- Advertisement -

අපේ දුව උයන්න දන්නේ නැහැ

-

ඔහුගේ දියණිය දීග තල යන වයසත් දැක් ඉක්මවමින් ගොසින්ය. ඇය රුවෙන් අඩුවක්ද නැත. උසස් අධ්‍යාපනයක් ලබා ඇත.. රාජකාරිමය ලෙසින් බැංකු නිළධාරිනියෙකි. මේ නිසා ඇය වෙනුවෙන් මංගල යෝජනාවන්ද අඩුවක් වූයේ නැත. පොරොන්දම්ද ගැලපේ. ඒත්….විවාහය වෙනුවෙන් තවමත් තීන්දුවක් නැත. දන්නා හඳුනන අය ගෙනෙන ලද යෝජනාවන් නොදැනම බිඳ වැටෙන විට ඔවුනොවුන් පවා කතා වුනේ ඇත්තටම ඇයි….තවම මංගල්‍යක් හරියන්නේ නැත්තේ….යන්නයි. පසුව රහස එලි විය.

දියණිය වෙනුවෙන් වූ මංගල යෝජනාවන්හිදී පියා ඔවුන් ඉදිරියේ කියා සිටින්නේ ” අපේ දුවට උයන්න පිහන්න බෑ… එයා කැමැති නෑ වලං මුට්ටි හෝදන්න…. සේරම කරල දෙන්නේ තවම අම්මා .” තම දියණියගේ සුකොමල බව නිසා පියා මේ විදිහට කිව්වත් ඇත්තටම ගැහැණු දරුවෙකුට ඉවුම් පිහුම් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කිරීමත් ලැජ්ජාවක්.මේ නිසා ඇය බලන්න පැමිණි මනමාලයෝ නොදැනම ඈත් වුණා.

- Advertisement -

එදා ගැහැණු දරුවන් අද මෙන් උසස් අධ්‍යාපනය නොලැබුවත් ඔවුන්ට මව්පියන් විසින් ලබා දුන් ලොකුම අවවාදය වුනේ ” හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ “ යන්නයි. ඇත්තටම ගැහැණු පමණක් නොව පිරිමි දරුවෙන් වුනත් උයන්න පිහන්න ඉගෙන ගැනීම වරදක් නැහැ.

ඉවුම් පිහුම් කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක්. මේ කලාව වෙතින් ලබන පන්නරය නිසා අනාගතයේදී ගෙදර දොර කටයුතු ඉතා හොඳින් කර ගැනීමේ පහසුව ලැබෙනවා.අද බොහෝ දෙනා හිතන්නේ හන්දි ගානේ නයිට් කඩ තියෙන නිසා ගෙදර කෑම බීම හදනවාට වඩා ‍කීයක් හරි දීලා වේල පිරිමහ ගත්තාම ඇති කියලයි. ඒත් …. මේ කඩවලින් හදන ආහාරවල තිබෙන ගුණාත්මක බව, පිරිසිදුකම සමග ඔබේ වියදම ගැන ගණන් බැලුවොත් නිවසේ පිළියෙළ කරන ආහාර වේලක තිබෙන රස ගුණ පමණක් නොවෙයි, මුදල් ඉතිරියත් මොනතරම් වටිනවාද යන්න තේරේවි.

දරුවෙකුට උයන පිහන කටයුතු එක රැයකින් උගන්වන්න බැහැ. ඒ වෙනුවෙන් බාල කාලයේ පටන්ම මග පෙන්වන්න අවශ්‍යයි. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලම් ගෙවල් තනා ගෙන ඒවායේ පුංචි හැලි වලං වල බත්, ව්‍යංජන පිළියෙළ කරනවා. ඒ සෙල්ලම් ලෝකය තුළ උයන පිහන කටයුතු වෙනුවෙන් අත හුරු වීම නොදැනම සිද්ධ වෙනවා.

ඒත්…. අද දරුවන්ට සෙල්ලම් ගෙවල් දාන්න වෙලාවක් කලාවක් වගේම පිරිසක් නැහැ. නිවසේ දරුවන් අතර වුනත් එකට එක්ව සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. යාන්තම් හය හතර තේරෙන දිනයේ පටන් අමතර පංති , විෂය බාහිර පංති නිසා දරුවන් තම සහෝදරයන් අතරත් හුදෙකලා වෙලා. අම්මා උයන දේ, එහෙම නැත්නම් කඩෙන් අරගෙන දෙන කුමක් හෝ ක්ෂනික ආහාරයකින් පිරිමැහෙනවා විනා එයින් එපිටට කිසිම දෙයක් හිතන්න යොමු වීමක් නැහැ.

අද දරුවන් අතර ගනුදෙණු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා බව රහසක් නොවේ. එහි වැරැද්දක් කියන්න බැහැ. ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂනය සමග දරුවා ඉදිරියට යා යුතුයි. සමාජ ජාල ඔස්සේ ඔවුන්ට බොහෝ දේ ලබා ගත හැකියි. උයන්න පිහන්න වට්ටෝරු වුනත් මේවායින් බාගත කර ගන්න පුලුවන්.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කිව්වේ අලුත් අත්වලින් හදන කෑම රසයි.කියලා…. මේ  නිසා දරුවන් අතර අලුත් අලුත් දේ අලුත් අලුත් විදිහට උයන්න උනන්දුව ඇති වුනා. දරුවන් ඇත්තටම නිර්මානශීලියි. එකාකාර විදිහට අම්මා හදන ආහාර වෙනුවට දරුවාට අලුත් විදිහට යමක් උයන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක ඒ ගැන උනන්දුවෙන් අගයන්න. එවිට දරුවාට තමාට ලැබෙන ඇගයීම නිසා තවත් දුරට මේ කටයුතුවල නිරත වෙන ආසාව ඇති වෙනවා.

