- Advertisement -

උපතේ සිටම නිසි පෝෂණය ලබා දී දරුවන්ගේ පෝෂණ ඌනතා රෝග වළකමු.

-

මෙලොවට බිහි වන සෑම ළදරුවෙකුහටම උපතින් පැය භාගයක් ඇතුළත මවගෙන් කිරි උරා බීමට අවස්ථාව සලස්වයි. එතැන් සිට දරුවාට මාස හය සම්පූර්ණ වන තෙක් ලබා දෙන එකම ආහාරය වන්නේ මව්කිරිය. සියලූම පෝෂකාංගවලින් සපිරි මව්කිරි අමතර ආහාර සදහා ආමාශය හුරුවන තෙක් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය සියලූ පෝෂක සපයයි. මාස හය එනම් දරුවාට දින 180 සම්පූර්ණ වූ පසු වර්ධනයට අවශ්‍ය පෝෂක හා ශක්තිය මව්කිරිවලින් පමණක් ලබා ගත නොහැකිය. ඒ නිසා මාස හය සම්පූර්ණ වූ දරුවාට අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතුය. කෙසේ වුවද දරුවන්ට උපරිම පෝෂකාංග ඇතුළත් වන පරිදි පරිපූර්ණ පෝෂණයක් ලබාදීම දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීමකි. මන්ද නිසි පෝෂණයක් නොලබන දරුවන් අනාගතයේදී පෝෂණ ඌනත රෝගවලට ගොදුරු වීමේ අවධානමකට ලක් විය හැකි බැවිනි.

පෝෂණ ඌනතාවය යනු සුවිශේෂී එක් පෝෂකයක හෝ පෝෂක කිහිපයක් හිඟ වීම නිසා දරුවන්ට ඇති විය  හැකි රෝගී තත්ත්වයන්ය. අද වන විට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන එවැනි පෝෂණ ඌනතා රෝග ලෙස   රක්තහීනතාවය හෙවත් නීරක්තිය, අයඞීන් ඌනතාවය, මන්දපෝෂණය සහ විටමින් ඒ ඌනතාවය යන තත්ත්වය දැක්විය හැකිය.

- Advertisement -

රක්තහීනතාවය හෙවත් නීරත්කිය

සිරුරේ විවිධ කොටස් වෙත ඔක්සිජන් රැගෙන යාමට මෙන්ම හිමොග්ලොබීන් සැදීමට ද අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වන යකඩ ඌනතාවය මේ තත්ත්වයට හේතුවයි.

යකඩ අවම වීම හේතුවෙන්  : 

  • ඉක්මණින් රෝග වැළදේ
  • අලස බව ඇති වේ
  • මතක ශක්තිය සහ අවදානය අඩු වේ
  • ගැබිනි මව්වරුන්ට විවිධ සංකූලතා ඇති වේ
  • ශාරීරික හා මානසික සංවර්ධනය අඩාල වේ

සිරුරට පහසුවෙන් උරා ගන්නා යකඩ ලෙස මස්, මාලූ, හාල් මැස්සන් වැනි සත්ත්වමය ආහාරවලින් ලැබෙන යකඩ දැක්විය හැකි අතරම සිරුරට සෙමින් උරාගන්නා යකඩ වන්නේ තද කොළ පැහැති පලා වර්ග, කව්පි, කඩල, පරිප්පු වැනි ධාන්‍ය වර්ග මගින් ලබෙන යකඩ පෝෂණයයි.

යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරගැනීමට : 

  • විටමින් සී බහුල අලුත් එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගන්න
  • ආහාර පිසින විට දෙහි, සියඹලා වැනි දෑ එක් කරන්න
  • ආහාර වේලක් ලබාගෙන පැයක්වත් ගත වන තුරු තේ, කෝපි වැනි ටැනින් අඩංගු දෑ ගැනීමෙන් වළකින්න
  • නිසි කලට වෛද්‍ය උපදෙස් අනුව දරුවන්ට පණු ප‍්‍රතිකාරය ලබා දෙන්න

අයඩීන් ඌනතාවය

අයඩීන්, මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂකයක් වන අතරම තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට දායක වේ. සිරුරේත් මොළයේත් සාමාන්‍ය වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අයඞීන් වැදගත් වන අතරම සිරුරට ලැබෙන අයඩීන් ප්‍රමාණය අඩු වූ විට ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි තත්ත්වය ඇති වේ.

