- Advertisement -

දරුවාගේ හිත කියවන මනෝවිද්‍යාඥයෙකුගේ තැනට ඔබ පත් වෙන්න

-

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති පිරිසක්. ළමයින් ඉන්න ඕන අපි කියන විදිහට….අම්මලා තාත්තලාගේ ආකල්පය මේ විදිහට සැදුනත් ඇත්තටම අපි අද දරුවාට දක්වන ආදරය සහ කරුණාව අනාගතයේදී දරුවාගේ පෞරෂ ගති පැවැතුම් සකස් වීමට බෙහෙවින් පාදක වෙන බව අමතක කළ යුතු නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවාගේ හිත කියවන්න දන්නා මනෝවිද්‍යාඥයෙකුගේ තැනට පත් වීම අවශ්‍යයි.

එසේ නම් අපි දරුවාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් සූදානම් කරන්නේ කොහොමද ? හැම අම්මා කෙනක්ම තාත්තා කෙනෙක්ම හිතන්නේ හිටු කියන තැන සිටින විදිහට දරුවා හැඩ ගසා ගත්තොත් ඔබ දිනුම් බවයි. එහෙත් ඔබ නොදැන සිටියාට ඒවායේ පසුවිපාක ඉතාම දරුණුයි. මනෝ විද්‍යාඥයන් සඳහන් කරන අන්දමට අද සමාජයේ වැදගත් තැනකට පත් ඇතැම් පුද්ගලයන්ට පවා ප්‍රශ්න වලට මුහුණ දීමේ ආත්ම ශක්තිය නැහැ. මෙම පුද්ගලයන් අලලා සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ එම පුද්ගලයන්ගේ බාල කාලය ඉතාම අමිහිරි අන්දමින් ගෙවුන බවයි. අම්මා තාත්තාගේ අණසක මිස එයින් ඔබ්බට ගිය ආදරය කරුණාව මේ පුද්ගලයන්ට ලැබී කිබුනේ නැහැ. ඒ නිසාමදෝ ඔවුන් සමාජ ගැටළු ඉදිරියේ ඉතාම බෙලහීන චරිත බවට පත් වුණා.

- Advertisement -

අපි අතර තිබෙන එක් වැරැදි අදහසක් තිබෙනවා ඒ අනුව කියන්නේ දරුවන්ට ආදරය පෙන්වීම අවශ්‍ය නැති බවයි. නමුත් අපි අතර තිබෙන මෙම අදහස දැන් ප්‍රතික්ෂෙප විය යුතුමය. ඇත්තටම දරුවන්ට දැනෙන්න ආදරය තළ යුතු බව දැන් මනෝවිද්‍යාඥයන් පවා පිළිගෙන තිබෙනවා. තමාට මව්පියන්ගේ ආදරය දැනෙන්න ලැබෙන විට තමා ආරක්ෂිතය යන ධනාත්මක සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වන නිසා ඔහු තුල ආත්ම ශක්තිය වර්ධනය වෙනු ඇත.

ඇමරිකානු ජනාධිපතිවර ඒබ්‍රහම් ලින්කන් වරක් සඳහන් කළේ උපත ලබන විට දරුවාගේ හිත පිරිසිදු පුවරුවකට සමාන බවයි. එයින් අනතුරුව ජීවිතය සමග දරුවා ලබන අත්දැකීම් අනුව ඔහුගේ චිත්ත ශක්තීන් වගා වෙනු ඇත. එහි මුල්ම දායකත්වය අම්මා සහ තාත්තාය. එයින් අනතුරුව සහෝදර සහෝදරියන්ය. මෙම පිරිස් සමග දරුවා ගෙවන ජීවිතය තුළ අනාගතයේ සමාජයට මුහුණ දීමේ ශක්තිය ගොඩ නැගෙනු ඇත.මේ නිසාම දරුවාගේ මුල් ළමා විය තුළ ඔහුට අවමන් නොකළ යුතුය. බොහෝ මව්පියන් ඉතාම පහසුවෙන් දරුවන් මෙල්ල කරන්නේ මෙම අවධියේදීය. ඊට හේතුව දරුවා මෙම කාලය ගත කරන්නේ මව්පිය අණසක යටතේය.

අපි කන්න බොන්න දෙනවා නම් දරුවන් අපි කියන විදිහට සිටිය යුතුයි. ඔබ සිතන්නේ එසේය. එහෙත් දරුවාටද යම් ස්වාධීනත්වයක් ඇත. තෝමස් අල්වා එඩිසන් පාසල් කාලයේදී කැපී පෙනන දක්ෂයෙක් වූයේ නැත. ඔහු ඉතා දුර්වල දරුවෙකි. මේ නිසා දිනක් විදුහල්පතිවරයා තෝමස් අත මවට ලිපියක් එව්වේය. එහි තිබුනේ මේ මෝඩ දරුවා පංතියට හිරිහැරයක්….ඔහු ඉගෙන ගන්නා එකෙක් ‍නොවෙයි….ඒ නිසා පාසලට එවන්න එපා යනුවෙන්ය.

මව කිසිදු වෙනසක් නොදක්වා ලිපිය කියවාගෙන ගියාය.

අම්මේ ලොකු සර් මොකද කියන්නේ….තෝමස් ඇසුවේය.

