- Advertisement -

අලුත් අවුරුද්ද දරුවන්ටත් අලුත් විය යුතුයි

-

අලුත් අවුරුද්දක් ලබන විට දරුවන් සතුටු කළ යුත්තේ තෑගි බෝග සහ ඇදුම් පැළඳුම් ලබා දීමෙන් පමණක්ම නොවෙයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හැඩ වැඩ ගැනෙන විට ඇති වෙන ප්‍රබෝධය සමග දරුවන්ගේ ජීවිතයේ සැබෑම වෙනසක් කිරීමට ඇවැසි පරිසරය නොදැනම නිර්මානය වෙනවා.කාලය මනින ඒකකයක් විදිහට අවුරුදු ගෙවුනත් පවුලක් සහ දරුවන් මුල් කර ගෙන අලුත් විදිහට හිතන්න වගේම ජීවිතයේ හැරවුම් ලක්ෂ ගොඩ නගා ගැනීමට අලුත් අවුරුද්දක ආරම්භය ඉතාම වැදගත්.

දරුවන් වෙනුවෙන් මොන අලුත් අරමුණුද….? පුංචි අය ළග ලොකු අරමුණු නැතැයි විටෙක ඔබ තීරණය කරනු ඇති. එහෙත් පුංචි හිත්වලත් පුංචිවට හෝ අරමුණු ගොඩ නැගීම ඉතා වැදගත්. හැම දෙනෙකුටම ජීවිතයේ කිසියම් හීනයක් අවශ්‍යයි. මේ හීන මුල් කර ගෙන තමන්ගේ ජීවිතය හැසිරවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ සාමාන්‍ය කටයුත්ත ඉතාම ඵලදායක විදිහට ඉදිරියට ගෙන යෑමට අලුත් අවුරුද්ද ඉතාම හොඳ කඩඉමක් බව අමතක කළ යුතු නැහැ.

- Advertisement -

අවුරුද්දක් එලැ‍ඹෙන විට දරුවන්ගේ අලුත් අරමුණු ගැන විමසා සිටින්න ඔබට අයිතියක් තිබෙනවා. ඒ විදිහට ඔබ දරුවන් සමග සාකච්ඡා කරන විට ජීවිතය කියන්නේ හුස්ම ගන්නවා විතරක් නොවන බව ඔවුන්ටත් තේරුම් යනවා. ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන්ට ඔබ අලුත් ඉලක්ක ගැන අදහස් ලබා දිය හැකියි.මේ අවුරුද්දේ පංතියේ හෝ විභාගවලින් ජයග්‍රහනය කළ යුතු බව ඔවුන්ට පෙන්වා දෙන්න. එහිදී තමා තුළ තිබෙන වගකීම දරුවාගේ හිතට ඉතා තදින්ම ඒත්තු ගැනෙනු ඇත.

බලාපොරොත්තු ගොඩ නගා ගත් පමණටම ඒවායේ සාර්ථකත්වය නොලැබෙන බවත් දරුවාට වටහා දෙන්න. මෙම බලාපොරොත්තු වෙනුවෙන් යොමු විය යුත්තේ කෙසේද ගැනත් දරුවන්ට මග පෙන්වා දෙන්න. ඒ වෙනුවෙන් කාලය බෙදා ගෙන මනසට හා ජීවිතයට වෙහෙසක් නොදැනෙන ලෙසින් කටයුතු කරන අන්දමත් ඉතා සැහැල්ලුවෙන් සිටින මගත් පෙන්වා දෙන්න.කාලය ඉතා වැදගත් බව දරුවන්ට කාරුණිකව පෙන්වා දෙන්න. කාලය කා දමන්නා කාළකන්නියා වුනත් එම වචනයෙන් දරුවන්ට ආමන්ත්‍රනය නොකොට කාලය නැවත ලබා ගැනීමට අපහසු බැව් හදවතට දැනෙන සේ පෙන්වා දෙන්න.

විටෙක ඔබ ගිය වසරේ දරුවන් වෙනුවෙන් ලබා දුන් ඉලක්ක තිබෙන්නට පුලුවනි. එම ඉලක්ක මොන තරම් දුරට සාර්ථක වුයේද බව ඔවුන් සමග සාකච්ඡා කරන්න. යම් තැනකදී ඒවායේ අසාර්ථක වීම්, අතපසුවීම් තිබිය හැක. එවිට එම පසුබෑම් වෙනුවෙන් බලපාන ලද හේතු සාධක බොහෝ තිබෙන්නට හැක. එම හේතු සාධක දරුවාට පෙන්වා දී ඒ වෙනුවෙන් එලැඹුන වසරේ කටයුතු ගලපා ගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන්ම විමසා දැන ගත හැකියි. උදාහරනයක් ලෙස පසුගිය වසරේ ඇතැම් විෂයන්ට ඉලක්ක කළ සාධන මට්ටම නොලැබෙන්නට පුළුවන. ඊට හේතු ලෙසින් පාසලේ යම් යම් විෂය කාලච්ඡේද වෙනුවෙන් දරුවාට සහභාගී වීමට අපොහොසත්කම් තිබෙන්නට ඇත. පාසල් නොයෑම, වෙනත් පුද්ගලික හේතු වැනි විවිධ කරුණු තුළ මෙම පසුබෑම ඇති වූයේ නම් මේ වසරේදී එම අතපසුවීම් මග හැරෙන ලෙසින් කටයුතු කළ බව දරුවා සමග වූ සාකච්ඡාවන් මගින්ම පෙන්වා දිය හැකියි.

