- Advertisement -

අත්තම්මාට සීයාට සලකන්න

-

වයස අවුරුදු හැට හැත්තෑව වෙන විට දෙමව්පියන් ශාරිරිකව වගේම මානසිකවත් විවිධාකාර රෝගාබාධයන්ට පත් වෙනු ඇත. වයස සමග එය සාමාන්‍ය සිද්ධියක්. ඒත් බොහෝ මනෝවිද්‍යාඥයන් සඳහන් කරනඅන්දමට වයසත් සමග මිනිසුන්ගේ හැසිරීම  නැවතත් බාල කාලයට සමානයි. මේ නිසා වියපත් මව්පියන්ට තම දරුවන්ගෙන් වගේම මුණුපුරන්ගෙන්ද ආදර කරුණාව ලැබිම අවශ්‍යයි.

එකම පවුල ජීවත්වෙන විට බොහෝ සෙයින් ගැටුම් ඇතිවෙන්නේ දරුවන් සහ අත්තම්මා සීයා අතරයි.

- Advertisement -

සමහර නිවෙස්වල අම්මා තාත්තා යල් පැනපු උදවිය විදිහට සිතනවා ඇත. පරම්පරා අතර තිබෙන වෙනස අනුව අදහස් හා ආකල්ප අතර වෙනස්කම් තිබෙන්න පුළුවන්. ඒ අතරම කාලය සමග වැඩිහිටියන් ලබන අත්දැකීම් අනුව ඔවුන් සමාජයෙන් ලබා තිබෙන දැනුම අවතක්සේරු කළ යුතු නැහැ.ඔබ නිතරම දරුවන්ට මෙම පරම්පරා පුරුක් යනු බොහෝ දැනඋගත්කම් ලද පිරිසක් බව ඒත්තු ගන්වන්න.

පවුලේ දරුවන්ට අම්මා තාත්තා ලෙසින් අද දක්වන සෙනෙහස ආදරය ඔබේ අම්මා තාත්තා වෙතින් එදා ඔබ නොඅඩුව ලබා ඇති. මේ නිසා අද ඔවුන් වෙනුවෙන්ද ඒ හා සමානව ආදරය කරුණාව දැක්වීම අවශ්‍යය. කාර්යබහුලත්වය කියමින් මේ යුතුකම් මග හැරීම අවශ්‍ය නැත. දුරබැහැර සිටින මව්පියන් සමග සන්නිවේදනයන් ගොඩ නගා යුතුය. නිවසේ සිටින අත්තම්මා සීයා සමග දරුවන් සමීප කිරීම ඉතාම වැදගත්.

අත්තම්මාගේ බේත් ටික දෙන්න….සීයාගේ රෙදි ටික හෝදලා දෙන්න..‍අත්තම්මාට බත් බෙදලා තියන්න. මේ විදිහට සුලු සුලු වැඩ කටයුතු දරුවා සමග සම්බන්ධව ඉටු කරන විට මෙම යුතුකම් දරුවාටද ඒත්තු ගැනෙනු ඇත.

පවුලේ තොරතුරු වැඩිහිටියන්ගෙන් වසං කිරීම වගේම ඒ සඳහා දරුවන්ද යොමු කිරීම ඉතාම අහිතකර කටයුත්තකි. අත්තම්මාට කියන්න එපා….යැයි දරුවාට සඳහන් කිරීම නිසා පවුලේ අත්තම්මා සීයා යනු තමාගේම පවුලේ සාමාජිකයන්ය යන පිලිගැනීම දරුවාගේ සිතෙන්ද ඉවත්ව වෙනු ඇත. කිසිම දිනක ඔබ මේ අන්දමින් දරුවාට යම් යම් ප්‍රකාශන නොකරන්න.

අපි සාප්පු ගියා කියල අත්තම්මාට කියන්න එපා… මේ අදහස දරුවාගේ හිතේ ගොඩ නැගුන විට ඔවුන්ද සිතන්නේ මෙම වැඩිහිටියන් ගෞරවාදරයට ලක් විය යුතු නොමැති පිරිසක් බවයි.

ඔබ අද ඔබේ මව්පියන්ට සලකන අන්දම දරුවාද ආදර්ශයට ගනු ඇත. ඉස්සර කාලයේ මේ පිලිබඳව අපූරු කතාවක් ඇත. එක් පියෙකුට බත් දුන් මැටි කෝප්පය දරුවා විසින් රඳවා ගත් විට මව්පියන් එම මැටිකෝප්පය සොයනු ලැබුවා. පුතේ සීයාට බත් දෙන මැටිකෝප්පය දැක්කාද….?

මම ඒක අරන් තිබ්බා….

ඇයි…පුතාට ඔච්චර ලස්සන පිඟානක් තියෙන්නේ….?

තාත්තා වයසට ගියාම බත් දෙන්න මං ඒක තියාගත්තා…

පුකාගේ සිතුවිලි දැනගත් විට මව්පියන්ට තමන් පිලිබඳව ලැජ්ජාවක් ඇති විය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට සිහියට නැගුනි. මේ නිසා අද දවසේ ඔබ‍ වියපත් මව්පියන්ට කරනු ලබන ගරු සැලකිලි අනාගතයේ දරුවාගේ යහගුණ පැවැතුම් සඳහා මනා ආයෝජනයක් වෙනු ඇත.කොහොම වුනත් අද දෙමව්පියන් ගැන හොයන බලන දරුවන් විරලය. මෑතකදී අසන්නට ලැබෙන බොහෝ සිද්ධීන් ඉතා සංවේදිය.

