උදෑසන කඩි මුඩියේ අලුත් දවසකට පේවෙන මට දවස ගෙවිලා යන වේගය ගැන පුදුමත් හිතෙනවා. ඔරලෝසුවෙ කට්ට පුදුම වේගයෙන් කැරකෙද්දි ඒ වේගය පරද්දන්න අපි දරන උත්සහය කොතෙක්ද? ඇත්තටම අම්මා කෙනෙක් වුණාම දක්ෂතා බොහොමයකින් පරිපූර්ණ වෙන්න සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. මොන උපාධිය ,මොන පශ්චාත් උපාධිය ලැබුවත් දරුවන් අපට පවත්වන පරික්ෂණ වලට දී අපි අසමත් වෙන අවස්ථාවන් බොහෝමයි. දවස නිමාවට පත් වන විට ඇත්තටම පුදුම වෙහෙසක් දැනුනත් මුළු නිවසම දෙවනත් කරවන අයියා මලෝ නිදා ගත්තම හිතට නිදහසක් දැනුනත් මොකද්දෝ පාළුවක් දැනෙනවා. අයියාට මල්ලීව රුස්සන්නේ නැත. එහෙත් මල්ලීට ඇති එකම විනෝදය අයියාව ඇවිස්සීමය. අයියා බිම දිගා වී සිටිනවානම් මල්ලි සීරුවට ගොස් අයියාගේ පිට උඩ හරි බරි ගැසී වාඩිවෙයි. නැත්නම් ඔළුව උඩය. එහෙමත් නැතිනම් අයියාගේ පිට සුව යහනක් කරගෙන සැතපෙයි. ගැටුමේ ආරම්භය ඇරඹෙන්නේ එතැන් සිටය.
අයියා මලෝ ගැටුම් නිරාකරණය කිරීම ලේසි පහසු කාරණයක් නම් නෙමේ. සහෝදර ගැටුම් කියන්නෙ දරුවො එක්කෙනෙක්ට වඩා සිටින හැම ගෙදරක පොදු ගැටළුවක් විය යුතුයිම. මේ ගැටුම් විසඳීම නම් බොහොම අමාරු දෙයක් වෙන්නේ අපක්ෂපාතී තීරණ ගත්තත් දරුවො එය අනෙත් කෙනාට පක්ෂපාතීව දුන්න තීරණයක් විදිහට හිතා ගන්න නිසාමයි. මේ ගැටළු නිරාකරණය කරලම දවසම ගෙවිලා යනවා. සමහර අවස්ථා වලදී දරුවන්ට මත භේද ඇති කරගන්න අපි නොදැනුවත්ම අපිම හේතු කාරණා ලබා දෙනවා. පසු ගිය දිනක මගේ ලොකු පුතා උඩ පැන පැන යනකොට පය පැටලිලා වැටුනා. මම හිටියෙ පුතා පේන මානෙමයි. වැටුන තැන ඉඳලම ආපස්සට හැරිලා බලපු ලොක්කා මම බලා ඉන්න බව දැක්ක ගමන්
“අම්මෝ ආයී ” කිව්වත් වැටුන වැටිල්ල ඒ තරම් තද බල නොවුන බව මම දැක්ක නිසාත් මම පුතාට ඉක්මණට එන්න යැයි කිව්වා.
“හ්ම් මල්ලිව වැටුන නම් දුවගෙන එනවා මාව උස්සන්න තමයි අම්මා එන්නේ නැත්තේ ”
“අනේ ඉතිං ඒක රිදුනේ නැහැනේ ”
“රිදුනෙ නැති වුණාට මම කෑ ගැහුවනේ මල්ලිට විතරයි සේරම සැලකිලි”
” මල්ලි තාම පොඩියිනේ පුතේ ”
“කොයිවෙලෙත් එයා පොඩියි මම ලොකුයි”
ලොකු පුතා පවසන්නේ ඇත්තකි. පොඞ්ඩා ගැන නිතරම අවධානය වැඩියෙන් යොමු වන්නේ නිරායාසයෙන්මය. එහෙත් එදෙස නෙත් යොමා සිටි තෙවන ඇස පිළිබඳ මොහොතකටවත් මට නොසිතුනා. ඒ සැලකිල්ල දකින විට රිදෙන තවත් පොඩි හිතැත්තෙක් මට සිටින වග මට අමතක වූයේ මගේම නොසැලකිල්ල නිසා නොවේදැයි මසිතම දැන් මටම දොස් තබයි.
මේ සත්‍යය අප පිළිගත යුතුය. අපි සෑම විටම ලොකු දරුවා ගැන අවධානය අඩු කරන්නේ ඒ දරුවා ලොකුයි යැයි උපකල්පනය කිරීමෙන්ය. එහෙත් ආදරය,සැලකිල්ල, අවධානය අභියසට වයසෙහි බලපෑමක් නැතැයි මට සිතෙනවා. අයියාට , මල්ලී පිළිබඳ ඇත්තේ ඊර්ෂ්‍යාවකි.මල්ලී අදාල නොවන මගේ තරවට්ටු පවා අවසන් වන්නේ
“හැමෝම ඉතිං මල්ලිටනෙ ආදරේ ” යන වදන් පෙලෙනි.
ලොකු පුතා වැටුන වෙලේ මම ගිහින් නැගිට්ටුව නම් එයාට සතුටක් දැනේන ඉඩ තිබුණා. ඇරත් බොරුවට කෑ ගැහුවෙත් මගේ අවධානය දිනා ගන්න බව මට තේරුම් ගන්න තිබුණා. අත්දැකීම් තුලින් අපි ජීවිතය පෝෂණය කරගත යුතුයිනේ. ඒ සිද්ධියත් සමගම මම ලොක්කට අවධානය වැඩියෙන් යොමු කරන බව අඟවනවා.
මේ ළඟදි දවසක් පොඩි උපායක් යෙදුවා. මම ලොකු පුතාට කිව්වා
“පුතේ දැන් ඔයා හුඟක් උස ගිහිල්ලනේ ඒ කියන්නේ ඔයා දැන් ලොකු කොල්ලෙක්”
“ඇත්තද අම්මා “පුතාගේ ඇස් සතුටෙන් දිලිහෙනවා
“ඔව් දැන් ඉතින් වගකීමක් දරන්න පුළුවන් වෙන්න ඕනී. මේ පොඩි කොල්ලොත් එක්ක රණ්ඩු නොවී. අනික ලොකු අයියා මල්ලිව බලා ගන්න ඕනී. එහෙමනේද?”
“හ්ම්…”
දැන් දැන් ලොකු අයියා උජාරුවට හිතට අරගෙන අයියා මල්ලිව බලා ගන්න ඉදිරිපත් වෙනවා. තද බල ගැටුම් තත්ත්වය ටිකක් දුරට සමනය වුනත් කොයි මොහොතේ ලොකු අයිය පට්ටම විසිකරලා
“අම්මා මල්ලිටයි වැඩිපුර ආදරේ ” වාක්‍ය ඛන්ඩය පිට වෙයිද කියන එක විශ්වාස නැහැ.
මව්වරුන් වශයෙන් අනෙත් දරුවට විශේෂත්වයක් නොවන විදිහට කටයුතු කිරීම කොයි තරම් නම් අත්‍යවශ්‍යද නේද?