- Advertisement -

දරුවන් ඉදිරියේ නොකළ යුතු කථා

-

අපි හිතනවාට වඩා දරුවන් අපේ කථා බහෙන් ඩැහැ ගන්නා බොහෝ දේ ඇත. කෝටුවකින් සිරුරට වැදෙන පහර ටික වේලාවකින් නොදැනී ගියත් වැඩිහිටියන්ගේ වචන වලින්නික්මෙන අදහස් දරුවන් ඉතාම ඉක්මනින් අවශෝෂනය කර ගනන්වා. මේ නිසා ළමා මනෝවිද්‍යාව පිලිබඳ විශේෂඥයන් විසින් දරුවන් ඉදිරියේ නොකළ යුතු කතාවන් පිලිබඳව දක්වා ඇති අදහස් කීපයක් මෙසේ සඳහන් වේ. මේ අතරින් දැන හෝ නොදැන ඔබ දරුවා  ඉදිරියේ මේ අන්දමේ වචන පරිහරනය කරනවාදැයි ඔබටම සිතා ගැනීම අපහසු නැත.එසේ කියනවා නම් අදින් පසුව හෝ එම වචන ඔබේ වාග්කෝෂයෙන් ඉවතට ගත යුත්තේ ඇයිදැයි ඔබටම තීරණය කළ හැකියි.

දරුවා ඉදිරියේ ඔවුන්ගේ ගුරුවරු විවේචනය නොකරන්න

බොහෝ දෙමව්පියන්ට කතා බහට ගිය විට පිටකරන වචන පිලිබඳ ව සීමාවන් ඔවුන්වත් දන්නේ නැත. දරුවා ඉදිරියේ කිව යුතු මෙන්ම නොකිව යුතු බොහෝ දේ ඇත. කිසිම දිනක ඔබ දරුවා ඉදිරියේ දරුවාගේ ගුරුවරුන් විවේචනය නොකරන්න. එයින් සිදු වන්නේ එක් අතකින් දරුවා තුළ ගුරුවරයා මුල් කර ගත් ගරුත්වය බිඳ වැටීමයි. මේ නිසාම ඔහුට ඉගෙනුම වෙනුවෙන් ගුරුවරයා සමග තිබෙන සම්බන්ධතාවය බිඳ වැටෙනු ඇත.  ඔහුගේ විෂය වෙනුවෙන් අකමැත්තක් නොදැනම ගොඩ නැගෙනු ඇත. එපමණක් නොව ගුරුවරයා මුල් කර ගෙන දරුවන්ද තමාගේ ගැලවුම වෙනුවෙන් බොහෝ නිදහසට කරුණු කියනු ඇත. පංතියේ ගුරුවරයාගේ ඉගෙණුම් ක්‍රමවේදය මුල් කර ගෙන ඔබ දරුවා ඉදිරියේ ගුරුවරයා අවතක්සේරුවෙන් කථා බහ කළේ නම් දරුවාද එයින් අනතුරුව නිරන්තරව කියන්නේ ” අපේ පංතියේ මේවා උගන්වලා නැහැ. මට ලකුණු අඩු වුනේ ඒ නිසා යන්නයි…එහෙත් ගුරුවරයා මුල් කර ගෙන ඔබ දරුවාගේ හිතටද යම් වටිනාකම් ලබා දී තිබුනේ නම් දරුවාට මේ අන්දමින් ඉගෙනුම් කටයුතු ඉදිරියේදී ගැලවී යෑම පහසුවක් නොවනු ඇත.

