- Advertisement -

90% දරුවන් නිතර නිතර මැසිවිලි නගන බඬේ රිදිල්ල “Colicky Abdominal Pain” හෙවත් Colicky

-

පාසැල් වියේ දරුවන් සිටින මව්වරුන්ට දරුවන්ගේ උදරයේ වේදනාවන් පිළිබඳව නිතර නිතර අසන්නට ලැබේ. ඇතැම් මව්වරුන් මෙය දරුවන්ට පැවරුණු පාසැල් වැඩකටයුතු හෝ ඔවුන් අකමැති කාර්යයන් ඇති විට ඒවා මගහැරීමට යොදන උපක්‍රමයක් ලෙසද සිතයි. වයස අවුරුදු 4ත් 16ත් අතර පසැල් වියේ දරුවන්ගෙන් 75%ක පමණ ප්‍රමාණයකට ඇතිවන මේ උදරයේ වේදනාව බොහොම පොදු ගැටලුවක් වන අතරම දිනපතා හෝ සතියකට වරක් හෝ මේ තත්ත්වය ඇති විය හැකියි. ඇතැම් දෙමාපියන් සිතන්නේ දරුවන් පාසැල් යාම හෝ පාසැල තුළ රැඳී සිටීමට ඇති අකමැත්ත මත දරුවන් මෙසේ මැසැවිලි නගන බවයි. නමුත් මෙය උදරයේ ඇති වන Colicky තත්ත්වයක් විය හැකියි.

Colicky තත්ත්වය යනු සිරුරේ කුමන හෝ නාලයක සිරවූ යමක් තල්ලු කර යැවීමට සිරුර දරණ උත්සාහය මත ඇතිවන වේදනාවයි. බඩවැල්, වකුගඩු, අක්මා-අග්න්‍යාෂ යන පද්ධති පිරිමි දරුවන්ගේ සිරුරේ ඇති ප්‍රධාන නල පද්ධති 3 ක් වන අතරම ගැහැණු දරුවන්ගේ ඊට අමතරව ගර්භාෂ-පැලෝපීය යන නල පද්ධති දැකගත හැකියි.

- Advertisement -

උදරයේ මැදින් එනම් පෙකණිය ආසන්නයේ සිට වේදනාව ඇති වීම මේ Colicky Abdominal Pain හෙවත් Colicky තත්ත්වය හඳුනාගත හැකි ප්‍රධානතම ලක්‍ෂණයයි. මේ වේදනාව විනාඩි 2-4ක් පැවත ඉබේම පහව ගියද ඒ කාලසීමාව තුළ අධික වේදනවාක් ගෙන දෙයි. ඇතැම්විට මේ වේදනාව එසැණින් නැවත ඇති විය හැකියි. එසේත් නැතිනම් විනාඩි 10 ක් 20ක් ගත වූ පසු හෝ නැතිනම් සතියකට පසුව වුවද නැවත ඇති විය හැකිය.විශේෂයෙන්ම පාසැල් යාමට පෙර උදෑසන ආහාරවේල හෝ කිරි වීදුරුව ලබාගැනීමෙන් අනතුරුව මේ වේදනාව ඇති විය හැකිය. එසේම පාසැල් විවේක කාලය තුළ එනම් දහවල් 11 – 12 අතර කාලයේදී කුසගින්න නිසා හෝ යමක් කුසට වැටුණු විට මේ වේදනාව ඇති විය හැකියි.

ඇතැම් දරුවන් දිනකට වරක් මලපහ පිට නොකරන අතරම ඔවුන් දින දෙක තුනකට වරක් මලපිටකරයි. එවැනි දරුවන්ගේ මල ඉතාම වියළි ස්වභාවයෙන් යුතු විය හැකි අතරම රුධිර වහනයන් ද දැකගත හැකිය. Colicky තත්ත්වය ඇති වන 75%ක් පමණ දරුවන්ට කොයි ආකාරයකින් හෝ මලබද්ධ තත්ත්වය පවතින අතරම කුඩා බඩවැල්වලත් මහා බඩවැල්වල මුල් කොටසේත් මල වැඩි වශයෙන් රැදී තිබීම මෙයට තවත් හේතුවකි. එවැනි තත්ත්වයන්හිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට දරුවා හුරුකිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ද ඉතා වැදගත් වේ. මෙම Functional Abdominal Pain තත්ත්වය සමනය කරගැනීම සඳහා ආහාර පාලනය බොහෝ සෙයින් වැදගත් වන අතරම තන්තුමය කොටස් බහුල එළවළු, පළතුරු වැඩිපුර ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර වර්ග සහ පාන වර්ගවලින් ඈත් වීමත් මේ තත්ත්වය සමනය කරගැනීමට වැදගත් වේ. එසේම ආහාර ලබාගැනීම ප්‍රධාන වේල් තුනකට සහ කෙටි වේල් දෙකකට සීමා කිරීම ද වැදගත් කරුණකි. ක්‍රමාණුකූලව ජීවිතයට ව්‍යායාම ලබාගැනීමත් මේ තත්ත්වය මග හරවා ගැනීමට උදව් වේ.

