ස්වයං විනයක් තිබුනොත් ආහාර නාස්ති කරන්නේ නැහැ

ආහාර නාස්තිය වෙනුවෙන් ප්‍රංශය දඩ නියම කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැන් සූදානම්ව සිටින බව පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුනා. අනවශ්‍ය විදිහට ආහාර නාස්ති කිරීම වෙනුවට ඒවාට විකල්ප යෙදීම ගැන මේ අතර අවධානය යොමු වුනා. අද උත්සව අවස්ථාවන්හිදී සිදු වෙන ආහාර නාස්තිය ගැන අපිටත් බොහෝ අත්දැකීම් එම අවස්ථාවන්ට සම්බන්ධ වෙන විට දකින සිදුවීම් වලින්ම පෙනෙනවා.

උත්සවයන්ට සහභාගී වෙන විට ආරාධනා පත්‍රයේ දරුවන් වෙනුවෙන් ඇරයුමක් නොමැති වුනත් නිවසේ දරුවා රඳවා තබන්නට අවස්ථාවක් නොමැති විට ඔබ ඔහු කැටුව යන බව ඇත්ත. එහෙත් නිරන්තරව හිත තබා ගත යුතු කරුණක් ඇත. මෙම උත්සවයේ සංඛ්‍යාව ගණනය කරන්නේ ඔලුගෙඩි වලින් නොව පිඟන් ගණනට බවයි.

එහෙත් ඔබ කරන්නේ කුඩා දරුවාටත් මුහුණේ අනිත් පස නොපෙනෙන ලෙසින් පිඟානක්ම බෙදා දී ඔබත් ඒ හා සමානව ආහාර පිඟානක් බෙදා ගැනීමයි. ඇතැම් අවස්ථාවලදී දරුවා තමාටම කියා පිඟානක් අවශ්‍ය යැයි හඬ නගනු ඇත. එම අවස්ථාවට ඉඩ නොදී දරුවා ආහාර ගැනීමෙන් පසුව එහි ඉතුරු කොටස ඔබ වෙනුවෙන් තවත් අවශ්‍ය දෙයක් ඇත්තේ නම් එයද බෙදා ගෙන බුත්ති විඳින්නට කිසිදු තහනමක් නැත.

නිවසේදී වුනත් මෙම පිළිවෙත අනුගමනය කිරීම අපහසු නැත. බොහෝ දරුවන්ගේ ආහාර පුරුදු ඉතාම අශෝභනය. ඔවුන්ට ආහාරයට ගන්නට බැරි වුනත් ඒවා පිඟානට අවශ්‍යය. එක් අතකට දරුවා යනු වැඩිහිටියෙකුගේ මට්ටමින් සිතන්නට පුලුවන් චරිතයක් නොවේ. අපි ඒ ගැන ඔවුන්ට අනුකම්පා කළ යුතුය. ඒ වුනත් දිගින් දිගටම මෙම පුරුදු ඔවුන් සමග ඉදිරියට යා යුතු නැත.

දරුවන් සමග අවන්හලකට ගිය විට ඔබ මදක් අවට බලන්න. මට අරකත් ඕන….මේකත් ඕන යැයි කෑ මොර දෙන දරුවන්ගේ සිද්ධීන් ඔබටත් ආගන්තුක නොවනු ඇත. අද  බොහෝ මව්පියන් දරුවන් වෙනුවෙන් ඉතා සංවේදීය. වරදින්නේ නැත මට හිමි බත්පත…ඔබගේ මුලුතැන් ගෙයි අම්මේ…කියන්නා සේ බොහෝ මව්පියන් තමන්ගේ කුසගින්න ඉවසා ගෙන හෝ දරුවන් පිනවීමට තරම් සූදානමින් සිටී. ඒත්….අරකත් මේකත් යැයි සියල්ල ඉල්ලා සිටින දරුවන් අවසානයේදී කන දෙයක් හෝ බොන දෙයක් නැත. මේ වෙන විට මව්පියන්ද තමන්ට අවශ්‍ය දේ කා බී හමාරය. බිල්පත ගෙවන්නට වන්නේ  දරුවා කුඩු පට්ටම් කරන ආහාර වලටත් සමගය. අම්මා තාත්තාගේ මුදල් අනවශ්‍ය විදිහට වැය වෙන බව දරුවාගේ හිතට ඒත්තු යන විදිහට කියා දීම දඬුවමට වඩා වටිනේය.

අතීතයේදී අම්මා , අත්තම්මා දරුවන්ට බත් කැව්වේ බත් බිම වැටුනොත්, පෑගුනොත් පව් සිද්ධ වෙනවාය යන සංකල්පය දරුවන්ට ඒත්තු යන අන්දමින්ය. මේ නිසා දරුවන් බත් බිම හැලුවේද නැත. එදා ඔවුන් දරුවන්ට බත් දුන්නේ බිම එලන ලද පැදුරකය. ඒ නිසා බිම හැලෙන බත් ඇට පවා සතෙකුගේ හෝ ආහාරය වෙනුවෙන් ලබා දෙන ලදී.එදා මව්පියන් දරුවන්ට ආහාර යනු ඉතා ගරුත්වයෙන්  අනුභව කළ යුතු දෙයක් බව ඔවුන් හදවතට දැනෙන සේ ඒත්තු ගන්වන ලදී. අද යුගයේ දරුවන් මේවා යල් පැන ගිය අදහස් ලෙස බැහැර කරනු ඇත. ඊට හේතුව ඔවුන්ට මෙම සංකල්ප ආගන්තුක වීමයි.