අයඩීන් ඌනතාවයේ ලක්‍ෂණ :

  • උදාසීන බව
  • වෙහෙසකාරී බව
  • බුද්ධි මට්ටම පහත වැටීම
  • ප්‍රජනක පද්ධතියේ ගැටලූ ඇති වීම

අයඩීන් ඌණතාවය හේතුවෙන් මිනිස් සිරුරට ඇති විය හැකි බලපෑම් : 

කුඩා දරුවන්ට :

  • ගණගන්ඩය
  • ශරීර වර්ධනය අඩු වීම
  • බුද්ධි මට්ටම අඩු වීම
  • කායික වර්ධන අඩාල වී යාම
  • මොළයේ වර්ධනය අඩුවීම
  • කථන හා ශ්‍රවණ ආබාධ

ගර්භණී කාන්තාවට :

  • මළදරු උපත්
  • හදිසි ගබ්සා

වැඩිහිටියන්ට : 

  • උදාසීන බව
  • ගලගණ්ඩය
  • අධික වෙහෙස
  • ශ්‍රම ඵලදායීතාව අඩුවීම
  • මානසික ක්‍රියාකාරිත්වය අඩුවීම

අයඩීන් ඌනතා රෝගවලින් මිදීමට නම් අයඞීන් මිශ්‍ර ලුණු මෙන්ම අයඞීන් පෝෂිත පසෙහි වැවෙන ශාකමය ආහාර වර්ග ද ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හාල් මැස්සන්, සාලයා, ඉස්සන්, පොකිරිස්සන් වැනි අයඞීන් බහුල ආහාර එදිනෙදා ආහාරයට ගත යුතු වේ.

සැ. යු.

අයඩින් අඩංගු ලුණු භාවිතයේදී :

  • සැමවිටම කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කර ලු ණු මිලදී ගන්න
  • අයඞීන් මිශ්‍ර ලුණු පමණක් පරිහරණය කරන්න
  • ලුණු සේදීමෙන් වලකින්න
  • ලුණු ඇසිරීම සදහා දුඹුරු පැහැති ඇසුරුම් යොදාගන්න
  • ලුණු ඇසිරූ බදුන අධික තෙතමනයට හෝ තාපයට නිරාවරණය නොවන පරිදි තබන්න

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණය  

නිසි පෝෂණය සපිරි ආහාර එනම් සමබල ආහාර වේලක් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් ආකාරයෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණ තත්ත්වය ඇති විය හැකිය. එනම් නිසි ආහාර ප්‍රමාණය නොලැබී යාමෙන් ගුණාත්මක ප්‍රෝටීන් (සත්ත්වමය ප්‍රෝටීන්) අඩංගු ආහාර හා ශක්තිජනක ආහාර (පිෂ්ඨය හා මේදය සහිත) ලබාගන්නා ආහාර වේලෙහි ප්‍රමාණවත් අයුරින් අඩංගු නොවීමයි.

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණයේ විවිධ අවස්ථා  : 

  • අඩු බර
  • කෘෂ බව
  • මිටි බව

විටමින් ඒ ඌනතා රෝගය

උපතේ සිටම සිරුර තුළ වැදගත් මෙහෙයක් ඉටු කරන විටමින් ඒ මනා දෘෂ්ඨියක් පවත්වා ගැනීමට, ඉහළ ප්‍රතිශක්තියක් ලබාගැනීමට, සෛල වර්ධනයට මෙන්ම සම, හිසකෙස් හා ශරීරයේ විවිධ කොටස්වල නිරෝගි පැවැත්මටත් ප්‍රජනන සෞඛ්‍ය රැකදීමටත් වැදගත් වේ. තවද ශරීරය තුළ ප්‍රතිඔක්සිකරකයක් ලෙස ක්‍රියාකරමින් විනාශකාරී සංඝටවලින් සෛල ආරක්‍ෂා කරයි.

