ආවා… ආවා…ප්‍රතිඵල ආවා…

grade5_exam

අගොස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ගේ වගේම දෙමාපියන්ගෙත් සිත් මහා බරකින් නිදහස් වුණත් අද මේ මොහොත වන විට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිසා එක්කෝ බොහෝ සතුටට පත්ව ඇති. එහෙමත් නැති නම් බොහෝ දුකට පත් වෙලා ඇති. දරුවන් හා දෙමාපියන් යන පාර්ශව දෙක ගැනම මම සඳහන් කලේ දරුවන්ගේ ජයග්‍රහණයේ නියමුවන් ගෙස කටයුතු කරන්නේ ආදරණීය දෙමාපියන් නිසාමයි. විභාගය ඉහළින්ම සමත් සතුට භුක්ති විඳින දරුවන්ට හා දෙමාපියන්ට සුභ පතන ගමන් බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල ලබා නොගත් සිතේ දුකෙන් ඉන්න දරුවන්ගෙ දෙමාපියන් වෙත මම සටහනක් තබන්න සිතුවා.

” ඔයා දන්නවද චමින්දගේ පුතාට ශිෂ්‍යත්වයට ලකුණු 171 ලු. ”

” ඉතිං හොඳයිනේ ”

” පොඩ්ඩක් ඉන්නකො කියන කල් ඒ ළමයා රෝයල් එකට යන්නලු හිතාගෙන හිටියේ දැන් ලකුණු මදි නිසා හොඳටම අප්සට්ලු චමින්ද සැරින් සැරේ කතා කරලා පොඩි එකාගේ හිත හැදුවා. ඒත් මිනිහත් හිටියේ හොඳටම අප්සටි වෙලා. ඒත් ඒ බවක් දරුවට නොදැනෙන්න තමයි කතා කලේ.”

ඇත්තටම මගේ හිතට පොඩි දරුවාගෙ හීනය බොඳ වීම ගැන ඇතිවුණේ දුකක්. ඒත් තාත්තා කෙනෙක් විදිහට චමින්ද කොයි තරම් බුද්ධිමත්ද කියලා මට හිතුනා. ජිවීතේ අපි වඩාත් අපේක්ෂා සහිත දෙයක් අපට අහිමි වු කල වැඩිහිටියන් ලෙස අපට ද දරා ගත නොහැකි වන අවස්ථා විරලය. වරු ගණන් දවස් ගණන් අපි ඒ ගැන හිත හිත ළතැවෙනවා. ඉතින් මේ පුංචි පැටවුන්ගේ සමනල හීනයක් බිඳ වැටුනම ඒ හිත් කොයි තරමි රිදුම් දෙනවා ඇත්ද?

” හෙලෝ… දුවට ලකුණු කීයද? ”

” 147 අනේ , හැමදාම පන්තියේ පළවෙනියා. මට නම් හොඳටම කේන්තිත් ගියා ”

” ඉතින් බැන්නද පොඩ්ඩට ”

” නැහැ, නැහැ , මොනවා කරන්නද දැන් බැනලා. කේන්තිය හිතේ පැත්තක දමලා , කමක් නැහැ පුතා ඔයා හොඳයි කියලා කිව්වා. අද ඉස්කොලේ ගියානේ එයාට වඩා පහළින් ඉන්න ළමයි හැමෝම එයාට වඩා ලකුණු අරගෙනලු.  මම මීට වඩා උනන්නදු වුණා නම් හොඳ ලකුණක් ගන්න තිබුණා කියලා දැන් දුක් වෙනවා. ඇත්තටම අපේ උනන්දුවට වඩා දරුවන්ට එයාලගේ හදවතින්ම දැනෙන්න ඕනී මේ දේ කරන්න ඕනී කියන දේ. එහෙම නැතිව අපේ බල කිරීමට විතරක්ම එයාලා ඉලක්ක සපුරගන්න යන්නෙ නැහැ කියලයි මට හිතුනේ. ”

ඇත්තම ජිවිතය කියන්නේ අභියෝගයක්. ඒ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට වර්තමානයේ අප ලබන අත්දැකීම් බොහොමත්ම වැදගත්ය.

” අපේ පුතාගේ ලකුණු 158යි”

” අනේ ඇත්තද හොඳයිනේ ”

” ඔව්, ඒත් කඩඉම් ලකුණ 159යි. එක ලකුණෙන් එහා මෙහා වුනේ. පුතාට හුඟාක් දුක හිතිලා. අපටත් එහෙමයි. ඒත් අපි එයාගේ හිත හදන්න උත්සහා කරනවා.”

දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඔවුන්ව උනන්දු කරවලා ඔවුන්ව දැනුමින් සන්නද්ධ කරන්න දෙමාපියන් වශයෙන් ඔබ දැරූ උත්සහය හා කැපකිරීම අගය කළ යුතුය. දැන් ඔබට පැවරී ඇත්තේ ඊටත් වඩා භාර දූර කටයුත්තකි. ලකුණකින් හිත තැලී මානසිකව ඇද වැටී සිටින ඔබේම දරුවා නැවත මානසික වශයෙන් ශක්තිමත්කර අනාගතයට සුදානම් කිරීම ඔබගේ යුතුකමය. දරුවන් අපි සිතනාවාටත් වඩා සිතනවා. එනිසාම ඔවුන් බෙහෙවින් දුකට පත්වේ. 171 ගත්ත පුතා දුක් වෙන්නේ එයාගේ හීනය බොඳ වුන නිසයි. 147 ගත්ත දුව දුක් වෙන්නේ විභාගයට එයා උනන්දුවෙන් මුහුණ නොදුන්න නිසයි. 158 ගත්ත පුතා දුක් වෙන්නේ කඩ ඉම් ලකුණ පසු කරගන්නට බැරි වීම නිසයි.

දන්නවද මේ දරුවො තුන් දෙනාටම වඩා ලකුණු 97ක් ගත්ත දරුවකු සතුටින් ඉන්න බව. මේ දරුවො තුන් දෙනාටම දෙමාපියන්ගෙ නොමද සහයෝගය වගේම උනන්දු කරවීමත් තිබුණනේ. ඒත් මේ පුංචි සමනලීට එහෙම තිබුණෙ නැහැ. පන්තියේ දුර්වල ළමයෙක් විදිහටයි උන්නේ. ඒත් එයාගෙම උත්හයෙන් උපකාරක පන්තියකටවත් නොයා මේ දරුවාගේම උත්සහයෙන් එයා ලකුණු 97ක්ම ලබා ගත්තා. ඇත්තටම එයාගේ අම්මවත් හිතලා නැහැ මේ විදිහට ලකුණු ගනියි කියලා.

” අම්මා මට ඉගෙන ගන්න පුලුවන් මට මං ගැන සතුටුයි ” කියලා පුංචිකමට එයා කිව්වලු.

එකම හේතුවක් නිසා කෙනෙක් ඇද වැටෙන කොට තවත් කෙනෙක් ඒ හේතුව නිසාම ජීවිතයට පන්නරය ලබා ගන්නවා. දරුවන්ව අභියෝග වලට සූදානම් කලයුත්තේ දුක් සැප සම සිතින් දරා ගන්නට පුරුදු කරමින්ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය … ඇත්තටම පහ වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවකුගේ මුලු අනාගතයම තීරණය කරන සන්ධිස්ථානයක් නෙමෙයි කියන එකයි මගේ මතය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  සිදු වන්නේ දරුවකුට පහසුකම් සහිත පාසලකට යන්න හා ශිෂ්‍යධාර ලබා ගැනීමට සුදුස්සන් තේරීමයි. පැය කිහිපයක් තුල දරුවන් වසර කිහිපයක් උගත් දෑ කොළයකට ගොනු කරද්දි අති දක්ෂ දරුවන් වුවත් කාලයට පරදින්නට පු`ඵවන්. ඇත්තටම තමන්ගෙ දරුවා අපේක්ෂිත ජයග්‍රහණය වෙත ළඟා නොවු නමි තව දුරටත් ඔවුන්ට බැන වදිමින් ඔවුන් නොහැකි පුද්ගලයන් යැයි චෝදනා කරමින් ඔවුන්ව මානසික වශයෙන් අවතැන් කරවන්න උත්සහා නොකරන්න. වැටුන තැනින් නැගී සිටින්නට ඔවුන්ට පන්නරය ලබා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතය පැහැබර වනු නියතය.

වැටුනු විට වරක්

නැගිටින්න අත දෙන්න…

වැටි වැටි නැගිටින කල

ලැබෙනු ඇත ජීවිතයට පන්නරය…

වැටුන තැන වැටුන ලෙස සිටියොතින්

ජිවිතය හැමදාම වැටුන තැනම වැටී

මිලිනව මියැදී යාවී…

ගෙවී ඇත ඊයේ , උදා වී ඇත අද

උදාවෙනු ඇත හෙටක්

ඉතින් කුමට සෝකය…

දරුපැටවුන්ට ජීවිතය පුරා

සතුටින් තටු සලා පියඹා යන්න

පන්නරය ලබා දෙන්න

අම්මේ තාත්තේ සෙනෙහසින් …

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here