ආහාර නාස්තිය වෙනුවෙන් එදා අම්මා, අත්තම්මා දරුවන්ට කියා දුන් රසවත් උපදේශ කථන්දරයක්  ඇත.

එක් ගොවි බිරින්දෑවක් ආහාර ගැන මහත් පරිස්සමෙන් කටයුතු කළාය. දිනක් ඇය බත් බෙදන විට බත් මිටක් ලිප්ගල මතට වැටුනි. ඇය එම බත් මිට හැලියට දමන විට එයින් බාගයක් ලිපට වැටී පිලිස්සී ගොස් ඇත. මෙම පාපය නිසා එම බිරිඳ මියගොස් එම නිවසේම එළදෙනක්ව ඉපිද ඇත.

කාලයක් යන විට ගොවි මහතා නැවත කසාද බැඳ බිරිඳක් නිවසට ගෙනෙන ලදී. එළදෙනගේද ආයුෂ ගෙවී මරණයට පත් අතර එළදෙනගේ අං තට්ටුව බුලත් කොටුවේ කණුවක ගසන ලදී. අලුත් බිරිද එතරම් සකසුරුවම් නැත. ඇය දිනක් බත් පෝරු පිට ඉවත දමනු දැක එලදෙන මෙසේ සිනා පහළ කරන ලදී.බත් මිටට මෙච්චර නම් අච්චරට කොච්චරක් වෙයිද…? එළදෙන සිනා පහළ කළේ ඒ සිතුවිල්ලටයි.

කුඩා කාලයේදී කියා දෙන මෙම කථන්දර මගින් දරුවන්ගේ හිතට ආහාර පරෙස්සම ගැන සංකල්පයන් නොදැනම ගොඩ නැගෙනු ඇත. අම්මා වුනත් අනවශ්‍ය විදිහට ආහාර ඉවත දමන අන්දම දරුවන්ගේ පුරුදු වෙනුවෙන් බලපානු ඇත. ප්‍රංශය මේ වෙනුවෙන් උපදෙස් දී ඇත්තේ ඉවතලන ආහාර පුණ්‍යායතන වෙත හෝ ආහාර බැංකු සඳහා යොමු කරන ලෙසයි. නිවසේදී ඔබ කළ යුත්තේ පිසින ලද ආහාර ඉවත නොදමා බුත්ති විඳීමයි.

දරුවන්ගේ ආහාර නාස්තිය ගැන නිරන්තරව මැසිවිලි නගනු වෙනුවට අනවශ්‍ය පරිදි ආහාර බෙදා ගැනීමෙන් වලකින ලෙසට අවවාද සහ ආදර්ශයෙන් ඒ බව පෙන්වා සිටීම ඉතා වැදගත්ය. ආගන්තුක හෝ නැදෑ නිවසකට ගිය විටත් සංග්‍රහයේදී දකින දකින දේය සහ අල්ලන අල්ලන දෙය නොගන්නා ලෙසත් තමන්ට අවශ්‍යම දෙයින් පමණක් සෑහීමට පත් වෙන බවත’ පොරොන්දු කර ගෙන බාහිර තැනකට කැඳවා ගෙන යන්න. ඇතැම් මව්පියන් කියන්නේ අනේ ගෙදරදී ඔහොම කන්නේ නැහැ..පිටට ආවාම තමා…යන සම්මත වගන්තියයි.

ඇත්තටම නිවසේදී කොපමණ කෑවත් එහි වරදක් නැත. ඇතැම් ස්ථානවලදී සංග්‍රහය වෙනුවෙන් පිලියෙළ කරන ලද දේ සීමාවන් ඇත. තවත් අය ආහාර ගැනීමට ඉතිරිව සිටිති. අනපේක්ෂිත ලෙසින් ඔබේ දරුවන් සීමාවක් නැතුව කන බොන විට එය නිවැසියන්ට අනපේක්ෂිත ගැටලුවක් ඉතිරි කරනු ඇත. දරුවෙක් කෑවාට බීවාට කිසිම කෙනෙක් කිසිම දෙයක් කියන්නේ හෝ සිතන්නේද නැත. දරුවන්ට ලෝකයම ආදරේය. එහෙත් ආහාර ඉදිරියේ දරුවන්ගේ ආහාර රටාවන් තව කෙනෙකුට හිරිහැරයක් නොවිය යුතුය.

තවත් අවස්ථාවන්හිදී කේක්, බිස්කට් වැනි දෙයක අයිසිං ආහාරයට ගෙන බිස්කට් ඉවත දමනු ඇත. තවත් විටෙක බිස්කට් ආහාරයට ගෙන අයිසිංඉවත දමනු ඇත. ගෙදරදී මෙය එතරම් ගැටළුවක් නොවේ. ඇතැම් දරුවන් ආහාර වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන නිසා එහි වරදක් නැත එහෙත් පිටස්තර ස්ථානයන්හිදී එවන් ගති පුරුදු වලින් දරුවා වලක්වා ගත යුතුය. ඔහුගේ ඉතිරි බිස්කට් එක ඔබට ආහාරයට ගත හැක. එසේ නොමැතිව තැන තැන මේවා ඉවත දමන අන්දමින් අශෝභන සේ හැසිරීම දරුවන් ගැන ලෝකයාගේ තිබෙන සුන්දර සංකල්පයට එතරම් ගැලපෙන්නේ නැත. ආහාර අපතේ යෑම වෙනුවෙන් එවිට දඩ මුදල් අවශ්‍ය නැත. ඔබේ දරුවා ඒ වෙනුවෙන් ස්වයං විනයක් පනවා ගෙන ඇත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here