දැන් කාලයේ දරුවන්ට හොස්ස අගින් මැස්සා යන්න බැහැ

angry_child

දස මාසයක් කුසේ කියාගෙන හදා වඩා ගත්තු දරුවෝ මව්පියන් සමග නිරන්තරව මත ගැටුම් ඇති කර ගැනීම අද ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඉස්සර කාලයේ දරුවන් මව්පියන් සමග එකටෙක කියා ගෙන විවිධාකාර මත වාදවලට පැටලුනේ නැහැ. වර්තමානයේ දරුවන්ට එක්තරා වයසකට පැමිණි පසුව දෙමව්පියන් නුරුස්නා තත්වයකට පත් වෙනවා.

දරුවන්ගේ මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන් වියත් සමග ඇති වෙන හෝර්මෝනයන්ගේ බලපෑම නිසා බව ස්නායු වෛද්‍ය විද්‍යාඥ ප්‍රැන්සිස් ඊ ජොන්සන් සඳහන් කරනවා.මෙම වයසට පත් වෙන විට දරුවන්ගේ හෝර්මෝන පිලිබඳ වෙනස්කම් ගොඩ නැගෙනවා. ඒ සඳහා ප්‍රධාන ලෙසින් බලපාන්නේ ටෙස්ටොස්ටරෝන්, ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන වර්ගයි. මොළයේ උද්වේග කලාපයේ මෙම හෝර්මෝන උත්තේජනය වෙන විට දරුවන්ගේ ගති පැවතුම් පිළිබඳ වෙනස්කම් නොදැනම ගොඩ නැගෙන බව මෙම මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එතකොට මව්පියන් මේ විදිහට කියාවි….අපිත් ඔය වයස පහු කලා…අපිට ඔය කියන හෝර්මෝන පිට වුනේ නැත්ද කියලා…ජීව විද්‍යාත්මකව එම සංසිද්ධින් ඒ විදිහටම සිද්ධ වෙන්න ඇති. ඒත් අද සමාජ රටාව බොහොම වෙනස්. එදා දරුවන්ට පැවැති සරල ලෝකය වෙනුවට අද පවතින වේගවත් වෙනස්කම් ඉදිරියේ දරුවන් ගැටෙන විට එහි ප්‍රතිචාර දැනෙන්නේ අම්මාට තාත්තාටයි.

දරුවන්ගේ මෙම ආවේගශීලිත්වයට විශේෂයෙන්ම චෝදනා ලබන්නේ විද්්‍යුත් මෙවලම්. අද මව්පියන් විදිහට අපි හිටියත් එදා මේ වාගේ තාක්ෂණික ලෝකයක් සමග ගණු දෙණු සිද්ධ වුනේ නැහැ. ඇලේ දොලේ පැනලා, ගඩා ගෙඩියක් කඩා ගෙන කාලා , පොල් පිති ගොනෙක් එක්ක එහෙම නැත්නම් වැලි සෙල්ලම් බත් උයපු සුන්දර ළමා ලෝකය බොහාම සරලයි. දවසේ මුලුල්ලේ මේ විදිහට සෙල්ලමින් ගෙවලා හැන්දෑවට මුහුණ කට හෝදාගෙන දෙවියන් බුදුන් හෝ තමන් අදහන ආගමක් සිහිපත් කර ගෙන නින්දට ගියා.

ඒත් අද දරුවන්ගේ එකම ආරක්ෂකයා විද්්‍යුත් මෙවලම් විදහට සැලකෙන ජංගම දුරකථන , ලැප්ටොප් , ටැබ් වැනි මෙවලම්. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තරුණ දරුවන් වෙනුවෙන් නගන චෝදනාවත් ඒකයි.ඉස්සර දරුවන්ගේ රාත්‍රි හීනෙන් බය වෙනවාට කොට්ටය යටින් ගිරයක් වගේ යකඩ කෑල්ලක් ආරක්ෂාවට තිබිබත් අද දරුවන් නින්දට යන තෙක්ම දුරකථනය සමග ගණු දෙණුවෙන් ගෙවනවා.

එහෙත්…..ජංගම දුරකථන සමග රැය ගෙවද්දි දරුවන්ගේ චර්යාත්මක වගේම ජෛව රසායන ක්‍රියාවලියේ වෙනස්කම් සිද්ධ වෙනවා. මෙම කටයුතු සමග dopamine රසායනය නිදහස් වෙනවා.මේ නිසා දරුවන්ගේ මොළයේ ඇති වෙන උත්තේජනය මුල් කර ගෙන ඔවුන් නොදැනම බොහොම ආවේගශීලිත්වයෙන් කටයුතු කරනවා.

