ළඳරුවන් හා කුඩා දරුවන් තුල සමාජශීලි සම්බන්ධතාවන් ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ට නිර්භයව, කිසිදු අපහසුතාවයකින් තොරව, සුරක්ෂිත බවකින් යුක්තව ලොව ගවේෂණය කිරීමටත්,තමා අවට සිටින අනෙකුත් පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමටත් හැකියාව ලැබේ. මෙමඟින් පුද්ගලයින් අතර අන්තර් සම්බන්ධතා දියුණු කිරීමටත්, ධනාත්මකව හැඟීම් වර්ධනය කරගනිමින් වැඩිහිටියන් ලෙස අභියෝග ජය ගැනීමටත් මඟ පාදනු ලැබේ.
මෙහි අන්තර්ගත කරුණු කියවා දෙමාපියන් ලෙස ඔබට දරුවන් තුල යහපත් සමාජශීලි ගුණාංග වර්ධනය කරන්නේ කෙසේද යන්න දැන ගන්න.
දරුවන්ගේ පෞර්ෂ්‍යත්වය ඔහු/ඇය කලලයේ සිටියදීම වර්ධනය වීමට පටන් ගන්නා බව අතීත මුතුන් මිත්තන්ගේ මතයයි. කලලයේ වැඩෙන දරුවා මවගේ කටහඬට සවන් දීමෙන් ඇයගේ ඒ ශබ්දය අනෙකුත් පුද්ගලයින්ට වඩා විශේෂ බව හඳුනා ගනියි. ළඳරුවා නිදා ගැනීමට ගත කරන කාලය හා ඔහුගේ/ඇයගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන්, දෙමාපියන්ට තම දරුවාගේ අනාගත චිත්ත ස්වභාවය හා සමාජශීලි හැසිරීම් පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි වේ. අලුත උපන් බිළිඳාට මිනිසුන්ගේ හා විවිධ ස්ථාන වල හෝ අවට ඇති දේවල් වල පින්තූර පෙන්වූ විට, ඇය/ඔහු එසැණින්ම වෙනාතකට අවධානය යොමු කරයි. ළඳරුවාගේ ඇස් පෙනීම උපන් අවස්ථාවේදි බොඳ සහිත වීම මීට හේතුව ලෙස ගෙන දැක්විය හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඇයට/ඔහුට මුහුණේ සැකිල්ල පමණක් හඳුනා ගත හැකිවේ. නමුත් පසුව බිළිඳා මුහුණේ ස්වරූපය සියුම් ලෙස පරික්ෂා කිරීමට පටන් ගනියි. ඉපදී ගතවන පලමු වසරේදි, ළඳරුවන් තමන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට පුහුණු වෙයි. පසු කාලයේදි ඔවුන් අනෙකුත් අයගේ මුහුණේ ඉරියව් වෙනස් කොට හඳුනා ගැනීමට තැත් කරන අතර තමන්ගේ හැඟීම් අත්හදා බලන්නටද පුරුදු වෙයි.
දරුවන් (සම වයසේ අනෙකුත් දරුවන් සමඟ සෙල්ලම් කල නොහැකි කුඩා වයසේ පසුවන) වැඩිමහල් අනෙකුත් දරුවන් සෙල්ලමේ යෙදෙන අවස්ථාවන් මුහුණේ සිනාවක් සමඟ නිරීක්ෂණය කරනවා ඔබ දැක තිබේද? එම කුඩා දරුවන් මෙසේ අවට දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නේ ඔවුන්ටත් එම දරුවන් සමඟ සම්බන්ධ වීමට ඇති අවශ්‍යතාවය හේතුවෙනි. මෙම වයසේ පසුවන දරුවන් තම සෙල්ලම් බඩුව වෙන කෙනෙකු උදුරාගත් විට හඬා වැලපෙන්නේ නැත. මන්ද ඔවුන් වඩාත් උනන්දුව දක්වන්නේ මුහුණේ ඉරියව් හා එම සෙල්ලම් බඩුව සමඟ සෙල්ලම් කරන වැඩිමහල් දරුවාගේ හැසිරීම් රටාව කෙරෙහිය. එමනිසා, දරුවාට නිසි ලෙස කතා කිරීමටත්, ඇවිදීමටත් නොහැකි වූවත්, ඔහු/ඇය අවට පුද්ගලයින්ගේ හැසිරීම් මනා ලෙස අධ්‍යයනය කරයි.