- Advertisement -
මිතුරන් ඉදිරියේ දරුවා විවේනය නොකරන්න

බොහෝ මව්පියන් හිතන්නේ දරුවන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කළ විට ඔවුන් එම වැරැද්දෙන් මිදෙන බවයි. මේ නිසා දෙමව්පියන් නිතරම කියන්නේත්….ඉන්න මං ඔයාගේ යාලුවන්ටත් කියනවා. ඇත්තටම දරුවාගේ මිතුරන් යනුද ඔවුන්ගේම සම වයස් දරුවන් මිසක , දරුවාගේ වැරැදි නිවරැදි කළ හැකි පරිණත අයනොවේ..ඇතැම් අවස්ථාවලදී එතැන් පටන් මෙම මිතුරන් ඔබේ දරුවා විහිළුවට ලක් කරනු පමණක් නොව උපහාසාත්මකව බලන බැවින් එයින් ඔබේම දරුවා මහත් අපහසුතාවයට පත් වෙනු ඇත. වැරැද්දක් ඇත්තේ නම් මව්පියන් වන ඔබ විසින් එය නිවරැදි කළ යුතුය. එසේ නොමැතිව සමාජය ඉදිරියේ දරුවාගේ ආත්මාභිමානය නැසෙන සේ කටයුතු නොකළ යුතුය.

සමවයස් අය සමග දරුවා සංසන්දනය නොකරන්න

බොහෝ මව්පියන්ගේ වරදක් වන්නේ ඔබේම දරුවා වෙනත් අය සමග සංසන්දනය කරමින් කථාබහ ගොඩ නැගීමයි. එහෙත් එය නොකළ යුත්තකි. සෑම පුද්ගලයෙකුටම තමන්ගේම වූ අනන්‍යතාවයක් ඇත. එයින් ඔබ්බට යෑම එතරම් පහසු නැත. ඇතැම් ගති පුරුදු සහ හැකියාවන් පුරුදු පුහුණුවෙන් සංවර්ධනය කළ හැකි වුනත් ඇතැම් හැකියාවන් ඔවුන්ගේ සහජයෙන්ම ලබා ගන්නා හැකියාවන්ය.  ඔබේ දරුවා වෙනුවෙන් සංගීතයට ලබා දෙන උපකාරකය කොතරම් වුනත් ඔහුට ඒ පිලිබඳව කිසිදු සංවර්ධනයක් දැක ගැනීමට නොහැකි වෙන විට ” අර බලන්න….ඔයාගේ යාළුවා…හැමදාම සමස්ත ලංකා ජයග්‍රහණයටම යනවා….ඔයාට අඩුම ගානේ පංතියේවත් කවියක් සින්දුවක් කියන්න බැහැනේ…ඉතා දක්ෂ ලෙසින් ගායන හැකියාවක් ඇති දරුවෙකුට ඔබේ දරුවා කිසිම විටෙක සංසන්දනය නොකරන්න. එවිට සිදු වන්නේතමා ඉතාම අදක්ෂයෙක් බවට ඇති වෙන පසුබෑම දරුවාගේ ජීවිතයටම දැඩි ලෙසින් බලපෑම් ඇති කිරීමයි.

දරුවා අගය කරන්න

සෑම තැනැත්තෙක්ම තමා පිලිබඳ ව ඇගයීමක් ලබා දීමට ඉතා සතුටුය. එය මනුෂ්‍ය ස්වභාවයයි.දරුවාගේ බොහෝ දේ ඔබේ මට්ටමට සාපේක්ෂව බලන විට ඇගයුමට පාත්‍ර කිරීමට තරම් වටිනාකමක් නොමැති වීමට පුළුවන. විටෙක දරුවාගේ ඉල්ලීම් ඔබට හිරිහැරයක් වෙනු ඇත. කාර්ය බහුල වේලාවක චිත්‍රයක් ගෙනැවිත් පෙන්වා ලස්සනදැයි අහන විට ඔබෙන් කිසිම ප්‍රතිචාරයක්  නොලද විට ඔවුන් මහත් ආත්මානුකම්පාවට පත් වෙනු ඇත. තවත් විටෙක මේ අන්දමින් ඔබ කිව්වොත්….මොකක්ද…? මට නම් කිසිම ලස්සනක් නැහැ…නිකම් කුරුටු බලියක් විතරයි ..එයින් ඇති වෙන පසුබෑම නැවත ගොඩ නගා ගැනීම සිතනතරම් පහසු වන්නේද නැත. මේ නිසා දරුවන්ගේ හැකියාවන් ගැන අගය කරන්න. පුංචි හෝ දෙයක් කළ විට ඒ ගැන ප්‍රංශසා කරන්න.. ඒ වෙනුවෙන් මහත් වූ වචන සංඛ්‍යාවක් අවශ්‍ය නැත. දරුවාගේ හිත පිරෙන විදිහට ලබා දෙන ඇගයීම, වටිනාකම සහ ප්‍රංශසාව ඔහුගේ ජීවිතයේ බොහෝ ශක්තීන් නොදැනම එයින් ගොඩ නැගෙනු ඇත.