මගේ පුතා හරි දක්ෂයෙක්….ඒ නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා…අම්මා පිලිතුරැ දුන්නාය.තෝමස්ට ආත්ම විශ්වාසය ගොඩ නැගුනේ එතැනදීය. ඔහු පසුකලෙක විද්‍යාඥයෙක් බවට පත් වීමේ පන්නරය අම්මා නිහර්ඬව ලබා දුන්නාය. ඇය එම අවස්ථාවේදී දුම්මල වරම අතට ගෙන කාලකණ්නියා….අපිට උඹ ඉස්කෝලෙ යවලාවත් නිදහස් නැහැ. උඹට වියදම් කරන සල්ලිවලින් ගොනෙක් හැදුවා නම් මීට වඩා හොඳය යනුවෙන් කියමින් අවලාද නැගුවේ නැත එදා අම්මා එසේ තෝමස්ට අවමන් කළා නම් අද විද්‍යාඥයන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම එක්වන්නේ නැත.

කාලය නොදැනම ගෙවී ගියේය. අම්මාගේ මළගම හමාරව එක් දිනක් නිවසේ පැරණි පොත් පත් අවුස්සන විට තෝමස් අල්වා එඩිසන්ට මෙම ලිපිය හමු විය. මෙම ලිපිය දිනක විදුහල්පතිවරයා තමාට දුන් බව ඔහුගේ සිහියට නැගුණි.

එහි වූ දෙය කියවන විට තෝමස්ට අම්මා ගැන ඇති වුනේ අසීමිත ආදරයටත් වඩා ගෞරවයකි. මගේ අම්මා මොන තරම් බුද්ධිමත්ද….? ඔහු සිතුවේය. අම්මාගේ ප්‍රතිචාරය එදා මීට වඩා වෙනස් වුවා නම් …..අද තමා සිටින්නේ කොතැනද යන්න ඔහුටත් සිතා ගත නොහැක.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් ඇතැම් ගස් දෙපෙත්ත නිසරු වුවත් පසු කලෙක හොඳින් දළු ලනු ඇත. රිචඩ් බ්‍රැඩ්සන් අද ලෝකයේ සිටින කෝටිපතියෙකි. පංතියේ ගුරුවරයා දවසක් ඔහුට තර්ජනාත්මකව කියා සිටියේ  උඹ කවදා හෝ ලෝක හොරෙක් වෙනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි. ඇත්තටම ඔහු හොරෙක් නොව කෝටිපතියෙක් බවට පත් වූයේ ගුරුවරයාගේ අනාවැකි පුස්සක් බවට පත් කරමින්ය.

මේ නිසා කිසිදු දිනක දරුවන්ට නිගා දෙන සේ කතා නොකරන්න. ඔවුන්ට යම් අභිමානයක් ඇත.  ඒ අභිමානය අපි දරුවන් වෙනුවෙන් ලබා දීම අවශ්‍යය. දරුවන් පමණක් නොව සතුන් පවා අභිමානය ඉදිරියේ උත්තේජනය ලබන්නේ නම් දරුවන් වෙනුවෙන් අභිමානයක් අවශ්‍ය නැතැයි අපට තර්ක කළ නොහැක. අලියෙක් තමාට රාළහාමි යැයි ඇමතු විට මෙල්ල වෙන බවත් නයා වැනි විස සතුන් පවා ගරුත්වය ඉදිරියේ හීලෑ වෙන බවට සමාජ සම්මතයන් ඇත. එසේ නම් දරුවන් ඉදිරියේ මෙම ආකල්පය බැහැර විය යුතු නැත.

බොහෝ දෙනා හිතන්නේ ප්‍රසිද්ධියේ ලබා දෙන නිගාවන් නිසා දරුවා ලැජ්ජාවට පත්ව ඉදිරියේදී යහ මගට හැරෙන බවයි. විටෙක දරුවා එම වැරැද්දෙන් මිදෙනු ඇත. එය ඇත්තකි. එහෙත් තමාගේ ආත්මාභිමානයට ඇති වුන නිගාව ගැන මානසික ලෙසින් මහත් සේ කම්පාවට පත් වෙනු ඇත. එම කම්පනය හිතේ කොතැනක හෝ පැලපදියම්මව අනාගතයේ මානසික හුදෙකලාවට පත් චරිතයක් තුළ ඔවුන්ගේ ජීවිත ගොඩ නැගෙනු ඇත.

ළමා දිනය සමරන දිනට අපි දරුවන් ගැන මහත් ඉහලින් කතා බහ කරමු. ඔවුන් ජාතියේ ජීවනාලිය බව සිහියට නැගෙන්නේ එදාට පමණි. දරුවා යනු  රැකගත යුතු සම්පතය යන අදහස එදිනට පසුව හෙමෙන්ම අමතක වෙනු ඇත. දරුවාට නිවසේ ආරක්ෂාව නැත එතැනින් එපිටට ගම ගැන කතා කිරීම අවශ්‍යම නැත. දරුවා අපේ නම් අපි දරුවා වෙනුවෙන් සැදී පැහැදී ඔවුන්ගේ පෞරෂය ගොඩ නැගීමට දායක විය යුතුමය. එය ළමා දිනයට සීමා විය යුතු නැත. හෙට දවසේ වීරයන් ඔවුන්ය. මෙම වීරයන් බෙලහීනයන් බවට පත් විය යුතු නැත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article