- Advertisement -

පොත් අපේ නෙත් වගේ

-

දරුවන් පොත් පත් කියවන්නේ නැතැයි යන මැසවිල්ල අද හැම තැනකින්ම ඇසෙන පොදු වචන ඛණ්ඩයක්. අද වගේ විසිතුරු පොත් පත්තර නොතිබුන කාලයකදී  දරුවන් නිවසට හාල්මැස්සන් කරවල ඔතාගෙන එන කඩදාසියේ තිබෙන දෙයක් වුනත් කියවන්න උනන්දු වුනා. ඒත්….මුද්‍රිත මාධ්‍යයන්ගෙන් දුරස්ථව ගිය අද කාලයේ වුනත් දරුවන්ට කියවන්න අවශ්‍ය බොහෝ දේ විද්්‍යුත් මාධ්‍ය මගින් ලැබුනත් ඔවුන් තුළ දැනුම වෙනුවෙන් කියවන උණක් පහල වෙන්නේ නැහැ. මේ අතරින් දරුවන් යොමු වෙන්නේ ක්‍රීඩා , සමාජ ජාල මිසක දැණුම , විනෝදය වෙනුවෙන් කියවීමට නොවේ.

මහා බ්‍රිතාන්‍යයේ මාධ්‍ය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ 2010 වසරේ පටන් 2015 වසර වෙන විට දරුවන්ගේ කියවීමේ වේගය බෙහෙවින් පහත වැටී ඇති බවයි.2010 වසරේදී එරට දරුවන් අතර පුස්තකාල පරිශීලනය කරන ප්‍රතිශතය 18. 7 % ක් ලෙසින් පැවැතුනත් 2014 වන විට මෙම ප්‍රතිශතය 13. 8 % දක්වා පහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ළමා සාහිත්‍යය පිලිබඳ ලේඛක ක්‍රිස් රිඩ්ල් මේ තත්වය ඉතා අවාසනාවක් විදිහට පෙන්වා දෙනවා. කියවන පුරුදු පිලිබඳ සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩයනා ජෙරල්ඩ් සඳහන් කරන්නේ පුස්තකාල වෙතින් ඈත් වෙන දරුවන්ට පුස්තකාල සමීප කිරීම වෙනුවෙන් ආකර්ශණීය වැඩ පිළිවෙලක් අවශ්‍ය බවයි.

- Advertisement -

පුස්තකාලයක් වෙත යන අරමුණ දරුවෙක් තුළ ගොඩ නැගෙන්නේ ඔවුන්ට කියවීමේ උණක් තිබුනොත් විතරයි. අද දරුවන්ට මව්පියන් වෙතින් වත් මෙම අවශ්‍යතාවය ඉටු නොවන තැනට පත් වෙලා. මව්පියන් වුනත්  එදා පොතක් පත්තරයක් මිළට ගත්තත් අද අන්තර්ජාලයෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන නිසා පොත් පත් මිළට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ.

විවේකය ලැබුන විට සාප්පු සවාරියක් , විනෝද චාරිකාවක් ගැන කතා බහ දරුවන් මුල් කර ගෙන ගොඩ නැගෙනවා විනා කිසිම දිනක පුස්තකාලයක් වෙත දරුවන් කැටුව යෑමේ අදහස් මව්පිය පාර්ශවයෙන් ලැබෙන්නේ නැහැ.නගරයට ගියත් වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් වූ සැලසුම නිසා පුස්තකාලයට වැස්සකටවත් ගොඩ වදින පුරුද්දක් වැඩිහිටියන්ටත් නැහැ. මෙහෙම වුනාම කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලයි.

උත්සව සමය ආසන්න වෙත්ම මව්පියන් තුළ ඇති වෙන්නේ ” සේල් ” ගැන අදහස විතරයි. ඒත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන දිනයන්හි අපේ දරුවෝ පොත් ප්‍රදර්ශනයට එක්ක යන්න ඕන යන සිතුවිල්ල ඇති වෙන්නෙත් නැහැ.පොත් ප්‍රදර්ශනයකට ගිය විට පොත් වලින් වහනය වෙන නැවුම් සුවඳ පවා කියවන්න උත්තේජනයක් ඇති කරනවා.විදේශීය පොත් ප්‍රකාශකයන් පවා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉගෙණුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත් පත් තෝරා ගැනීමේ අපුරු අවස්ථාවන් දරුවන්ට උදා වෙනවා. ආකර්ශණීය වට්ටම්ද ලැබෙනවා. සේල් වෙනුවෙන් යොමු වෙනවා වගේම පොත් වෙනුවෙන් ලැබෙන ආකර්ශණීය වට්ටම දරුවන්ට ලබා දිය හැකියි. ඒ විතරක් නොවෙයි…..කියවන සමාජයක ඇසුර දරුවාට ලැබෙනවා. පොත් කතුවරු හමු වෙනවා…කියවීම වෙනුවෙන් තරඟ පවත්වනවා. මේ සියලු පහසුකම් නිසා දරුවාටත් පොත් පත් අතර රැ‍ෙඳෙන මානසිකත්වය නොදැ‍නම ඇති වෙනවා.

