ඇඟිලි ගැනලා ගනන් හදන අනාගත ගණන්කාරයෝ

ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් දැක්කාම අම්මලා ආවේශ වෙන්නේ බොහොම ලොකු වැරැද්දක් කරනවා වගේ.

හැමදාම මං කියනවා නේද ඔය ඇඟිලි වලින් එකතු කරන්න ….අඩු කරන්න පුරුදු වෙන්න එපා කියලා…අතේ ඇඟිලි මදි වුනාම….අම්මා ඇහුවා.

ඇයි කකුලේ….

පුතාටත් උත්තර තියෙනවා.

එකක් කිව්වාම දහයක් කියන්න නම් දන්නවා…ළමයි වුනාම කියන දේ අහන්න.ඔය ඇට ජාති ළගින් තියෙන්නේ ඒවාට තමයි…අම්මා කිව්වා.

මට පුරුදු ඇගිලි වලින් විතරයි.

පුතා පුරුද්ද අත්අරින නැති හැඩයි.

හිතුවක්කාරකම බලමු ආයෙ හෙම ඇඟිලි ගැන්නොත් ….ගහනවා මතක හිටින්න.අපි ඉස්කෝලෙ යද්දි ඇඟිලිවලින් ගණන් කරන්න දුන්නෙම නැහැ. කෙලින්ම වේවැල තමා..

ඒත් මේ සංකල්පයෙන් අම්මලා තාත්තලා දැන් මිදෙන්න කාලය ඇවිත්. ඉස්සර කාලයේ බොහොම දෙනාගේ අදහස වුනේ ගණිතය වැනි විෂයන්හිදී එකතු කිරීම සහ අඩු කිරීමට ඇගිලි යොදා ගත්තොත් අනාගතයේදී ගණිතය වෙනුවෙන් මනෝමය හැකියාව නැති වෙන බවයි.

ඒත් මේ වෙනුවෙන් අධ්‍යනයක යෙදුන ඇමරිතා එත්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියන්නේ ගණිත සංකල්ප වෙනුවෙන් ඇඟිලි භාවිතයේ යෙදෙන දරුවන්ගේ සංජානන හෙවත් මෙම සංකල්ප හඳුනා ගැනීමේ හැකියාව ඉතා විශිෂ්ට බවයි. ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 8 සිට 13 අතර දරුවන් 39 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. මේ දරුවන්ට අඩුකිරීම සහ ගුණ කිරීම වැනි ගණිත ක්‍රම ලබා දුන් අතර ඒ වෙනුවෙන් දරුවන් යොදා ගන්නා ආධාර පිලිබඳව නිරීක්ෂනය කරනු ලැබුවා. සමහර දරුවන් ඇට වර්ගත් තවත් පිරිසක් අතේ ඇගිලිත් යොදා ගත්තා.

මෙම කටයුතු අතරවාරයේ දරුවන්ගේ මොළයේ ස්කෑන් ඡායාරූප ලබා ගත්තා. එම ඡායාරූප අධ්‍යනයේදී පෙනී ගියේ ඇඟිලි ආධාරයෙන් අඩු කිරීමේ කටයුතුවල නිරත වෙන විට මොළයේ somatosensory  කලාපය බෙහෙවින් ක්‍රියාත්මක තත්වයේ පැවැති බවයි. මොලයේ මෙම somatosensory  කලාපය පීඩනය, වේදනාව,උණුහුම වැනි සංවේදන පාලනය කිරීමේදී ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබනවා. දරුවන් ඇඟිලි ගැනීම නවතා පිලිතුර බලාපොරොත්තුව සිටින තෙක්ම මෙම කලාපයේ ක්‍රියාකාරිත්වය පර්යේෂකයන්ට දැනගත හැකි වුනා.

එයින් අනතුරුව ඇඟිලි ආධාරයන් සිදු නොවුන ගුණ කිරීමේ ගණිතක්‍රම වෙත දරුවන් යොමු වුන පසුව නැවත ස්කෑන් ඡායාරූප ලබා ගත්තා. එහෙත් ඇඟිලි යොදා ගෙන ගණිත කර්ම සිදු වෙන විට දරුවන්ගේ මොළයේ somatosensory  කලාපයේ ක්‍රියාකාරිත්වය පෙර පරිදි දැක ගන්න ලැබුනේ නැහැ. දරුවන්ට ඇති වෙන පීඩනය වැනි සංවේදන මෙම කලාපයෙන් පාලනය වෙන නිසා එහි ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්.

මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඉලරියා බර්ටෙල්ටි උපකල්පනය කරන්නේ ඇගිලි භාවිතයෙන් ගනිත කර්ම සිදු කරන දරුවන්ගේ ගණිතමය හැකියාව ඒ වයසේ පසු වෙන සෙසු කණ්ඩායමට වඩා සංවර්ධනය වුන මට්ටමක පැවැතුන බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයන්ගේ මෙම වාර්තාව ” The wall street “සඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කාලය සමග අධ්‍යාපනයේ නව සංකල්ප සහ ක්‍රමවේදයන් ලෝකයට එක් වෙනවා. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට පීඩනයක් නැති විදිහට අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යෑමයි. ඉගෙණුම දරුවාට අමිහිරි අත්දැකීමක් වුන තැනදී එය නැවත ඇති කිරීම එතරම් පහසු නැහැ.

ගණිතය පිලිබඳවත් දරුවන් අතර තිබෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. සමහර දරුවන්ට නම් ගණිතය කිරි කජු වුනත්, තවත් පිරිසකට එය වහකදුරු වගෙයි. මේ දෙපැත්තටම බොහෝ විට ඔවුන් බාලකාලයේ ලබන අත්දැකීම් බලපානවා.

යාන්තම් හය හතර තේරෙන විට ගණිත කර්ම කරන්න ගියාම ඇගිලි යොදා ගැනීමෙන් පටන් ගන්නා හබය නිසාම දරුවන්ගේ පසුගාමිත්වය ඉතා බරපතල විදිහට බලපානවා. අද නම් දරුවන් වෙනුවෙන් දඬුවම් බොහෝ දුරට පාසලෙන් ඉවත්ව ඇති නිසා මේ තත්වය ඇති නොවුනත් අතීතයේදී ඇගිලි යොදා ගැනීම දැක්කේ බරපතල වරදක් විදිහටයි.

මේ නිසා එදා බොහෝ දරුවන් ගණිතයේදී මහත් අසහනයට වගේම පසුගාමිත්වයට පත් වුනා.අදටත් සමහර දරුවන් ඇගිලි යොදා ගෙන ගණිත කර්ම කරද්දී අම්මා තාත්තා විදිහට ඔබ ඒ වෙනුවෙන් උරන හිත් හදා ගන්න එපා….බළළා මැටියෙන් වුනත් මීයන් අල්ලනවා වගේ මේ ගණිත විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇති තාර්තික ක්‍රමයකින් නිවරැදි පිළිතුර ලබා ගන්නවා නම්,  ඒ වෙනුවෙන් ඔහු භාවිතා කරන්නේ ඇගිලි වුනත් ඔබ වෙහෙසට පත් විය යුතු නැහැ. ඒ ඇයි කිව්වොත් ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් බොහොම දක්ෂයන් විය හැකි බවට දැන් පිලිගෙන තිබෙන නිසා ඔබටත් හිත නිදහස් කර ගැනීම අපහසුවක් නැහැ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here