මේ පුංචි සිදු වීම මව්පියන් ලෙස ඔබත් කියවන්න. එයින් පසුව ඔබ දරුවන් වෙත දැණුම් දිය යුතු පණිවිඩය ගැන අදහසක් ඔබටම ඇති වේවි.
පුංචි කතාවක්..
අප්‍රිකාවේ සමාජ විද්‍යාඥයෙක් ගසක් යට පළතුරු කූඩයක් තබා පුංචි දරුවන් පිරිසකට මේ විදිහට කිව්වා.මෙතැන පළතුරු ගොඩක් තිබෙනවා. ඔය ගොල්ලන්ට ඒවා මම දෙනවා. හැම දෙනාම මම කිව්වාම මෙතැනින් දුවන්න. දුවලා මුලින්ම මෙතැනට එන දරුවාට පළතුරු මේ කූඩයම දිනා ගන්න පුලුවනි.
පුංචි පැටව් ටික එක රූනට දුව ගියා. ඔවුන් එකට අත් අල්ලාගෙන පැමිණියා. සමාජ විද්‍යාඥයාටත් හරි පුදුමයි.කෝ කවුද දිනුවේ..? මම ඔයගොල්ලන්ට කිව්වේ මුලින්ම දුව ගෙන ඇවිත් පළතුරු කූඩය දිනා ගන්න කියලා. දැන් මේ විදිහට ඔක්කොමලා එකට ආවාම කාටද ජයග්‍රහණය…අපට පැහැදිලි ජයග්‍රහකයෙක් තෝරා ගන්න බැහැනේ…සමාජ විද්‍යාඥයා කිව්වා.
ඔව් ඒක ඇත්ත. නමුත් අපේ ෂෝසා සංස්කෘතියෙන් අපට කියා දෙන්නේ මම අපි වෙනුවෙන් ( උබන්ටු ) කියන අදහසක්. ඒ නිසා මම නොවෙයි, ‘‘ අපි “ හැම දෙනාටම මේ පළතුරු කූඩය අයිති වුනොත් එතැන තමයි අපේ සතුට. පුංචි එවුන් උත්තර දුන්නා. සමාජ විද්‍යාඥයාටත් අදහස තේරුම් ගියා. ඔහුත් දරුවන් සමග එක්ව පළතුරු රස බුත්ති වින්දා.
ඉතින් අපට දැන් කාලය ඇවිත්. දැන් හැම දෙනෙක්ම යම් මානසික වගේම භෞතික සම්පත්වලත් යම් යම් අඩුපාඩු මැද ජීවත් වෙන යුගයක්. ඒ නිසා නිතරම බෙදා හදා ගැනීමේ සංකල්පය ගැන දරුවන්ටත් කියා දෙන්න. ඒ වගේම අපි දැන් පාසල් දරුවන් නිරාහාරව පාසල් එන බවට මැසවිලි නගනවා. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ වෙනුවෙනුත් අපට කළ හැකි දෙයක් තිබෙනවා. එය දකුනු අප්‍රිකානු ‘‘ෂෝසා ‘‘ ගෝත්‍රිකයන්ගේ ‘‘ උබන්ටු “ සංකල්පයට බොහෝ සෙයින් සමාන වේවි.
නමුත් එය තනියම කරන්න බැහැ…
පාසලක වුනත් විවිධ තරාතිරමේ දරුවන් සිටිනවා. ඒ අතර යම් හැකියාවක් තිබෙන දරුවනුත් නැතුවාම නොවෙයි. ආර්ථික හැකියාවක් ඇති දරුවන් ලවා ඔවුන් විසින් ගෙනෙන ආහාරයට අතිරේකව තවත් පුංචි පංගුවක් ගෙනැවිත් පංති බාර ගුරුතුමියට බාර දෙන්න පුලුවනි. එවිට දරුවාගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන අන්දමින් ගුරුතුමිය ලවා මේ ආහාර පාර්සල් දිවා ආහාර රැගෙන නොඑන දරුවන්ට ලබා දෙන්න පුළුවනි.
මෑතකදී තවත් සිදු වීමක් වුනා.