විටමින් ඒ ඌනතාවය ඇති දරුවන් නිතර නිතර ස්වසන ආසාධනවලට ලක් වීමේ ප්‍රවණතාවය වැඩිය. සායන හරහා සෑම මාස හයකට වරක්ම විටමින් ඒ අධි මාත්‍රාව දරුවන්ට ලබා දෙන්නේ ඒ නිසාය.

විටමින් A වල වාසි :

  • සරම්ප, මැලේරියාව, පාචනය වැනි රෝග වලින් දරුවන් රැකගනී
  • ඇස් මතුපිට, ආහාර මාර්ගයේ හා ස්වසන මාර්ගයේ පවතින ශ්ලේෂ්මල පටලයන්හි තෙතමනය රැකදෙමින් දරුවන් ආසාදනවලින් රැක ගන්න
  • ආසාදන තත්ත්ව ඇති වුවද එම තත්ත්ව උග්‍ර බවට පත්වීමට ඇති අවදානම අවමකරයි

රාත්‍රී අන්ධතාවය විටමින් ඒ ඌනතාවයේ මුල් ලක්‍ෂණයකි. තවද බීටෝලප, කෙරටොමැලේෂියා වැනි රෝග තත්ත්වයන් ඇති වී පෙනීම අඩාල වී ක්‍රමයෙන් පූර්ණ අන්ධතාවයට ලක්වීමේ අවදානමක් ද විටමින් ඒ ඌනතාවය නිසා ඇතිවිය හැකිය. දරුවාට වසර පහක් සම්පූර්ණ වන තුරු සෑම මාස හයකට වරක්ම ක්‍ෂේත‍්‍ර සායන මගින් ලබා දෙන විටමින් ඒ අධි මාත්‍රාව ලබා දිය යුතුමය.

විටමින් ඒ බහුල ආහාර කිහිපයක්

  • කහ පැහැති එලවළු – කැරට්, කහ බතල, තක්කාලි, වට්ටක්කා
  • පහ පැහැති පළතුරු – අඔ, ගස්ලබු, ලාවුලූ, දොඩම්
  • තද කොළ පැහැති පලා වර්ග – කතුරුමුරුංගා, තම්පලා, නිවිති, කැරට් කොළ , බීට් කොළ, මුරුංගා කොළ වැනි පළා වර්ග
  • සත්ව ආහාර – බිත්තර කහ මදය, මස්, සත්ත්ව අක්මාව, මාළු තෙල්
  • කිරි ආහාර – මුදවපු කිරි, චීස්, බටර්, යෝගට්

සැ.යු.

විටමින් ඒ ඌනතාවය පාලනයට : 

  • මවගේ මුලින්ම එරෙන රන් කිරි හෙවත් කොලස්ට‍්‍රම් අනිවාර්යෙන්ම දරුවාට ලබාදෙන්න
  • ළදරුවාට මාස හය සම්පූර්ණ වන තුරු මව්කිරි ලබා දෙන්න
  • මාස හය සම්පූර්ණ දරුවාට මාස හයෙන් හයට සායන හරහා ලබා දෙන විටමින් ඒ අධි මාත‍්‍රාව ලබා දෙන්න
  • අමතර ආහාර ආරම්භ කළද අවුරුදු දෙක සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි ලබාදෙන්න
  • විටමින් ඒ බහුල ආහාර දරුවාගේ ආහාර වේලට එක්කරන්න

දරුවන්ගේ පෝෂණය කෙරේ උපරිම අවදානය මෙන්ම අවබෝධය මව්වරුන් සතුවී ඉතා වැදගත් වේ. සැමවිටම නිසි පෝෂණයක් ලබාදීම ශාරීරික වර්ධනයට පමණක් නොව බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍ය කරුණකි. පාසැල් විවේක කාලය සඳහා වුවද ලබා දෙන කෙටි කෑම වේල පෝෂණීය ආකාරයට සකසා දෙන්නය මව්වරුන් කල්පනාකාරී විය යුතුය. නිසි පෝෂණය සමගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරු පරපුරක් ලොවට දායාද කිරීමේ පූර්ණ වගකීම පැවරෙන්නේ මපියන් වන ඔබටය.

කොළඹ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සහ නව යොවුන් සෞඛ්‍ය ඒකකයේ ලේඛකාධිකාරී, ප්‍රජා වෛද්‍ය   එස් ජේ සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article