බොහෝ දෙමාපියන් හට නිසැඟයෙන්ම තම දරුවන් තුල සමාජශීලි හැකියාවන් වර්ධනය කරන ආකාරය පිළිබඳ දැනුමක් පවතියි. ඔබගේ දරුවා සමාජයත් සමඟ සම්බන්ධ වීමේදි ඔහුට/ඇයට සුරක්ෂිත බවක් දැනීම සඳහා සමාජශීලි ගුණාංග වර්ධනය කිරීම යටතේ ඇති පහත සඳහන් උපදෙස් කියවන්න.
අනෙකුත් අයට දරුවාව වඩා ගැනීමට ඉඩ දෙන්න.
දරුවා මවගෙන් ඈත් වන සෑමට විටම හඬා වැලපෙන්නේද? බොහෝ දෙමාපියන් නව මුහුණු කෙරෙහි තම දරුවාව හුරු කරවීමේ අරමුණින් අනෙකුත් වැඩිහිටියන්හට ඔහුව/ඇයව වඩා ගැනීමට ඉඩ ලබා දේ. (දරුවා මීට කෙතරම් විරුද්ධ වූවත්) මෙය එතරම් හොඳ විසඳුමක් නොවේ, මන්ද මේ තුලින් දරුවාගේ අනාරක්ෂිත හැඟීම් තීව්‍ර විය හැකි බැවිනි. මීට හොඳම විකල්පය වනුයේ තම දරුවා නව මුහුණු කෙරෙහි හුරු වන තෙක් ඔහුව/ඇයව අතින් වඩා ගෙන සිටීමයි. දරුවා ඊට විරෝධය පෑවත්, දිගින් දිගටම දරුවාව එසේ අල්ලාගෙන නලවන්න. මෙය නොනවත්වාම පවතින්නේ නම්, වෙනත් වැඩිහිටියෙකුට දරුවාව වඩා ගන්නට දී, දෙමාපියකු විසින් ඔහුව/ඇයව නැලවිය යුතු වේ. තමාව වෙනත් කෙනෙකු වඩා ගෙන සිටියත්, තම මව හෝ පියා ඔහුගෙන්/ඇයගෙන් වෙන් නොවන බව මේ තුලින් දරුවාට අවබෝධ වෙයි. දරුවාව අවට පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට හුරු කරවීම යහපත් ය. කුඩා දරුවන් සාමාන්‍යයෙන් තම ආච්චි හෝ සීයාගේ අවධානය දිනා ගනියි.
හැංගි මුත්තම් (peek-a-boo) සෙල්ලමේ යෙදෙන්න.
දරුවකු උපදින අවස්ථාවේ සිට ඔහු/ඇය තම මව සමඟ සමිප බන්ධනයක් ඇති කර ගනියි. අලුත උපන් දරුවාගේ දෘෂ්ටිය බොඳ වූවත් ඔහු\ඇය තම මවගේ මුහුණ හඳුනා ගනියි. බිළිඳාට අනාරක්ෂිත බවක්, බියට පත්වන අවස්ථාවක් හෝ අපහසුතාවක් දැනෙන සෑමට විටකදීම ඔහු/ඇය තම මව සොයන්නට පටන් ගනියි. කෙසේ නමුත් දරුවාට ස්ව ශක්තියෙන්ම මෙම අවස්ථාවන්ට මුහුණ දෙන්නට ඉගැන්වූයේ නැත්නම් මෙම තත්ත්වය අයහපත් හැසිරීම් රටාවක් බවට පත් විය හැක. ඔබ දරුවා සමඟ හැංගි මුත්තම් සෙල්ලමේ යෙදීමෙන් මව අතුරුදන් වූවත් සැණෙකින් නැවත පැමිණෙන බව දරුවාට හැඟෙන්නට සැලැස්විය හැක. මව මොහොතකට අතුරුදහන් වූ පසු කෙඳිරි ගාන දරුවා නැවත ඇයගේ මුහුණ දැක හඬ නඟා සතුටෙන් සිනා සීමට පටන් ගනියි. තවද මෙම ක්‍රියාකාරකම දරුවාට ද්‍රව්‍යයන්ගේ නිත්‍යවාසය පිළිබඳ උගන්වයි. පසු කාලයේදි සමාජයත් සමඟ ගැටෙන දරුවාව වෙන්වීමේ ආතතියෙන් මුදවා ගැනීමට මෙය රුකුලක් ලබා දේ.