Colicky තත්ත්වයට අමතරව උදරයේ වේදනාවන් ඇතිවීමට හේතු : 

  • උදරය තුළ ආම්ලිකතාවය වැඩිවීම
  • මානසික ආතතිය
  • බඩවැල්වල ක්‍රියාකාරීත්වය මගින් මොළය අනවශ්‍ය ප්‍රමාණයකට උද්දීපනය වීම

උදර වේදනාව පිළිබඳ සංඥා මොළයට ගමන් කිරීමෙන් අනතුරුව උදරයේ වේදනාව මොළය මගින් අප වෙත දනවයි. වයස අවු.12-14 පමණ වන තුරු උදර වේදනාවේ ප්‍රමාණය පිළිබඳව නිවැරදි වැටහීමක් මොළයට ලබා ගත නොහැකි වන අතරම කුඩා වේදනාවක් වුවත් වටහා ගන්නේ විශාල වේදනාවක් ලෙසටයි. ඒවා Functional Abdominal Pain ලෙස හඳුනවන අතරම එවැනි තත්ත්වයන්හිදී උණ, වමනය, මුත්‍ර දැවිල්ල, මලපහ ඝන, වියළි බවින් යුතු වීම, කෑම අරුචිය, බර ක්‍ෂණිකව අඩුවීම වැනි තත්ත්වයන් දැකගත නොහැකිය.

මේ තත්ත්වය පිළිබඳව මව්පියන් තුළ පවතින බිය දරුවාට නොදැනෙන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් වන අතරම වේදනාව කළමනාකරණය කරගැනීම පිළිබඳව දරුවන් මෙන්ම දෙමාපියන්ද සැලකිමත් වන්න. දරුවාට පාසැල් යෑම අනිවාර්ය කරන්න. පාසැල් නොගොස් රූපවාහිනය නැරඹීම හෝ ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා කිසිදු විටෙක අවස්ථාව ලබානොදෙන්න. එසේම මේ වේදනාව සමගින් දරුවා පාසැල් යාම හෝ වෙනත් කාර්යයක නිරත වුවහොත් දරුවාව අගය කරන්න. දරුවාට සැමවිටම ඔබේ සම්පූර්ණ සහාය ලබාදෙන්න.

මෙම තත්ත්වය ඇතිවීමට විශේෂිත හේතුවක් සොයාගත නොහැකි අතරම, දරුවා වැඩිවියට පත්වීමත් සමගම නැතිවී යයි. කිසිදු විටෙක හිතුමතේ දරුවාට ඖෂධ ලබානොදිය යුත්තේ දිගින් දිගටම දරුවාට ඖෂධ වර්ග ලබා දුනහොත් දරුවා එයට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එසේම නිතර නිතර ඇති වන වේදනාවේ වෙනස්කම් දරුවා පවසයි නම් හෝ වෙනත් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එනම් මලපහ සමග රුධිරය පිටවීම, ක්‍ෂණිකව සිරුර සිහින් වීම, වමනය වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවන්න.

එසේම දරුවන්ට හදිසියේම ඇති වන උදර වේදනාවන් පිළිබඳවද මව්වරුන් වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තත්ත්වයකදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතු අතරම එය Acute Abdominal Pain ලෙස හඳුන්වන තත්ත්වයයි. වේදනාව සමග උණ, වමනය, උදරයේ එක් පසක් වැඩිපුර රිදීම වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් ඒ තත්ත්වය ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) නම් වූ රෝගී තත්ත්වයද විය හැකියි. එසේම බඩවැල්වල සිරවීම් (Intestinal Obstruction) එසේත් නැතිනම් බඩවැලක් අස්සේ බඩවැලක් යෑම (Intussusception) හේතුවෙන් හටගන්නා වේදනාකාරී තත්ත්වයක් ද විය හැකියි. ඇතැම්විට මේවා මාරාන්තික තත්ත්වයන්ද විය හැකියි. මේවාට අමතරව බඩවැල් ආසාදන, ගැස්ටි්‍රස්ටීස් (Gastritis), ආහාර විෂ වීම් (Food poising) වැනි තත්ත්වයන් මෙන්ම වකුගඩු ආශ්‍රිතව ගල් හිරවීම්ද විය හැකිය. මේ සියලු අවස්ථාවන් සඳහා හදිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව මව්වරුන් සහි තබාගන්න.

කාරාපිටිය ශික්ෂණ රෝහලේ, ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ඵස්. කස්තුරි මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article