දරුවන් යනු දෙමාපියන්ට ඇති වටිනාම සම්පතය. දරුවන් ජීවිතය විජයග්‍රහණය කරමින් ඉහළටම යනු දැකීම සෑම දෙමාපියෙකුගේම සිහිනයයි. දෙමාපියන් දරුවකු කුස පිළිසිඳ ගත්දා සිටම ඔවුන් වෙනුවෙන් කැපව දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කටයුතු කරයි. දරුවන් හැමදාමත් එකම තැන නොසිටියි. දිනෙන් දින ඔවුන් වයසින් මුහුකුරා යයි. දරුවන් වයසින් මුහුකුරා යත්ම ඔවුන් ස්වාධීන කල යුත්තේ දෙමාපියන් විසින්මය. අපි දරුවන්ට මහමෙරක් ලෙස ආදරය කරන නිසාවෙන්ම ඔවුන්ගේ පුංචි පුංචි කටයුතුත් අප විසින්ම සිදුකරදීම තුලින් ඔබ දරුවාට සිදු කරන්නේ බරපතල අසාධාරණයකි. දරුවන්ට සමාජය තුල දෙපයින් නැගී සිටීමට නම් ඔවුන් ස්වාධීන විය යුතුය. ඔවුන්ට ජිවිතය පුරාවටම ඔබේ සෙවනැල්ල යටම ජීවිතය ගෙන යා නොහැකිය. ඔබටද ඔවුන්ට සැමදා සෙවණක් විය නොහැකිය.
මට වසර හතක් අටක් පමණ වියේ සිටම බොහෝ විට මගේ කටයුතු මවිසින්ම සිදු කරගත් බව මට මතකය. නමුදු මෑතක් වනතුරු මගේ පුතුට එසේ කල නොහැකි විය. කෙටියෙන්ම කිවහොත් මෑතක් වනතුරුම ඔහුට තනිවම බත් පත කෑමට හැකියාවක් නොතිබුණි. බත් පතෙහි තැනින් තැනින් ආහාර අනුභව කළ ඔහුව වෙනස් කිරීමට මට සෑහෙන්න පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. වරද තිබුණේ පුතු අත නොව මා අත හා අත්තම්මා අතය. වැඩි සෙනෙහසට ඔහුට බත් කැවීම කළේ අපමය.පාසල නිමව නිවසට ආ පසු බෑගය එක තැනකය, සපත්තු සාලය මැදය ,මේස් රෝල් කර පුටු යටය. පෙර පාසල් යන අවදියේ සිටම මේවා පිළිවෙලට තැබීම ඔහුට හුරු නොවුණේ ඒ සිය`ඵම කාර්්‍යයන් අත්තම්මා නොපිරිහෙළා ඉටු කර දුන් බැවින්ය. දැන් ඔහුට පිළවෙල කියා දීම අසීරුය.
“අම්මේ ටොයිලට් ගිහින් ඉවරයි හෝදන්න එන්න”
“මම එන්නෙ නැහැ ඔයා සෝද ගන්න.”
“ඊයා අනේ මට බෑ ”
“ඊයා කිව්වට වැඩක් නැහැ මම එන්නෙ නැහැ.”
සතියක් පමණ වනතුරුම නාහෙන් අඬමින් ඒ රාජකාරිය පුරුදු වූ නිසා දැන් ඒ රාජකාරිය තනිවම කරගන්නට පුරුදු වී ඇත.
“අද මාර වැඬේ. වුණේ දක්ෂිණ ටොයිලට් යනවා කියලා ගිහින් ගොඩක් වෙලා ආව නැති නිසා ටීචර් මට බලලා එන්න කිවිවා. මම යන කොට ටොයිලට් එක ඇතුලෙ ඉඳගෙන දක්ෂිණ හොඳමට අඬනවා.”
“ඒ ඇයි ?”
“එයාට කක්කි ගිහින් සෝද ගන්න බැරිව තමයි අඬලා තියෙන්නේ. ඊට පස්සේ ටීචර් නාලනී ඇන්ටිට කියලා එයාව සේදුවා”
“ඒක තමයි මම ඔයාට පුරුදු කළේ නැත්නම් ඔයාටත් ඔහොම අඬ අඬ තමා ඉන්න වෙන්නේ යැයි මම පැවසුවෙමි.”
උදෑසන පාසල් යන්නට පුතා ලෑස්ති වෙන්නෙ තනිවමය. දැන් ඔහුට පිළිවෙලට කන්නට හැකියාවක් ඇත. පොඞ්ඩාටගත් දෙය ගත් තැනික් තැබීම පුරුදුව ඇත. දරුවන් කුඩා කළම නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම පහසුය. තවම පොඩියිනේ ලොකු වුණාම බැරියැ ලෙස සිතමින් සිටියහොත් දරුවන් නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම අපහසුය.