ඒ විතරක් නෙවෙයි, මේ දරුවෝ රැය පුරා මෙවලම් එක්ක ඔට්ටු අල්ලලා දවල් පුරා නින්දේ පසු වෙන බවට චෝදනා ඉවරයක් නැහැ.මොකක්ද ….මේ කරදරය බලන වෙලාවක් ඇත්තං නිදි….අම්මා ඒ විදිහට චෝදනා කළත් දරුවා රාත්‍රියට නින්දක් ලබන්නේම නැහැ.මේ වවුල් ප්‍රතිපත්තිය නිසාම දරුවන්ගේ මානසිකත්වය බොහොම අවුල් සහගතයි.

නින්ද අතරින් රාත්‍රි නින්ද මොළයේ නිරෝගි බව වෙනුවෙන් අවශ්‍ය බව රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අපි අවදිව සිටින විට ඇති වෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ විෂ ප්‍රෝටින් ඉවත් කිරිමට රාත්‍රි නින්ද අවශ්‍යයි. ඉතිං මුහුනුපොත, අන්තර්ජාලය, පරිගණකය සමග රැය පහන් කරන දරුවාගේ මනස බොහොම ආවේගශීලියි. මේ නිසාම දරුවාගේ මනස සන්සුන් කළ යුතු අන්දම ගැනත් මේ අධ්‍යනය මගින් කරුණු ඉදිරිපත් කරනවා.දරුවාගේ මෙම වැරැදි පුරැදු නිසා ඔවුන් අනාගතයේදි තරබාරුව, මානසික පීඩනය, අධි රුධිර පීඩනය, කිරීටක ධමණී සංකුලතා වැනි රෝග තත්වයන්ට පත් විය හැකි බවත් මෙම අධ්‍යනයේදී මව්පියන්ට උපදෙස් විදිහට පෙන්වා දෙනවා. එහෙම නම් ඔබ දරුවාගේ නින්ද ගැන කටයුතු කළ යුත්තේ කොහොමද…

නින්දට වේලාවක් තබා ගන්න….ඉස්සර කාලයේ උදවිය ට නිදි පුරුද්දක් තිබුනා. දවසේ රටාව අනුව නිදාගැනීමට වෙලාව ඉබේටම ගැලපි තිබුනා.

කෝලා වර්ගයේ පාන වර්ග නින්ද වලක්වන නිසා නින්ද ආසන්නයේදි මෙම පාන වර්ග පානය කරන්න එපා.

නින්දට පෙරාතුව ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න. මෙම උපාංග නිහඬ කලත් ඒවායේ කම්පනයන් නිසා නින්ද බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

නිදා ගන්න ආසන්නයේ පරිගණක කටයුතු වලින්ද ඈත් වෙන්න. ලැප් ටොප් නිසා අද දරුවන් නිදි යහනේදිත් මෙම උපාංග පරිහරණය කිරීම නිසා නින්දට බාධාවක් ඇති වීම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

නින්දට පෙරාතුව මනස සන්සුන් කර ගැනීමේ භාවනාවකයෙදෙන්න. එවිට හිත සන්සුන් වෙනු ඇත. ඉස්සර කාලයේ මව්පියන් නින්දට පෙරාතුව ආගම දහම සිහිපත් කිරීමට උපදෙස් දුන්නා . ඔවුන් දරුවන්ට නිතරම කියා සිටියේ හොඳ හිතින් නින්දට නොගියොත් නපුරු හීන පෙනි නින්දට බාධා ඇති වෙන බවයි. මේ නිසා දරුවන්ද නිරවුල් මනසකින් නින්දට ගියා. හොඳින් නිදා ගත්තා. හොඳින්ම අවදි වුණා. ඔවුන් නොදැනම මනස සන්සුන් වුණා.

අපිටත් ඔය හෝර්මෝන තිබ්බේ නැද්ද….කියලා අම්මා තාත්තා නගන පැනයට දැන් පිලිතුරු ලැබෙන්න ඇති…කාලයත් සමග ලෝකය මවන ලද අරුමය නිසා අපේ දරුවන් අතරමැදියන් බවට පත් වුනා. ඒත්…මේ අරුමයේ තිබෙන නපුරු විපාකයන්ගෙන් දරුවන් මුදවා ගන්න තවමත් අපිට විකල්ප විසඳුම් තිබෙනවා. ඒ විසඳුම් දෙසට යොමු වෙනවා හැර අපේ දරුවා ‍රෑ තිස්සේ ෆෝන් එකේ කියන අ‍ෙඳෝනාවෙන් නම් පලක් නැහැ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here