- Advertisement -

වෛද්‍යවරයා හමුවීමට යාමට ඔබේ දරුවාත් අකමැත්තක් දක්වයිද?

-

බොහෝ දරුවන් ඩොක්ටර් අංකල් කිවූ සැණින් තැති ගනී. මීට හේතුව විය හැක්කේ දොස්තර මුණ ගැසෙන සෑම අවස්ථාවක්ම ඔවුන්ට සිරින්ජරයකින් අතට හෝ කකුලට බෙහෙත් විදින දර්ශනයක් සිහිනවන නිසාය. දරුවාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා නිතරම දොස්තර හමුවීම වැදගත් වූවත්, දරුවා එම හේතූන් සමඟ එකඟ නොවේ. වෛද්‍යවරයා විසින් ලබා දෙන බෙහෙත් බෙති හා සිරප් වලට දරුවන් ප්‍රිය නොකිරීම , මෙම බියට තවත් හේතුවක් ලෙස දැක්විය හැක. දෙමාපියන් තම දරුවා පළමුව ළමා විශේෂඥයකු වෙත රැගෙන යන්නේ මෙම බිය පහ කිරීමේ අරමුණෙනි. මොවුන්, දරුවන් සමඟ ඉතා සුහදව මෙන්ම මනා අවබෝධයකින් කටයුතු කරයි. ළමා විශේෂඥයින්ගේ වෛද්‍ය මධ්‍යස්ථානය බොහෝ විට දරුවන්ගේ සිත් ඇදගන්නා ලෙස සෙල්ලම් බඩු යනාදියෙන් සරසා තිබිම ඔබට දැකිය හැකි වේ.
කෙසේ කිව්වත්, දරුවාට දොස්තර හමුවීම ආතතිය ගෙන දෙන අවස්ථාවකි. දෙමාපියන් වශයෙන් ඔබ මේ සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරය පහත සඳහන් කර ඇත.

දොස්තර වෙත ඔහුව/ඇයව රැගෙන යාමේ හේතුව පහදා දෙන්න.

- Advertisement -

අවංකව දරුවාට ඔහුව/ඇයව දොස්තර වෙත රැගෙන යාමේ හේතුව පහදා දෙන්න. ඒ වගේම, නොගියහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිලිබඳ ඔවුන්ව දැනුවත් කිරීමටත් අමතක නොකරන්න. දොස්තරගේ වැදගත්කම ගැන අවධාරණය කරන්න. දරුවා එහි යාමට මැලිකමක් දක්වන්නේ මන්ද යැයි සොයා බලා, එම බිය පහව යන ලෙස කටයුතු කරන්න. දෙමාපියන් ලෙස ඔබට ඩොක්ටර් සෙට් එකක් සෙල්ලම් බඩුවක් ලෙස දරුවාට ලබා දීමෙන් හා ඔහු/ඇය සමඟ සෙල්ලම් කිරීමෙන් මෙම ආතතිය අවම කර ගත හැක.

ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස හැසිරෙන්න.

දරුවාට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න. දරුවා රෝගියා ලෙසත් ඔබ වෛද්‍යවරයා ලෙසත් සිටින සේ ඔබ දෙපාර්ශවයටම මවා පෑමේ මුණගැසීමක් රඟ දැක්විය හැක. මේ සඳහා ඔබට සෙල්ලම් බෙහෙත් විදින සිරින්ජර, ප්ලාස්ටික් බෙහෙත් පෙති, රුධිර පීඩනය මනින යන්ත්‍රය, ප්‍රතිකියා පරීක්ෂකය වැනි දෑ යොදා ගත හැකිය.

දරුවාගේ සුරක්ෂිත භාවය කෙරෙහි අවධානය යොමු කරන්න.

දොස්තර හමුවීමේදි, ඔබ දරුවාව තමා අසළම ඉඳ ගැනීමට සලස්වන්න. ඔහුව /ඇයට ඔබගේ ඔඩොක්කුවේ තබා ගැනීමද යෝග්‍ය වේ. මෙයින් දරුවාට සුරක්ෂිත බවක් හැඟේ. දොස්තර දරුවාව පරික්ෂා කරන අතරතුර කතා බහේ යෙදෙන්න. තැති ගන්වන සුලු අවස්ථාවකදී, විහිලුවක් කර දරුවාගේ ආතතිය සමනය කරන්න. මේ ආකාරයට ඔබට දරුවාගේ මුවට සිනහවක් ගෙන දිය හැකි වේ.

දරුවාගේ ධෛර්‍යය අගය කරන්න.
දොස්තරව මුණ ගැසීමෙන් අනතුරුව, දරුවා ඊට නිර්භයව මුහුණ දීම පිලිබඳ අගය කරන්න. දෙමාපියන් ලෙස ඔබට දරුවාව සිප ගැනීමෙන් , බදා ගැනීමෙන් තමා ඔවුන්ගේ පොඩි වීරයා පිලිබඳ කෙතරම් ආඩම්බර වෙනවාද යන්න පෙන්නුම් කල හැක. තෑග්ගක් ලෙස දරුවා කැමති කිසියම් දෙයක් ලබා දෙන්න. නමුත් මෙය පුරුද්දක් කර නොගත යුතුය. මෙවැනි දේවල් දරුවාට හොඳ අත්දැකීමක් වේ.

කුඩා දරුවන් නිතරම කුතුහලයකින් පසුවෙයි. අලුත් දේවල් අත් හදා බැලීමටත් , අත් විඳින්නටත් ඔවුහු ස්වභායෙන්ම කැමැත්තක් දක්වති. කෙසේ නමුත් සමහර අවස්ථා ඔවුන්ව අපහසුතාවයටත් , ආතතියටත් පත් කරයි. වගකීමක් ඇති දෙමාපියන් ලෙස ඔබ මීට මැදිහත් වී, එය සමනය කිරීම සඳහා නිසි පියවර ගත යුතුය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article