දරුවාව බිමින් තබන්න.
තම දරුවාගේ කෙඳිරි ගෑමෙන් වැලකීම සඳහා දෙමාපියන් නිතරම ඔහුව\ඇයව වඩා ගෙන සිටීමට පුරුදු වී සිටීයි. මෙය එතරම් හොඳ පුරුද්දක් නොවේ. ඔබ දරුවාව බිමින් තැබූ සැණින් ඔහු\ඇය හඬන්නට පටන් ගන්නේ නම් ළමයාව ඇඳ මත තබා ඔබත් ඒ අසළම සිටින්න. දරුවාට ඔහු/ඇය කැමති සෙල්ලම් බඩු යනාදිය ලබා දී අවධානය වෙනාතකට යොමු කරන්න. ඉන්පසු කෙමෙන් කෙමෙන් දරුවාගෙන් ඈත් වන්න, දරුවා තම සෙල්ලම් බඩු සමඟ කාර්යබහුල වූ සැණින් ඔහු\ඇය තම මව හෝ පියා තමා ලඟ නැති බව අමතක කරනු ලැබේ. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවා, තමා දෙමාපියන් අසළට වී සිටිමට වඩා තනියෙන් කෙලි සෙල්ලමේ යෙදීම විනෝද බව තේරුම් ගනියි.
දරුවා හඬන විට ඔහුව/ඇයව සනසා, නලවන්න.
දරුවෙකු හඬන විට ඔහුව\ඇයව වඩා ගැනීම සම්බන්ධයෙන් සංවර්ධන මනෝ විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත ඇත. නමුත් බොහෝ මව්වරුන්ට ඔවුන්ගේ දරුවන් හඬන විට ඊට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වේ. සමහර මව්වරුන් තම දරුවාට යම් මොහොතකට හඬන්නට ඉඩ දී පසුව ගොස් ඔහුව\ඇයව වඩා ගනියි. මෙම ක්‍රමය පිළිගත් උපදෙස් වලට පටහැනිය. දරුවා පාරේ ඝෝෂාකාරි ලෙස හඬා වැලපීම වැලැක්වීම පිණිස දෙමාපියන් ලෙස ඔබ තම දරුවාව වඩා ගත යුත්තේ කුමන අවස්ථාවලද යන්න තේරුම් ගත යුතු වේ. බොහෝ දරුවන් බියට හා කාංසාවට පත් වූ විට හඬන නමුත් සමහර දරුවන් අවධානය ලබා ගැනීම සඳහාද හඬා වැලපේ.
දෛනික දින චර්යාවන්ට දරුවාව හුරු කරවන්න.
දෛනික දින චර්යාවකට හුරු වී සිටින දරුවා මීලඟට සිදු වන්නේ කුමක්ද කියා අවබෝධයකින් පසුවේ. මේ තුලින් දරුවාට ස්වයං පාලනයකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමට හැකියාව ලැබේ. ආත්ම විශ්වාසයකින් යුක්ත දරුවා තමා අවට පරිසරයේ මුණ ගැසෙන පුදගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට නොපැකිලේ. දෙමාපියන් හැකි තරමින් එකම වේලාවකට, දරුවාට කැවීමට, පැම්පස් මාරු කිරීමට හා නිවසින් පිටතට රැගෙන යාමට පුරුදු කරවීම නුවණට හුරුය.