ඉස්සර අම්මලා පත්තරවල ආහාර වට්ටෝරු කපල පොත්වල අලවා ගත්තා. තමා නොදන්න ආහාර මේ වට්ටෝරුවලින් බලා ගෙන උයා පිහා ගත්තා. උයන පිහන කටයුතු විනෝදාංශයක් විදිහට සිදු වුනොත් එය අමිහිරි අත්දැකීමක් නොවෙයි.බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙසින් පත් තෙරේසා මේයර් සඳහන් කළේ ඇගේ විනෝදංශය ආහාර පිළියෙළ කිරීම බවයි. ඇය සතුව එකතු කරන ලද ආහාර වට්ටෝරු පොත් ගණනාවක් තිබෙන බවත් අගමැතිනිය විසින් පත් අවස්ථාවේ සඳහන් කළා.

පාසල් අධ්‍යාපනය ලබන දියණිවරුන්ට විවේකයක් ලැබෙන අවස්ථා නැතුවාම නොවෙයි.සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසානයේ දරුවන් ඊළඟ අධ්‍යාපන අවස්ථාව ලැබෙන තෙක් කෙටි විරාමයක් ලබා ගන්නවා. මේ කාලසීමාව ඔවුන් ගෙවන්නේ රුව ලස්සන කරගන්න, ඇඟපත මහත දෙහෙත අඩු කර ගන්න.කිසිම ව්‍යායාමයක් නොමැතිව කාලය ගෙවලා ලැබුන විවේකය තුළ එවැනි කටයුතු වෙනුවෙන් යොමු වීම තරුණ ගැහැණු දරුවන් විදිහට වරදක් නොවෙයි. ඒත් මේ කාලසීමාව තුළ මුළුතැන්ගෙයි සිද්ධ වෙන්නේ මොනවාදැයි බලන්න පුලුවන්. අම්මලාටත් තම දරුවන් හවුලට සම්බන්ධ කර ගෙන ලැබුන විවේකය අර්ථවත් කිරීමට හැකියාව තිබෙනවා.

ඉවුම් පිහුම් කටයුතුවලට දරුවන් සම්බන්ධ වුනාම ඔවුන් කිරුම් මිනුම් සංකල්ප ගැනත් අවබෝධයක් ලබනවා. අද වගේ ස්වයංක්‍රිය බත් පිසින උදුන් නොතිබුන යුගයක බතට වතුර තිබ්බේ ඇගිලි පුරුකේ තරමටයි. කාලය සමග ලබන අත්දැකීම් අනුව පරිමාව කොපමණ වුනත් බත බෙරි නොවන විදහට වතුර පදම තබා ගැනීමේ හැකියාව ලැබුනා.

ඉවුම් පිහුම් සමග දරුවන් සම්බන්ධ වුනාම පවුලේ කටයුතු වෙනුවෙන් හවුලේ වගකීම දරුවන්ටත් ඇති වෙනවා.ජීවන වියදමට අපි ගැලපෙන්නේ කොහොමද යන්න ඔවුන්ම තීරණය කරනවා. උත්සව අවස්ථාවක කැවිලි වෙළඳපොලෙන් ගන්නවාට වඩා නිවසේ සකසා ගැනීම වැනි අරපරෙස්සම, සකසුරුවම නොදැනම ඇති වෙනවා.

ඉවුම් පිහුම් දන්නා දියණියක් සිටින විට පවුල සුරක්ෂිතයි. ස්වයංරැකියාවක් විදිහට ආහාරපාන පිළියෙළ කරන්න වගේම බෝඩිමකින් හෝ පවුලේ ආර්ථිකයට දායක විය හැකියි. ඇත්තටම පිරිමි දරුවාටත් උයන්න පුලුවන්නම් එය ලැජ්ජාවට හේතුවක් නොවෙයි. අද ඉවුම් පිහුම් කලාවේ දැවැන්තයන් අතර පිරිමින් සිටිනවා.බිරිඳ රැකියාවක නිරත වෙන විට ඇති වෙන අවිවේකීබව , ඇයට අසනීපයක් වූ විට එසේම වෙනත් අනපේක්ෂිත අවස්තාවක බිරිදගෙන් ඉවුම් පිහුම් කටයුතු සිද්ධ නොවෙන විට ඒ හිස්තැන පුරවා ගැනීම සැමියාට එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. එතකොට ” බිරින්දෑ නෑගම් ගොහිං “කියමින් ලතැවෙනවාට වඩා විඩාපත් බිරිඳ නිවසට එන විට සැමියා අතින්ම පිළියෙළ කරන ලද ආහාරවේලකින් ඇගේ වෙහෙසකර බව නිවෙනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article