ජීවත්වෙන විට අපි අතින් දැන මෙන්ම නොදැන සිදු වෙන වැරැදි බොහෝ ඇත. එහෙත් එකම වැරැද්ද නැවත නැවත කළ යුතු නැත. වැරැදි අවම වන සේ අධිෂ්ඨන ගොඩ නගා ගත හැකි හොද අවස්ථාව අලුත් අවුරුද්දක එළැඹුමයි. එතැනින් ලබන ආරම්භයේ පටන් ලබන නව වසරේදී දරුවා කොතෙක් දුරට නිවරැදි වූයේද යන්න පිළිබඳව තක්සේරුව ලබා දමට හොදම කඩඉම ලෙසින් අලුත් වසරක ආරම්භය සැලකිය හැක.

ගෙවුන වසරේ ඔබේ දරුවන්ගෙන් බොහෝ වැරැදි සිදුව තිබෙන්නට පුළුවන. මෙම වැරැදි වෙනුවෙන් ඔබ දඬුවම් පවා ලබා දෙන්නට ඇත. ඔවුන්ට නැවතත් මෙම වැරැදි නොවන්නට හැසිරෙන අන්දම පෙන්වා දෙන්න.වැරැද්දට ලැබෙන සමාව සමග ජිවිතය අලුතින් ගොඩ නගා ගැනීමට අවශ්‍ය ධෛර්ය සහ සහයෝගයන් දරුවා ශක්තිමත් කරන්න. හෝද හෝද මඩේ දමන්නා සේ නිරන්තරව දරුවාට චෝදනා කිරීමට වඩා ඔහු යහමගට ගැනීමේ තිරනාත්මක අවස්ථාවක් අලුත් අවුරුද්ද සමග එළැඹුන බව පෙන්වා දෙන්න.

අලුත් අවුරුද්දේ අලුත් දවස අලුත් විදිහට ආරම්භ කිරීමට අවශ්‍ය පරසරය දරුවාට සලසා දෙන්න. නිවස පිරිසිදු කිරීම් , අලුත් ඇ දුම් සමගම මානසිකවත් නැවුම් බවක් ගොඩනගන්න. මේ වෙනුවෙන් අ‍ාගමික පරිසරය ඉතා වැදගත් වේ. ඔබේ ආගම කුමක් වුනත් අදාල ආගමික සිද්ධස්ථානයක් වෙත දරුවන් සමග යන්න. ඔවුන්ගේ මනසට යහපත් සිතුවිලි ඇතුලත් කරන්න. හැකි තරම් ආශිර්වාද එක් කරන්න. අද වැඩිහිටියන්ට අලුත් වසරක ආරම්භයේදී පන්සල, පල්ලිය කෝවිල අමතක වෙනු ඇත. අම්මා මෙම ආගමික ස්ථාන වෙත දරුවන් සමග ගියත් පියපාර්ශවයන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතී. ඔවුන් අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ අල්ලන්නේ වෙනත් ක්‍රමයකටය. එම හැසිරීම දරුවන් වෙනුවෙන් හොද ආදර්ශයක් නොවන බවත් අපි අමතක කළ යුතු නැත.මේ නිසා දරුවන්ගේ හිතට නැගෙන්නේද අලුත් අවුරුද්ද යනුවෙනදාට වඩා හොදින් කන බොන දිනයක් මිස එයින් ඔබ්බට වෙනත් කිසිදු විශේෂත්වයක් නොමැති බවයි.

ආශිර්වාද යනු වචන කිහිපයක් ඇතුලත් වගන්තියක් පමණක් යැයි නොසිතන්න. ඔබ යමෙකුට සුබ පතන විට මෙන්ම ඔබට කෙනෙු සුබ පතන විට සිතට ඇති වෙන හෘදයංගම බව නිසා මනස පිරිසිදු වෙනවා පමණක් නොව අලුත් වසර වෙනුවෙන් සුබවාදී සිතුවිලි ඔබේ දරුවාගේ හිතට ඇතුලු වේ. වචන වලද අපි නොදකින බලයක් ඇත. ඒ නිසා ආශිර්වාද වෙනුවෙන් දරුවා වඩාත් සම්බන්ධ කරන්න. මව්පියන් පමණක් නොව පවුලේ සමීප වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලබා දෙන්න. අද මේ තත්වය ඉතාම දුරස් වන රටාවක් ගොඩ නැගෙමින් පවතී. ජංගම දුරකථනයෙන් ලැබෙන කෙටි පණිවඩය මිස මව්පියන්ගේ ‍හා වැඩිහිටියන්ගේ පා නැමැද ලබන ආහිර්වාදයන් නොමැති තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහෙමින් පවතී. මේ නිසා පවුලේ වැඩිහිටියන්ද දරුවන් සහ දරුවන්ගේ දරුවන් ඔවුන්වෙත ආශිර්වාද ලබා ගනු රිසිව පැමැනීම ඉතා ආශාවෙන් අපේක්ෂා කරති. එයින් ඔවුන්ගේ හිත්වලටද මහත් ආහ්වාදයක් ඇති වේ. මෙම ආශ්වාදය පෙරලා ආශිර්වාදයක් බවට පත්ව ඔබේ  දරුවන්ගේ ජීවිතයට වාසනාව උදා කරනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article