දරුවා දිරිමත් කරන්න

බොහෝ දරුවන්ගේ හැකියාවන් උපන් ගෙදරම වැලලෙන්නට තරම් ඔබේ වචන දරුණු වෙනවා නම් ඒ හා සමානවම මෙම හැකියාවන් සංවර්ධනය සඳහාද ඔබට ශක්තිය සපයා දීම අපහසු නැත අධ්‍යාපනයේදී වුව දරුවන්ට අවශ්‍ය ධෛර්ය ලබා දීමේ ප්‍රමුඛ මග පෙන්වන්නා මව්පියන්ය. අම්මා තාත්තාට තරම් දරුවාගේ හිත කියවන සුත්‍රය දන්නා තවත් අය නොමැත. මේ නිසා දරුවාගේ අවශ්‍යතාවය සහ ඒ වෙනුවෙන් ඇවැසි දිරිය ලබා දීමේ මෙහෙවර වෙනුවෙන් ඔබ දායක විය යුතුය. ආදර්ශමත් චරිත ගැන කියා දෙමින් ධෛර්ය උපයා දෙන්න.සපත්තුවක් නැතුව නොහඬා දෙපා නොමැතිව ජිවත් වෙන අය ගැනත් තොරතුරු කියා දෙන්න. ධනාත්මකව ජීවිතයේ ඉදිරියට යා යුතු ධෛර්ය දරුවා වෙනුවෙන් නිරන්තරව ලබා දීමට මව්පියන්ගේ යොමු වීම ඉතා වැදගත් වේ.

සහෝදරයන් සමගවත් දරුවා සංසන්දනය නොකරන්න

ඇගිලි පහ එක හා සමාන නැතුවා මෙන්ම එක බඩවැල කඩා ගෙන ආ සහෝදරයන් අතර වුනත් වෙනස්කම් බොහෝ තිබිය හැක. මව්පියන් විදිහට මෙම දරුවන් අතර වුනත් සංසන්දනයෙන් කතා බහ කිරීම නොකළ යුතුය. මල්ලී හොදයි…අක්කා නම් පාඩම් කරනවා…හොදට ඉගෙන ගන්නවා…ඔයා වගේ නොවෙයි…ඔබ මේ අන්දමින් සංසන්දනාතමකව කතා කරන්නේ දරුවා වෙනුවෙන් උනන්දුව ඇති කිරීමට බව සැබෑය. එහෙත් දරුවන් තමා තවත් අයෙකුට සමාන කරමින් කථා කිරීම එතරම් රුස්සනනේ නැත. මේ විදිහට සසඳන විට සිද්ධ වෙන්නේ සහෝදරයන් අතර පවා විවිධ විරසකයන් ගොඩ නැගීමයි. එමෙන්ම තමා පවුල තුළ නොවැදගත්ය යන සිතුවිල්ල නිසා බෙහෙවින් පසුබෑමට පත් වෙනු ඇත.

අම්මා, තාත්තා ලෙසින් දරුවන් වෙනුවෙන් ඔබ පිට කර හැම වචනයක්ම ගැනම දෙවරක් හිතන්න. යම් ලෙසකින් ඔබේ වචන වෙතින් මල් වැනි සියුමැලි සිත් රිදුන විට ඇති වෙන බලපෑම නිසා මෙම දරුවන්ගේ චරිත මහත් පසුබෑමකට පත් වෙනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article