එක් දුවක් තම පියා බලු කූඩුවේ තබා බල්ලා සැප යහනක නිදි කරවමින් සියලු සැප සම්පත් ලබා ‍දුන්නාය. ඇයගේ දරුවන් ඉදිරියේ සීයා බලු කූඩුවේ තැබූ විට අනාගතයේදී ‍තමාගේ දරුවන්ගේ ප්‍රතිචාර වෙනුවෙන් ඇයට දොස් නැගීමට නොහැකිය.තවත් තැනක තම පුතු පියාට රුපියල් පන්සියයක් දී බස්නැවතුම් පොලේ අතරමා කර දමා ගොස් තිබියදී පොළිස් භාරයට ගෙන ඇත.රුපියල් පන්සියයකින් තමා හදා වඩා ගත් පියාගේ වටිනාකම , පිය ගුණය තක්සේරු කරන්නට තරම් අවාසනාවන්ත දරුවන් සිටින බවට මේ එක් නිදසුනකි. උඩදුම්බර ප්‍රදේශයේ දියණියක් දෙමහල් නිවස වාසය කරමින් තම මව ඒ අසල ඉටිරෙදි පැල්පතක තබා සිටි අයුරු පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් ඔබේ දරුවන්ටද නෙත ගැටෙන්නට ඇත. මෙවන් අවස්ථාවලදී  මව්පියන්ට නොසලකන දරුවන්ට ස්වභාවධර්මය පවා නපුරු වෙන බව දරුවන්ට පහදා දෙන්න. මව්පියන්ට සලකන දරුවන්ට කිසිම දිනක නොවරදින බවත් දරුවන්ට ඒත්තු ගන්වන්න.

බොහෝ දරුවන් කියන්නේ තම මව්පියන්ට කොතෙක් සැලකුවද ඔවුන් නිරන්තරව කියා සිටින්නේ දරුවන් තමාට නොසලකන බවයි. එමෙන්ම ඔවුන්ගේ ගති පැවැතුම් තුළ කිසිම නම්‍ය ශීලිත්වයක් නැති බවත් දරුවන්ගේ අදහසයි.පවුලේ වැරැදි පිටස්තරයන්ට බෙදා දෙන බවත් මේ සියල්ල තුළ විඳ දරා ගත යුතුය. ඊට හේතුව ඔබේ බාල කාලයේ මව්පියන් ඔබ වෙනුවෙන් බොහෝ දේ විඳ දරා ගන්නට ඇත. ඇතැම් අවස්ථාවලදී වියපත් වීමත් සමග ඇති වෙන මානසිකත්වය නිසා වියපත් දෙමව්පියන් මේ  අන්දමට පත් වුනත් දරුවන් ඉදිරියේ ඔබේ මව්පියන් ගෞරණීය වටිනා චරිත ලෙසින් ඉස්මතු කිරීම ඉතා වැදගත්ය. වියපත් මව්පියන්ගේ බොහෝ වැරැදි තිබෙන්නට පුලුවන.ඒවා නිවරැදි කිරීමට දැන් කාලයක් නැත. මෙම වැරැදි නිවරැදි කිරීම යනු ඔබ සමග වියපත් දෙමව්පියන්ගේ ගැටීමක ආරම්භය පමණි.නිරන්තරව මෙම ගැටීම් දකින ඔබේ දරුවන් අතරද අත්තම්මා සීයා යනු කරදරකාර චරිතයක්ය යන සංකල්පයන් ගොඩ නැගෙනු ඇත.

ද්වේශසහගතව දරුවන් සලකන නිසා අද වැඩිහිටියන් ලක්ෂ පහක් අතරින් 10,000 ක් පමණ ජීවත් වෙන්නේ වැඩිහිටි නිවාසයන්හිය. මෙම සංඛ්‍යාත්මක අගයෙන් පෙනෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන් පවුල තුළ තවමත් ඉඩක් ඇති බවයි. ඒත් සමහර වැඩිහිටියන් දරුවන්ගේ ගරුත්වය නිසා නිවාසයන් වෙත නොගොස් සියළු දුක් ගිනි හිතේ දරාගෙන සිටිති.එවන් වූ අම්මාවරුන් හා පියවරුන් නැතුවාම නොවේ.කොහොම වුනත් ඔබේ දරුවන්ගෙන් වියපත් ඔබේ දෙමව්පියන් නොරිදවන සේ කටයුතු කිරීමට උපදෙස් හා අවවාද ලබා දෙන්න.

හැන්දෑවට නිවසට පැමිණෙන ඔබ දුව පුතා බත්කලට වේලාවට  බේත් ටික බිව්ව‍ාද අසන්නේ නම්….එයින් මේ මව්පියන් මහත් අස්වැසිල්ලක් ලබන්නේ තවමත් දරුවන්ගේ ලෝකය තුළ ඔවුන් ජීවත් වෙනවා නේද…? යන සතුට නිසාය.

අම්මට…. තාත්තට සලකන දරුවට – කිසි දවසක නෑ වරදින්නේ…..යන තේමා පාඨයෙන් දරුවන් හික්මවන ලද්දේ නම් වියපත් මව්පියන්ටත් එබේ නිවස සිත නිවන ප්‍රසන්න පරිසරයක් ගොඩ නගනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article