එක්තරා පාසලක වාර්ෂික චාරිකාව සංවිධානය වුනත් දරුවන් කීප දෙනෙකුට ඒ වෙනුවෙන් මුදල් යොදවන්න අපහසුකම් තිබුනා. නමුත් මේ දරුවන් නැතුව චාරිකාව යනවාට වඩා කෙසේ හෝ දරුවන්ද කැටුව යෑමට පාසලේ විදුහල්පතිනිය යෝජනා කලා. ඒ නිසා චාරිකාව යන දරුවන්ගේ මව් පියන්ගේද අනුමැතිය ඇතුව වැඩියෙන් රුපියල් සියයක් දරුවන්ගෙන් සහ ගුරු මණ්ඩලයෙන් එකතු කරලා අර චාරිකාව නොයන දරුවන් කීප දෙනාත් සහභාගී කර ගත්තා. ඇත්තටම එතැන තිබෙන්නේ ‘ෂෝසා ගෝත්‍රිකයන්ගේ උබන්ටු සංකල්පය නොවේද…?
අපි නිතරම කියන්නේ ගෝත්‍රික යුගය පසු කර අවසාන බව වුනත් තවමත් අපේ තිබෙන්නේ ගෝත්‍රික සංකල්ප නොවේද..? දරුවන්ට කියා දෙන්නේ ‘‘මම‘‘ දිනන සංකල්පය මිසක් ‘‘අපි‘‘ දිනන සංකල්පය නම් නොවේ. පාට කුරුක් පොත් පිටුවක් බෙදා ගැනීමට අසතුටු දරුවන් අදටත් සිටිනවා. ඔවුන් කියන්නේ අම්මා කිව්වා කාටවත් දෙන්න එපා කියලා..දරුවන් ඒ අන්දමින් කියන තරමටම මෙම සංකල්ප ඔවුන්ගේ සිත් තුළට තදින්ම ධාරණය වී අවසානයි.
ප්‍රදර්ශනය අනවශ්ය්යි.…
අපි මේ ගෙවන්නේ ආර්ථික වශයෙන් අසිරු යුගයක්. බොහෝ විට තුන් වේල පිරිමසා ගැනීමට පවා අපහසු යුගයක ඔබ රසවත් විදිහට ආහාර පිස ගෙන එහි ඡායාරූප මුහුනු පොත ඔස්සේ මුදා හරිනවාට වඩා එයින් යම් පංගුවක් අල්ලපු ගෙදර පුංචි දරුවෙකුට දුන්නොත් එතැන ඔබට කිව නොහැකි තරම් සතුටක් ඇති වෙනවා. ඔබ ව්‍යංජන හතරක් පහක් සකස් කර ඒ ගැන ඇගයීම් ලබා ගැනීමට මුහුණු පොතට මුදා හැරියත් දවස ගෙවන්න හාල් කිලෝවක් නැතුව ලතැවෙන පවුල් කොතරම් සිටිනවාද..එවැනි පවුල් ගැනත් දැන් අපේ යම් අවධානයක් යොමු කිරීමට කාලය ඇවිත් .
සිංහල පවුල් සංස්ථාව තුළ ආගන්තුක සත්කාරය, පරිත්‍යාගය ගැන ප්‍රශංසාව අතීතයේ පටන්ම ලබා තිබෙන බැව් අමතක නැහැ. නැවතත් එවැනි ගුණාංගයන් ජීවිතයට සම්බන්ධ කර ගැනීමට ඇවැසි කාලය අප ඉදිරියේම එලැඹ තිබේ. වත්තේ කොස් ගෙඩියක් තිබුනොත් එයින් යම් පංගුවක් අසල්වැසියන් සමග බෙදා ගන්න. ඔබට සම්පූර්ණයෙන්ම පරිභෝජනයත් ඇත්තටම අපහසුයි. නමුත් බෙදා හදා ගැනීමෙන් තවත් පවුලක් එයින් වේලක් පිරිමසා ගන්නා අතර එයින් ඔබටත් අසීමිත සතුටක් ලැබෙනු ඇති.
අපි අපේ පාඩුවේ ඉන්නවා මිසක් කාගේවත් දෙයක් හොයන්නේ නැහැ යැයි ඔබ කිව්වත් දැන් අසල්වැසියන්ගේ අඩු පාඩු අපහසුකම් ගැනත් ටිකක් විමසිල්ලෙන් සිටින්න. බොහෝ අය අඩුපාඩු තිබුනත් කටක් ඇර එය නොකියන බව ඇත්ත. ඒත් ඔබට හැකි විටෙක හැකි විදිහට තවත් අයෙකුට උදව් කරන්න. පාසල් දරුවන් ආර්ථික අපහසුකම් නිසා ඉතා දැඩි පීඩාවට පත්ව ඇති යුගයකදී නිතරම ‘‘මම “ සංකල්පයෙන් මිදී ‘‘ අපි “ කියන තැන නවතින්නට දරුවන් හුරු කරන්න. එය අපේ පරම්පරාවේ සැබෑ ජයග්‍රහණය වෙනු අඇත.