ඔබේ දරුවා අනිත් දරුවන්ට හඳුන්වා දෙන්න.
කුඩා දරුවන් අනෙකුත් දරුවන් සමඟ කාලය ගත කරන්නට කැමැත්තක් දක්වති. එම නිසා අවස්ථාවක් ලැබූ විට සම වයසේ අනෙකුත් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් හමුවීමට උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් ඔවුන්ට තම වයසේ පසුවන දරුවන් සමඟ ගැවසීමේදි කිසිදු අපහසුතාවක් නොදැනේ. මෙසේ ඔබ දරුවන්ව මුණගැස්වීමේදි ඔවුන්ගේ දෙමාපියන්වත් හමුවන්නට සලස්වන්න. ඔබගේ ළමයාට, අන් අය සමඟ බෙදා හදා ගැනීම, කාරුණික වීම සහ උදුරා ගන්නවා වෙනුවට එකිනෙකාගෙන් සෙල්ලම් බඩු ඉල්ලිම වැනි හැසිරීම් ප්‍රගුණ කිරීමට මෙම අවස්ථාව යොදා ගත හැක. සමාජශීලි හමුවේ තවත් වාසියක් වන්නේ දරුවන්ට තමන්ගේ හැසිරීම්වල ප්‍රතිවිපාක ගැන ඉගැන්වීමට හැකිවීමයි. උදාහරණයක් හැටියට, සුරේෂ්, රමේෂ් ගෙන් සෙල්ලම් බඩුව උදුරා ගත් විට, සුරේෂ් ගේ මවට ඇයගේ දරුවාට මෙසේ පැවසිය හැක. “බලන්න සුරේෂ්, ඔයා රමේෂ් ගේ සෙල්ලම් බඩුව උදුර ගත්ත නිසා එයා දුකින් ඉන්නෙ. අපි මොකක් හරි ඉල්ලනකොට අහල ගන්න ඕනේ, හරිද සුරේෂ්. දැන් එයාට සොරි කියල දෙන්නම සෙල්ලම් කරන්න.” මෙවැනි සිදුවීම් නිතර ඇතිවිය හැකි අතර, ළමයා වැඩෙත්ම, එය ඔවුන්ට අනෙකුත් අයගේ හැඟීම් සමඟ කටයුතු කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වේ.
බිළිඳන්ගේ කතා.
බිළිඳන්ට නිතරම කතා බහ කිරීමන් ඔබට ඔවුන්ගේ කථන හැකියාව වර්ධනය කල හැක. බොහෝ දෙමාපියෝ තම දරුවන් සමඟ මෙය සාමාන්‍යයෙන් සිදු කරති. උදාහරණයක් ලෙස දරුවකු සිනා සෙන විට මව හෝ පියා ආදයෙන් “මං ඔයාට ආදරෙයි පැටියෝ හෝ ඔයා හරිම හුරතල් බබෝ” යනුවෙන් ප්‍රතිචාර දක්වති.
මෙවැනි හැසිරීම් දරුවාගේ භාෂා හා සන්නිවේදන හැකියාව වැඩි දියුණු කරයි. කුඩා දරුවෝ පුද්ගලයින්ගේ මුහුණු හොඳින් නිරීක්ෂණය කරති. ඔවුන් නාඳුනන පුද්ගලයින් සමඟ පවා සිනාසෙන්නේ ඒ නිසාවෙනි. නමුත් මාස හතෙන් පසු, නාඳුනන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට දරුවා මැලි කමක් දක්වයි. තමා දෙමාපියන් සමඟ වඩාත් සමීප බව කුඩා දරුවාට හැඟී යයි. දරුවාට කායික, මානසික හා සමාජයීය වශයෙන් පෝෂණය වීමට ඉඩ සලසන පරිසරයක, ඔහුට/ඇයට සුරක්ෂිතව හා ආත්ම විශ්වාසයකින් යුතුව වැඩෙන්නට අවස්ථාව ලැබේ. අනාගතයේදි යහපත්, ධනාත්මක සමාජශීලි සම්බන්ධතා ගොඩ නැගීමට මෙය මහත් රුකුලක් වේ.