ඩෙංගු අවදානම අවධානයෙන් මැඩලමු

child_suffering_from_fever

ඩෙංගු වෛරසයක් මගින් ඇති වන රෝග තත්ත්වයකි. ඊඩිස් ඊජිප්ටයි නැතිනම් ඊඩිස් ඇල්බෝපික්ටස් යන වර්ගයන්ට අයත් මඳුරුවෙකුගේ දෂ්ටයකින් ඩෙංගු වෛරසය සිරුරට ඇතුළු වීම සිදුවන අතරම ඩෙංගු මදුරුවා නිවසේ අඳුරු ස්ථානවල සැගවී සිටිමින් දවසේ පැය විසිහතර පුරාම දෂ්ඨ කළ හැකි නමුත් ඉතා සක්‍රීය වන්නේ උදෑසන කාලයේ හෝ හවස් කාලයේදීය.

ඩෙංගු වෛරසය ශරීරීගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර රෝග ලක්‍ෂණ මතු වුවහොත් එය,

  • සාමාන්‍ය සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever :DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever: DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්)

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතින අතරම පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්තීකරණ හැකියාව මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකියි. ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම, රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථාවලට ද පත්විය හැකි අතරම මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මණින් සුව වන අතර අවදානම් අවස්ථාවලදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වේ.

උණ සමග පහත රෝග ලක්‍ෂණ පවතින්නේ නම් සහ ඔබ ජීවත් වන ප්‍රදේශය ඩෙංගු රෝගය බහුල ප්‍රදේශයක් වීම හෝ වටපිටාවේ ඩෙංගු රෝගීන් පිළිබඳව වාර්තා වීමද ඩෙංගු රෝගය වැළදී ඇති බවට සැක කළ යුතුය.

  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස්පිඬු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය හා වමනය
  • සමෙහි රතු පැහැ ලප හටගැනීම
  • රුධිර වහන තත්ත්වයන්

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ යන අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මණින් හඳුනාගැනීමය. ඒ සඳහා උණ සෑදී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC – Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීරීගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හඳුනාගත නොහැකිය.

තවද ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇති අතරම ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ අයෙකුහට ප්‍රතිශක්තිය ඇති වන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මගින් ආසාදනය විමේ අවධානමක් පවතී. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය ද (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුණු විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද ?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින දෙකකට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින දෙකකට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතුද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද ?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනාගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමග ප්‍රධාන ලක්‍ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් ප්ලූරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී තෙවන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂාවල වෙනස්කම් මගින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මගින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‍ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

අවදානම් ලක්‍ෂණ :
  • උදරයේ ඇති වන තද වේදනාව
  • නොනවත්වා වමනය පැවතීම
  • අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව
  • රුධිර වහනය වීම (විදුරුමසෙන්, නහයෙන්, දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මල පහවීම)
  • පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම

ගර්භණී මව්වරුන්, වයස අවුරුදු එකට අඩු දරුවන්, අධි බර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයින් අවදානම් ලක්‍ෂණ නොමැති වුවද රෝහල් ගත විය යුතුය.

උණ ඇති විට : 
  • වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොදින් විවේක ගන්න
  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබාදෙන්න. (උපරිම මාත්‍රාව 60පටරැනටරැ24ය වේ). තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදුකරන්න.
  • NSAID’s කාණ්ඩයේ ඖෂධ හා ස්ටීරොයිඞ් (steroids) භාවිතයෙන් වලකින්න. ඇස්ප්‍රීන් (Aspirine)” මෙෆෙනෙමික් ඇසිඞ් (Mefenemic acid)” ඉබියුප්‍රොෆෙන් (Ibuprofen)”  ඩයික්ලොෆෙනැක් (Diclofenac) වැනි Non Setoidal Anti Inflammatory Drugs (NSAID’s) කාණ්ඩයේ ඖෂධ/ ස්ටිරොයිඞ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය
  • සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න
  • උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් ප්‍රවේසම් වන්න
උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර :
  • අවශ්‍ය පමණට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතු, කැඳ, කිරි, ජීවනී, පළතුරු යුෂ වඩාත් සුදුසුය
  • ළමුන්ට ග්ලුකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබාදෙන්න
  • රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණය බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබාදෙන්න
  • තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න
  • අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඳුනාගැනීමට අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද ?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතු වන්නේ ඇයි ?

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වයි. මෛ බිජෞෂන සමය දින 3-14 අතර කාලයක් පවතී. ඉන් පසුව ඇති වන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර  එමගින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළුවී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වාගන්නේ කෙසේද ?

ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පැහැදිලි, නොසෙල්වන පරිදි ජලය ඒකරාශී වන ස්ථාන වලය. වරකට බිත්තර 100ත් 200ත් අතර පමණ ප්‍රමාණයක් දමන අතරම සුහුඹුල් මදුරුවකු ඇති වීමට සතියක පමණ කාලයක් ගතවේ. ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියලි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි ජලය රැදෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියි, අන්නාසි පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වභාවික ජලය රැදෙන ස්ථානවලද ඩෙංගු මදුරුවන් බෝවේ. ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝ නොවෙන ලෙස විනාශ කරන්න. වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න. වතුර එක්රැස් වන ස්ථාන, ලිං සහ ටැංකිවල මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් ආවරණය කරන්න. නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.

මදුරුවන්ගේ දෂ්ටනවලින් වැළකීමට :
  • අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න
  • මදුරු දැලක් යට විවේකීව සිටින්න
  • මදුරු විකර්ෂක භාවිත කරන්න (උදා: පැඟිරි තෙල් හො කෘතිම විකර්ෂක)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඬේංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.
අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here