රැකියාව සහ දරුවන්

busy-parents

හැම දෙමව්පියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තබන්නයි. මේ නිසාම බොහෝ දෙමව්පියන් රැකියාවක් මගින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්න බව සඳහන් කළොත් වරදක් නැහැ.

එහෙත් රැකියාව සහ දරුවන් මුල් කර ගත් පවුල් ජීවිතය සමබර ලෙසින් පවත්වා ගෙන නොගියොත් එය දරුවාගේ මානසිකත්වයට ඉතා තදින් බලපාන බව බ්‍රිතාන්‍ය කොලම්බියාවේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. මේ තත්වය අපිටත් සාධාරණයි.

ඇතැම් උගත් වැදගත් මව් දෙමව්පියන්ගේ දරුවෝ අයාලේ වැටුනාම අපි වුනත් අකම්පහල වෙන්නේ මේ දරුවන්ට මොනවද අඩු…..ඇයි මෙහෙම වුනේ කියලයි….ඒ තත්වයට දරුවන් පත් වුනේ දෙමව්පියන් සහ දරුවන් අතර වූ මානසික බන්ධනය නොදැනම ගිලිහුන නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොනතරම් ඉහළ වෘත්තියක නියැලුනත් රැකියාවේ වගකීම් සමගින්ම දරුවන්ගේ ජීවිතයටත් සමීපව සම්බන්ධ වීම අවශ්‍යයි. බොහෝ දෙනා අද රැකියාව ගැන අනවශ්‍ය විදිහට අවිවේකී බව ගොඩ නගා ගන්නවා. අනේ රාජකාරියත් එක්කමනේ අපි….හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ…බොහෝ දෙනා මේ ආකල්පයෙන් අද සිටියත් තමන්ගේ දූ දරුවන්ටත් ආදරය සෙනෙහස අවශ්‍ය බව අමතක කළ යුතු නැහැ.හැන්දෑ කළුවර ගලා හැ‍ෙලන විට සෙනෙහස දැල්වුන නිවස කරා ඔබ පැමිණිය යුතුයි. නිවස ඔබට සුවදායක තැනක් විය යුතුයි. ඇතැම් අය කියන විදිහට ගෙදර අපායක්ය….යන සංකල්පයෙන් මිදෙන්න අවශ්‍යයි.නිවස ඔබට දිව්‍යලෝකය තරමටම සුවදායක නම් සැබැවින්ම ඔබ දරුවන් සහ පවුල මුල් කර ගෙන ජීවත්වෙන චරිතයකි.

ඒත් අද බොහෝ දෙනා ආර්ථික වාසි නිසා සති අන්තයේ වත් දරුවන් සමග ගත කරන්නේ නැහැ. කන්තෝරුව ජීවිතය බවට පත් වෙලා. දරුවන්ද නිවසේ නොරැඳෙන බව ඇත්ත. ඔවුන් බාහිර පංති වෙනුවෙන් දවස ගෙවෙන නිසා මව්පියන් නිවසේ සිටියද එකිනෙකා අතර බන්ධනයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒත් දරුවන්ගේ හිත් මානසිකව හුදෙකලා වෙනවා. මේ මානසිකත්වය ඔවුන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම එතරම් ගුණ නැහැ.

බොහෝ දරුවන් මෙම මානසික හුදෙකලා බවෙන් මිදෙන්න විවිධ අකටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ආදර සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා අතර පිරිමි දරුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙත යොමු වෙන අවදානම ඉහලයි. සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි වුනත් මුදල් කියන්නේ ජීවිතය නොවෙයි කියන තැන අපි නැවතිය යුතුයි. මධ්‍යම පළාත් පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා සඳහන් කරන අන්දමට මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පවුල් අතර හොඳ අධයාපනයක් ලත් සමාජයේ ඉහළ තානාන්තරවල සිටින මව්පියන්ගේ දරුවන් පවා සිටිනවා.  ඇත්තටම පවුල තුල මේ දරුවෝ හුදෙකලා වෙනවා. ඒ නිසාම ඔවුන් නොමගට ඇදෙන අතර දෙමව්පියන්ද තම දරුවන්ගේ අකටයුතු සඟවා ගෙන ජීවත් වෙනවා මිස මතෙන් මුදවන කටයුතු වෙනුවෙන්වත් උනන්දු නොවෙන්නේ තම දරුවාගේ තත්වය සමාජය දැන ගැනීවි යන අහංකාර සිතුවිලි නිසාය.