නිවස විසිතුරු කරන ගෘහ භාණ්ඩ කලින් කලට වෙනස් කරන සහ ටැබ්, පරිගණක වැනි විද්්‍යුත් උපාංගයන් දින දින අලුත් කරන අම්මා ,තාත්තා දරුවා වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කරන්න පුංචි පොත් රාක්කයක් මිළට ගන්න කිසිම දිනක හිතන්නේ නැහැ. පුංචි අල්මාරියක පොත් එකතුවක් දරුවාට සකසා දුන්නොත් එයින් නොදැනම පොත් පත් එක් රැස් කරන සහ කියවන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙනවා. පොත් ආරක්ෂා කරන්න අවශ්‍ය සම්පතක් බව ප්‍රායෝගිකවම ඔහුට ඒත්තු ගැනෙනවා.

පොත්  කියවන දරුවාගේ දැනුම් ගබඩාව නොදැනම පුළුල් වෙනවා. ගැමුණු කුමාරයා ගැන කියවන දරුවා දස මහයෝධයන් ගැනත් උතුරේ එලාර රජතුමා සමග වූ ඉතිහාසය හොඳින් හඳුනා ගන්නවා. ලෝකය පුරාවට වූ දැණුම දරුවා තුළ නොදැනම එක්රැස් වෙනවා. ඇස්තිමෝ ගැන කියවන විට අත්ලාන්තික් කලාපයටත්, පිග්මි වැනි ගෝත්‍රිකයන් සමග දරුවා අප්‍රිකාවට යනවා. ඒ වගේම දරුවාගේ චරිතය ගොඩ නගා ගත හැකි ආදර්ශමත් චරිත මගින් දරුවාගේ පෞරෂ වර්ධනයටද සුවිශාල බලපෑමක් ඇති කරනු ඇත.

පොත් කියවීම දරුවාට අප්‍රිය නොවන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පොත් අපේ නෙත් වගේ කියන ලෙසින්ම දරුවාට පොත් සමීප වීම වැදගත්. පොත් කියවීම විධාන මගින් සිදු කළ නොහැක. එය දරුවාගේ සිතට වඩාත් සමීප අත්දැකීමක් විය යුතුය.

අද මහජන පුස්තකාල හැම පළාත් පාලන ප්‍රදේශයකම පිහිටා ඇති නිසා දරුවාට එහි සාමාජිකත්වය ලබා දිය හැක.මේ වෙනුවෙන් ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. එවිට ඉතා පහසුවෙන් දරුවාට අවශ්‍ය පොත් පත් කියවීම වෙනුවෙන් පහසුකම් ලැබෙනු ඇත. මහජන පුස්තකාල මුල් කර ගෙන කියවීම ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වෙන විවිධ වැඩ සටහන් තිබෙනවා. පොත් පත් මුල් කර ගත් දැනුම මිනුම තරඟ, රචනා, චිත්‍ර, පෝස්ටර්, කාටුන් සහ විවිධ තරඟ ඉසව් තිබෙනවා. මෙම තරඟ වෙනුවෙන් සහභාගි වී දරුවාට තමාගේ සහජ කුසලතාවයන් වර්ධනය කර ගත හැකියි. මේ නිසා දරුවා සමග ඔබටත් පුස්තකාලයට ගොස් පොත් පත් කියවීමේ පුරුද්ද ගොඩ නගා ගත හැකි අතරම දැණුමෙන් ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා.

ඇමරිකාවේ යේල් සරසවියේ පවත්වන ලද අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ පොත් කියවන්නන්ගේ ආයු කාලය වැඩි බවයි. මෙම අධ්‍යනය සඳහා පුද්ගලයන් 3635 ක් සහභාගී කර ගත් අතර ඔවුන් අවුරුදු පණහ ඉක්මවන ලද අය වුනා. ඔවුන් දිනකට පැය තුන හතරක් පොත් කියවීමට කාලය යොදවනු ලැබුවා. එම පිරිස පිළිබඳ පසු තොරතුරු සෙවීමේදී පෙනී ගියේ පොත් කියවන පිරිස අතර කායික රෝග සහ මානසික රෝග පිලිබඳ පැමිණිලි ඉතා අඩුම මට්ටමක පැවැතුණා.ඊටත් බලපාන හේතු තිබෙනවා. පොත් පත් මගින් ලැබෙන දැණුම නිසාම තමන්ගේ සෞඛ්‍යය ගැන ආරක්ෂාව ලැබෙනවා. මානසික ලෙසින්ද ඇති වෙන විවේකය නිසා වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම අඩුයි. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබෙන නිසා ඒ සමග බද්ධව තිබෙන වෙනත් රෝගාබාධයන්ගෙන් නිදහස් වීමේ හැකියාවටත් මග පෙන්වීමක් නොදැනම ඇති වෙනවා.

මේ නිසා දරුවාගේ උපන්දිනයට ලබා දෙන වෙනත් තෑගි සමග පොතක් තෑගි කරන්න. දරුවන් සිටින තැනකට යන විට රුගෙන යන රසකැවිලි වෙනුවෙන් වූ මුදලට සමානව කියවන යමක් රුගෙන යන්න. නිතර දෙවේලේ පොත පත නෙත ගැටෙන විට කියවන රුචිය දරුවාටත් ඔබ නොදැනම වගා වෙනු ඇත.කියවන සමාජයක් එක් රැයකින් බිහි කරන්න බැරි වුනත් මේ විදිහට යම් යම් උපක්‍රම අනුගමනය කළොත් එය අපහසු කටයුත්තක් නොවේ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article