඩ මිහිරි වීම
  • ලිංගේන්ද්‍රියන් සහ අත් යට රෝම ඇතිවීම දැක්විය හැකියි.

මෙම ලක්ශණ ද්වීතික ලිංගික ලක්ශණ ලෙස හදුන්වනු ලබන අතර එම ලක්ශණ මගින් මල්වරවීමට ආසන්න බව පෙන්නුම් කරනු ලබන හෙයින් දෙමාපිය වැඩිහිටියන් මේ කාලසීමාව තුලදී වැඩි උනන්දුවකින් හා උවමනාවකින් මේ දෙස විමිසිලිමත් වෙනවා. සාමාන්‍යයෙන් මේ කාලය දරුවන්ගේ ජීවිතයේ අවුරුදු 11 – 12 වන කාලයක් වනවා. බොහෝ දරුවන් මේ වයස් වලදී වැඩිවියට පත්වෙනවා. 

නමුත් තවත් කොටසකගේ මෙම කාල සීමාව මීට වඩා පසුව සිදුවනවා. වසය අවුරුදු 16 – 17 දීත් වැඩිවියට පත්වූයේ නැත්තම් එය ප්‍රමාද වීමක් ලෙස හදුනාගනු ලබන අතරම ඒ පිළිබදව සැලකිලිමත්ව සොයාබැලීමේදී පවුල් ආරය විසින් ලැබුණු ජානමය ලක්ශණයක් ලෙස හෝ පිටියුටරි ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වයේ ගැටලුවක් ලෙසද මෙය හඳුනාගත හැකිවෙනවා. මෙය සාමාන්‍යයෙන් හඳුනාගත හැක්කෙ එනම් මල්වරවීම ප්‍රමාද බව හදුනාගත හැක්කෙ වයස අවුරුදු 14 වනවිටදීයි. එනම් ද්වීතික ලිංගික ලක්ශණ පහලව නොතිබීම මගිනුයි. එමෙන්ම දරුවන්ට කුඩා කල සිටම මුහුණ දීමට සිදුව ඇති ආතති තත්ත්වයන් හෝ හෝමෝන ක්‍රියාවලි වල දුර්වලතා හෝ වෙනස්කම් පිලිබිබු කරනු ලබන මුහුණේ රෝම වර්ධනය වීම, තද හිසරදය, මත්පැන් සදහා ඇබ්බැහි වීම මෙන්ම උදරාබාධ පැවතීම හේතුවෙන්ද විය හැකියි.

එසේම අන්තරාසර්ග පද්ධතියෙ දුර්වලතා හෝ ගැටලු නිසා ශරීරය තුල ක්‍රියාත්මක වන දුර්වල හෝමෝන ක්‍රියාකාරිත්වයද මේ සදහා තදින්ම බලපානු ලබනවා.

මෙවැනි තත්ත්වයකදී මෙය හදුනා ගැනීම සදහා සායනික පරීක්ශණ සදහා යොමුකිරීම වැදගත්වන හෙයින් ඒ සදහා දරුවන් යොමු කිරීම කලයුතු වනවා.එහිදී දරුවාගෙ උස,බර,මෙන්ම උසට සරිලන බර බැලීමත්,රුධිර පරීක්ෂාව මගින් රුධිරයේ හිමොග්ලොබින් එනම් HB බැලීමත් TSH නම් හෝමෝන බලපෑම බැලීමත් සිදු කරයි.මේ මගින් පෝශණ අවශ්‍යතා නොසැපිරීම හෝ හෝමෝන ක්‍රියාවලිවල බලපෑම හදුනාගැනීම සිදුකරනු ලබයි.

එමෙන්ම දීර්ඝ කාලිනව රෝගයකින් පෙලෙන දරුවන්ටද වැඩිවියට පත්වීම ප්‍රමාද වීමේ ප්‍රවණතාවක් පවතී. එමෙන්ම Turner syndrome නම් රෝගී තත්ත්වයේදී දරුවාගෙ ඩිම්බකෝෂ ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුනොවීම හේතුකොට ගෙන මල්වර වීම ප්‍රමාද විය හැකි වනවා මෙන්ම කලාතුරකින් හදුනාගත හැකි මොලයේ ගැටිත්තක් එනම් පිළිකාවක් වැනි තත්ත්වයකදීද මෙසේ ප්‍රමාද විය හැකියි.

මෙසේ වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට හේතුව පෝෂණය අඩුකම හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් හේතුකොටගෙන නම් මල්වර වීම ප්‍රමාද වීම පසුව බලපෑම් ඇති නොකරන නමුදු ඩිම්බකෝෂ වල හෝ හෝමෝනමය ගැටලුවක් නිසා තම අනාගත දිවියේ ගැටලු ඇතිවිය හැකියි. මෙවන් අවස්ථාවලදී ස්ත්‍රී හෝමෝන ලබාදීම මගින් ඔසප් සිදුවීම සදහා හෝ ආර්තවය සදහා බලපෑම ඇතිකල හැකිවුවද අනාගතයේ ගැබ් ගැනීමෙ ක්‍රියාවලිය සිදුවීම සදහා එමගින් බලපෑමක් ඇතිකල හැකියි.