වැරැදි සමාජ ආශ්‍රයන් වගේම සමාජ ජාල සහ වෙබ් අඩවි පරිශීලනය නිසාත් ඔවුන් නොමගට ඇදෙනවා.

ඉහත අධ්‍යනයේ ප්‍රධාණී මනෝවිද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව්ද මේ අදහසම සඳහන් කරනවා. රැකියාව සහ ගෘහ ජීවිතය අතර අන්තර් සම්බන්ධතාවයක් නොමැති දෙමව්පියන් මූලිකත්වය දෙන්නේ රැකියාවටයි. රැකියාවේ ස්වභාවය සමග දරුවන් ඔවුන්ට කරදරයක්.රැකියාවේ ඉලක්කයන් සමග හැල්මේ දුවන විට දරුවන් ඉබේටම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ තත්වය ධනවත් පවුල් සංස්ථාවන් තුළ වැඩියෙන් පෙනෙන බව කුෂ්ලෙව්ගේද අදහසයි.

කාන්තාවක් රැකියාවක නිරත විට ඇය රැකියාව වෙනුවෙන්ම කැපවෙනවා. ඒ නිසාම දරුවන් ඇගෙන් මග ඇරෙන බව අමුත්තක් නොවේ. රැකියාවේ ස්වභාවය අනුව වගකීමෙන් මිදෙන්නත් අපහසුයි. දරුවාට අම්මා සේවා ස්ථානයේ බැබැලෙන චරිතයක් වුනාට දරුවාට එයින් බලපෑමක් නැහැ. තමාගේ ජීවිතයේ තිබෙන පාළුව නිසා ඇති වෙන ආත්මීය ශෝකයෙන් දරුවා නිරන්තරවම පීඩා විඳිනවා.

දෙමව්පියන් නිවසේ නොමැති විට දරුවා කාලය ගෙවන්නේ කොහොමද යන්න මව්පියන් සොයා බැලීම අවශ්‍යයි.උදේ නිවසෙන් පිටවුන තැන පටන් නැවත නිවසට එන තෙක් දරුවා ගැන විමසිල්ලෙන් සිටින විට අම්මා තාත්තා තමා ගැන අවධානයෙන් සහ ආදරයෙන් සිටින බව දරුවා දන්නවා.

මානසික හිස්කමෙන් පීඩාවට පත් දරුවන් සමහර විට අද නොමගට යොමු නොවුන චරිත විය හැකියි. ඒත් තරුණ වියට පත් වෙන විට මෙම දරුවන් තුළ මානසික අවපීඩනය, සාංකාව හෝ ආතතිය වැනි රෝග තත්වයන් දැක ගත හැකියි. සමහර විට බාල කාලයේ තමාට ආදරය අවධානය නොලැබීම නිසා හිතේ ඇති වුන පසුතැවිල්ල විටෙක නොදැනම වෛරයක් තරම් දරුණු වෙන්නත් පුළුවන්.

කොච්චර බණ කිව්වත් ආර්ථික ශක්තියක් නැතුව ජීවත්වීම එතරම් පහසු නැහැ. රැවුලයි කැඳයි දෙකම අපි බේරා ගත යුතුයි. මේ නිසා හැකි හැම වේලාවක්ම දරුවා සමග ගත කරන්න.කාර්යාලයේ කරදර පොදිය හවසට කාර්යාලයේ තබා යන්න. එය නිවසට රැගෙන ගොස් පවුලේ සතුටට බාධාවක් කර නොගන්න. නිවසට ගිය තැන පටන් රූපවාහිනිය, ‍ෆේස් බුක් , ලැප්ටොප් නොව ලෙයින් මසින් උපන් දරුවන් සමීපයේ කාලය ගෙවන්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන අසන්න. දරුවන් දවස ගෙවූ අන්දම වගේම ලබා ගත් අත්දැකීම් බෙදා හදා ගන්න. පවුලක සතුට , සමාදානය වගේම දරුවන් සහ දෙමව්පියන්ගේ බන්ධනය එවිට ගොඩ නැගෙනු ඇත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here