- Advertisement -

පිය පුතු සම්බන්ධතාවය

-

පුතෙකුට හොඳ පියකු වීම ඔබට පොතක් පතක් හෝ මෙවන් ලිපියක් කියවීමෙන් ඉගෙන ගත හැකි දෙයක් නොවේ. හොඳ පියකු යනු දරුවාට නිසි ලෙස වඩා ගැනීමට ඉගෙන ගැනීම හෝ පැම්පස් මාරු කර දරුවාව පිරිසිදු කරන කර්තව්‍යයට වඩා ගැඹුරු වගකීමකි. තම පවුලේ ආරක්ෂකයාගේ චරිතය මැනවින් ඉටු කිරීම හොඳ පියකු වීමේ පළමු පියවර ලෙස හැඳින්විය හැක. ඔබේ දරුවාට මූලික වශයෙන් අවශ්‍ය කරන්නේ ඔබේ ආදරය හා රැකවරණයයි. ඔබත් ඔබේ බිරිඳටත් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යා හැකි නම්, හොඳ පියකු වීමේ කර්තව්‍යයෙන් 50% දැනටමත් ඉටු වී ඇත.

මාගේ පුතණුවන්ට මෙම වසරේදි අවුරුදු 8 සපිරේ. ඒත් ඔහුව මා තුරුලට ගත් දා මට අද වගේ මතකයි. කාලය කෙමෙන් කෙමෙන් මා ලඟින් ගෙවී ගොස් ඇතත්, මගේ ලෝකය වටා අනේක දෑ වෙනස් වී ඇතත්, මට තාම හැඟෙන්නේ මගේ පුතා මාගේ ඇස් ගැටුණු ඒ සුන්දර දිනය මීට වසර දෙක තුනකට කලින් සිදුවූ මොහොතක් ලෙසය.

- Advertisement -

ඔබ දරුවාත් සමඟ ගත කරන කාලය ඉක්මණින් ගෙවී යයි.එම නිසා එම කාලය අතර තුර ඔබ දරුවා සමඟ ගත කල හැකි අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. සෑම සති අන්තයකම, අවම වශයෙන් පැය හතරක් වත් ඔබගේ පුතා සමඟ ගත කරන්න. එකට එකතු වී චිත්‍රපටයක් නරඹන්නට මාසෙකට එක් වතාවක්වත් උත්සාහ ගන්න. දීර්ඝ නිවාඩුවක් ලැබුණු විට එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. අවුරුදු, වෙසක් හෝ නත්තල් සමයේ නිවාඩුව, චාරිකාවක් සඳහා හෝ ආච්චි සියා ගේ නිවෙස කරා යාමට යොදා ගන්න.

මා දිනපතා මගේ පුතාව පාසල වෙත ඇරලවමි. එය මට මහත් සතුටක් ගෙන දේ. මෙම වටිනා අවස්ථාව ඔබ ටැක්සි හෝ පාසල් වෑන් රථ රියදුරෙකුට ලබා දී දරුවාත් සමඟ එකට ගත කල හැකි සුන්දර මොහොත අහිමි වන්නට ඉඩ නොතබන්න.

ඔබේ රැකියාවේ කුමන තනතුරක් දරනවාද යන්න දරුවාට වැදගත් නැත.  ඔබ ක්ෂේත්‍රයේ දිනා ගෙන ඇති ගෞරව නාම හෝ කුසලාන ද දරුවාට වැදගත් නැත. ඔවුන්ට වඩාත් උවමනා කරන්නේ තමා සමඟ දෙමාපියන් ගත කරන කාලයයි. දරුවන් දෙමාපියන්ගෙන් ආදරය, රැකවරණය හා ඔවුන් සමඟ කෙලි සෙල්ලමේ යෙදෙන්නට අපේක්ෂා කරයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පියා සමඟ විනෝදජනක කාලයක් ගත් කිරීමටයි.