දරුවෙකු වැඩිවියට පත්වීම ප්‍රමාද වූ විට එය ඉක්මන් කරවාගැනීමට ඖෂධ නොමැති අතර කුඩා කල සිටම දරුවාගෙ පෝශණය පිලිබදව සැලකිලිමත් වී නිසි පෝශණයක් හා උසට සරිලන බරක් පවත්වාගැනීම සිදුකල යුතුවන අතරම රෝගී තත්ත්වයන් සදහා නිසි ප්‍රතිකාර ලබාදීමත් මගින් දරුවාගෙ වර්ධන අවදීන් නිසිපරිදි ක්‍රියාත්මක වීමට හැකි ලෙස කටයුතු කිරීමද වැදගත් වේ. එමෙන්ම ප්‍රමාද වේ නම් කල් ඇතුව ඒ සදහා වෛද්‍ය උපදෙස් සදහා යොමුකිරීම වැදගත් වේ.

මීට අමතරව සමහර දරුවන් අඩු වයසෙන් වැඩිවියට පත්වීමද දැකිය හැකිවනවා. මෙයට අධිපෝෂණයට බලපෑ හැකි අතරම  ආරේ එනම් පරම්පරාගත ලක්ශණයක් වියහැකි අතරම තවත් සමහර විටක දරුවාගෙ යම්කිසි රෝගී තත්ත්වයක් නිසාද මෙය විය හැකි හෙයින් මෙවන් දරුවන් වෛද්‍ය උපදෙස් වෙත රැගෙන යාම වැදගත් වනවා.

මෙය දරුවාගෙ අනාගතයට බලපාන අන්දම පිලිබදව වැඩිදුරටත් සොයාබැලීම වැදගත්වන්නෙ දරුවා යම් රෝගී තත්ත්වයකින් පෙලෙන්නෙ නම් විශේෂඥ වෛද්‍යවරයකුගෙ උපදෙස් මත රෝග විනිශ්චය සිදුකරවාගෙන ඒ සදහා නිසි ප්‍රතිකාර ලබාදීම දරුවාගෙ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමටද එය වැදගත් වන හෙයිනි. ඊට අමතරව මෙසේ අඩු වයසින් වැඩිවියට පැමිණීම නිසා දරුවාට පීඩනයක් දරන්නට සිදුවන හෙයින් ඒ පිළිබදව සිතා බැලීම වැදගත් වෙනවා. මෙසේ අඩු වයසකදී මල්වර වීම තුලින් දරුවා සම වයසේ අයට වඩා උස මහතින් වැඩිවීම, මාසිකව සිදුවන ඔසප් වීම ආදී කරුණු වලදී දරුවා එය දරාගන්නා අන්දම පිළිබදව වැඩිහිටි මැදිහත්වීම අවශ්‍ය වනවා.

මෙසේ සෑම ගැහැණු දරුවෙකුටම තම ජීවිතකාලය තුලදී  මුහුණ දීමට සිදුවන සුවිශේෂී සංසිද්ධියක් ලෙස මල්වරවීම හැදින්විය හැකිවනවා සේම එය එම ගැහැණු දරුවාගෙ මුලු ජීවිත කාලයටම බලපාන සිදුවීමක්. මෙය මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය මගින් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය පටන් ගැනීම සමගම ආරම්භ වී ඒ සමගම සිදුවන ස්ත්‍රී හෝමෝන මගින් (ඊස්ට්‍රජන්,ප්‍රොජෙස්ටරෝන්) ශරීරය තුල ඇති කරනු ලබන වෙනස්වීම් සේම එම ක්‍රියාවලිවල බලපෑම හරහා දරුවාගේ සිතුම් පැතුම් පවා විපර්යාසයකට පත්වීම සිදුවේ. මෙය දරුවාට විඳ දරාගැනීමට හැකිවන කාල සීමාවකදී සිදුවීම මගින් දරුවා යහපත් ලෙස විඳ දරාගන්නවා සේම ඒ පිලිබදව අවබෝධයකින් මැදිහත්ව කටයුතු කිරීම වැඩිහිටි සැමගේද මනා වගකීමක් වනවා.

එසේම මේ ක්‍රියාවලියේ ඊලග ප්‍රතිපලය එම දරුවාගෙ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දරුවෙකු බිහිකිරීමට හැකි තත්‍ත්වයට පරිනත වීමයි. දරුවන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එහි ක්‍රියාකාරිත්වය පිලිබදව මෙන්ම දරුවෙකු පිලිසිද ගැනීම යන කරුණු පිළිබදවද දරුවන් දැනුවත් කිරීම වැදගත් වනවා සේම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ජීවිතය ජයගන්නා අන්දම පෙන්වා දී නිසි මග පෙන්වීමද වැදගත් වනවා.

කෙසේ වුවද දරුවන් හා මව්වරු අතර පවත්වා ගන්න යහපත් සම්බන්ධතා මගින් දරුවන්ගේ ජීවිතවල මේ සුවිශේෂී සන්ධිස්ථානයන් වලදී ඒවාට හොදින් මුහුණ දීමටත් වඩා සාර්ථක ජීවිතයක් වෙත යාමෙ මගහසර හෙලි කර ගැනීමටත් දරුවන්ට ලැබෙන ශක්තිය අතිමහත් බැවින් සමස්ථ සමාජය විසින්ම දරුවන්ගේ වටිනාකම හදුනාගෙන කටයුතු කිරීමද වැදගත් වනවා. එසේ හෙයින් සෑම දරුවෙකුටම සතුටින් ජීවිතය ජයගැනීමටත් ජීවිතය සාර්ථක හා යහපත් ලෙසින් විද ගැනීමටත් ධෛර්ය ශක්තිය ලබාදීම එකසේ වැදගත් වනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article