දරුවන් අතර නිතර අඩදබර වල නම් අඩුවක් නැත. එහෙත් ඔවුන්ගේ රණ්ඩු වලට අප මැදිහත් වූ විට තත්ත්වය තවත් උග්‍රවේ. එක් දරුවකුගේ පැත්තට කතා කළ විට අනෙක් දරුවාගේ සිත රිදෙයි. ආදරය පිළිබඳ ගැට`ඵ රාශියක්ද දරුවන්ට ඒ සමඟම ඇතිවේ. එහෙයින් පැත්තක සිට ඔවුන්ට නොදැනෙන්නට අවධානය යොමු කිරීම මිස ඒවා වලට මා දැන් දැන් මැදිහත් වන්නේ නැත.
“ඔයාලගේ ප්‍රශ්න ඔයාලම විසඳගන්න ” යන්න මගේ එකම විසඳුම බැවින් අයියා මලෝ ප්‍රශ්න තනිවම විසඳා ගනියි.
මගේ පාසල් සමයේ හොඳම යෙහෙළිය දැන් එක් දරු මවකි. එහෙත් ඇයට තවමත් හරි හැටි තේ එකක්වත් පිළියෙල කළ නොහැකිය. සැමියාට උදෑසන තේ එක පවා තවමත් පිළියෙල කරදෙන්නේ ඇගේ මවය. අප උසස් පෙළ කරන කාලයේ ඇගේ සුදු ගවුම් පවා සෝදා මැද දුන්නේ ඇගේ පියාය. තනිවම වැඩ කර ගන්න පුරුදු වෙන්න යැයි කියා එදවස් වල මම ඇයට කොතෙකුත් පවසා ඇත්තෙමි.
“එකම කෙල්ලනෙ තව ටික කාලෙකින් වෙන ගෙදරකට යනවනේ ” ඇගේ අම්මා කීවේත් එසේමය.
වෙන ගෙදරකට යන නිසාවෙන්ම තේ එකක් පිළයෙල කරගන්නට බතක් මා`ඵවක් උයාගන්නට දියණියකට මෙන්ම පුතෙකුටද පුහුණු වී තිබීම අපතේ නොයනු ඇත. අම්මා රැකියාව කළ නිසා බොහෝ විට අප බලා කියා ගත්තේ ලොකු අක්කාය. බත් කෑ පසු පිඟාන අප විසින්ම සේදිය යුතුය. අපේ ඇඳුම් අපම සෝදා ගත යුතුය. ගෙවල් අස්පස් කර අතු ගා පිරිසිඳු කල යුතුය. අප අස්පස් කල නිවසම ඇය නැවත අස්පස් කරයි. බොහෝ විට ඇයට විරුද්ධව අම්මාට කේලම් කීවද ඉන් අපට සහනයක් නොවීය. යන්තම් අවුරුදු අටක් නමයක් වන විට පොඩි අක්කාටත් මටත් පරිප්පුවක් උයන්න සම්බෝලයක් හදා ගන්නට තේ කෝප්පයක් පරිස්සමට පිළියෙල කරන්නට හැකියාව ලැබුණි. අප සෝදන ඇඳුම් වල කිලිටි හරි හැටි නොයන නිසා ලොකු අක්කා ඒවා නැවත අපට හොරෙන් සෝදන බව අප දැන ගත්තේ අපට අවුරුදු 12ක් 13ක් පමන වූ පසුය. සත්තකින්ම ලොකු අක්කා කළේ අපව ජීවිතයට පුරුදු කරවීමකි.
ජිවිතයේ බොහෝ දේවල් තනිවම කරගන්නට මට හැකි වුයේ කුඩා අවදියේ සිටම මා තනිව මගේ වැඩ කටයුතු කරගත් නිසා බව මම විශ්වාස කරමි. සමාජය හා ගැටෙන විට විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදුවේ. ඒ සඳහා අපට පුහුණුවක් තිබිය යුතුමය. අපේ කාර්්‍යයාලයේ වයස අවුරුදු 19 නැගණියක් සේවය කළාය. ඇයට පවරා තිබුණේ බැංකු කටයුතු කිරීමය. බැංකුවට යන්නට කියන සෑම වාරයකම ඇය හඬා වැටෙයි. දුරකථනය ගෙන මදක් දුරට යන ඇය ඇමතුමක් ගනියි. ඇය බැංකුවට යන සෑම අවස්ථාවකම ඇයගේ මව බැංකුව වෙත පැමිණෙන බව අප දැන ගත්තේ පසුවය.
“අනේ අක්කේ මම කවදාවත් බස් එකකවත් තනියම ගිහින් නැහැ ඇත්තටම මට තනියම වැඩක් කරගන්න බැහැ.” වරද කාගේදැයි ඔබට වැටහෙනු ඇත.
කුඩා කල සිටම දරුවන්ට වගකීම් දරමින් ස්වාධීන වන්නට ඉඩ හරින්න. එවිට ඔවුන්ගේ ජිවීත ඔබ සිතනාකාරයටම පැහැබර වනු ඇත.