මා සාමාන්‍යයෙන් රාත්‍රිය වන තෙක් රැකියාවේ වැඩ කටයුතු වල නිරත වන අතර එක් දිනක් ප.ව 9:30 ට පමණ මා කාර්යාලයේ සිටියදී මගේ බෑගයේ තිබී කඩදාසි කෑල්ලක් හමුවුණි. එහි මගේ පුතාගේ අත් අකුරින් මෙසේ ලියා තිබිණි. ” තාත්තා, කොහොමහරි අද අටට කලින් ගෙදර එන්න. තාත්තා කලින් ගෙදර එනකොට නංගි තාත්තා…තාත්තා..කියල කියයි.” එම මොහොත මට කිසිවිටෙකත් අමතක කල නොහැක.එතැන් පටන් මම රාත්‍රී 9 වන තෙක් කාර්යාලයේ රාජකාරි වල නිරත වීම දවස් දෙකකට පමණක් සීමා කොට අඩුම තරමේ 6:30 ට වත් නිවස බලා යාමට අදිටන් කර ගත්තෙමි. මේ මඟින් මා හට දරුවන් නින්දට යාමට පෙර පැය දෙකක්වත් ඔවුන් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව උදා වේ. ඔබ නිවසේ නැති විට, දරුවා ඔබේ අවධානය දිනා ගැනීමට නොයෙකුත් දේ කරයි. ඔහුට අවශ්‍ය කරන්නේ ඔබත් සමඟ කාලය ගත කිරීමට හා ඔබ ඇසුරේ සිටීමට බව සෑමවිටම මතක තබා ගන්න. ඔවුන් අසනීප වූ අවස්ථාවල ඔබ කලින් ගෙදර ඇවිත් ඔවුන්ට වෛද්‍යවරයකු වෙත රැගෙන යන බව දරුවන් හොඳින් දනියි. මේ නිසා සමහර අවස්ථාවල පියාගේ අවධානය දිනා ගැනීමට උවමනාවෙන්ම තමාට අසනීප බව හඟවන්නට දරුවන් තැත් කරයි. ඔබ ඔවුන් සමඟ නොසිටින දිනයන්හි, ආවේගශීලි ලෙස හැසිරෙමින් ඔබේ අවධානය දිනා ගැනීමට උත්සාහ ගනියි. ඔවුන් එසේ කරන්නේ, මව එයින් කෝපයට පත් ව පියා වෙත තමාගේ නොමනා හැසිරීම පිළිබඳ පැමිණිලි කරන බව හොඳින් දන්නා බැවිනි. එම නිසා තාත්තාගේ අවධානය දිනා ගැනීමේ හොඳම ක්‍රමය නම් ඔහු නිවසේ නොසිටින අවස්ථාවල ආවේගශීලි වීමේ උපක්‍රමය බව දරුවන් හොඳින් දනියි.

ඔබ දරුවා සමඟ ගත කරන සෑම මොහොතක්ම ඔවුන්ගේ පෞර්ෂ වර්ධනය සඳහා ඉමහත් රුකුලක් වේ. ඔබ ඔවුන්ට නින්දට යාමට පෙර කියන සෑම කතන්දරයක්ම, සෑම සමීප තුරුලක්ම, අවවාද කරන, කඳුලු පිසදාන, අසරණ අයට පිහිට වන සෑම සෑම අවස්ථාවක්ම හා පවුලත් සමඟ එකට එක්වී සිනමාහලක චිත්‍රපටයක් නරඹන සෑම නිවාඩු දිනයක්ම ඔවුන්ගේ ජීවිතයට, ඉදිරි අනාගතයට වැදගත් පාඩම් රැසක් එක් කර දේ. ඔබගේ ඥානය, කරුණාව, දයාව හා ඔබගේ ආදර්ශ දරුවාගේ පෞර්ෂ වර්ධනය කෙරෙහි බලපායි. දැන් සිතා බලන්න. ඔබට තම දරුවා සමඟ කාලය ගත කිරීමට නොහැකි නම්, ඔවුන් ආදර්ශයක් ලෙස අනුගමනය කරන්නේ කාවද? තාත්තා වෙනුවට මිකී මවුස් හෝ බෙන් ටෙන් ද? දැන් ඔබට තම දරුවාගේ හැසිරීම් රටාවන් කෙරෙහි බලපාන්නේ කුමක්ද කියා තේරුම් ගත හැකිය.

ඔබ හදා වඩා ගන්නේ අනාගත සමාජයේ පුරවැසියෙකු බව මතක තබා ගන්න. දරුවාගේ ආදර්ශමත් වීරයා ඔබ බව අමතක නොකරන්න. යම් දිනකදී, ඔබගේ දරුවා සමාජයේ ඉහල තැනකට පැමිණි විට ඔබට නිහතමානි ලෙස තමා දරුවා වෙනුවෙන් කල කැපකිරීම ගැන ආඩම්බර විය හැකිය. ඔබ එදාට ආඩම්බරයෙන් “ඔව්, ඒ ඉන්නේ මගේ පුතා” යැයි පවසනු නොඅනුමානයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article