ඇහැක් වගේ පරිස්සම් කරන දරුවන් ලෙඩ වුණාම වැඩිපුරම බය වෙන්නේ අම්මලා. ඒත් ඇතැම් වෙලාවට පාසලට හෝ ළඳරු පාසලට යාමට ඇති අකමැත්ත නිසා යොදාගන්නා උපක්‍රමයක් සේ සලකා ඇතැම් මව්වරු දරුවන්ගේ මේ පොඩි පොඩි බඩේ ලෙඩ නොසලකා හරින්නත් පුළුවන්. කෙසේ වුවත් බඩේ ලෙඩවලට මුල් වන්නේ පණුවන් නම් පණුවන් නිසා ඇතිවන බඬේ ලෙඩ නොසලකා එතරම් හොඳ වැඩක් නම් නොවෙයි.
දරුවාගේ ශරීරයේ අන්ත්‍රවල විවිධ හැඩයේ හා ප්‍රමාණයේ පණුවන් විවිධ ප්‍රමාණවලින් ජීවත් විය හැකියි. පණුවන් දරුවා ගන්නා ආහාර මත යැපෙමින් එයින් පෝෂණය වන අතර දරුවාගේ ශරීරයේ විවිධ රෝග තත්ත්ව ඇති කරයි. දරුවන් අතර වඩාත් බහුල පණු රෝග වන්නේ පටපණු, වට පණු, කිරි පණු හා කොකුපණු යන තත්ත්වයන්ය.
පණුරෝග වැළදීමට හේතු
දරුවා සිටින්නේ ඔබේ ඇසට පෙනෙන මානයේ නිසා දරුවා සුරක්‍ෂිත යයි ඔබ සිතුවත් ඇසට නොපෙනෙන පණුවන්ගේ ග්‍රහණයට දරුවා ලක්වන්නේ ඔබට නොදැනීමයි.පහත අවස්ථාවලදී දරුවාට පණුවන් ආසාදිත විය හැකියි .
- පණු හෝ පණු බිත්තරවලින් ආසාදනය වූ දේ වලින්
එළිමහනේ හෝ පිට්ටනිවල සෙල්ලම් කරන විට පණු හෝ පණු බිත්තර ආසාදිත පස් හෝ දූවිලි අතපත ගෑමෙන් විශේෂයෙන් දරුවන්ට පණුවන් ආසාදනය විය හැකියි.
එමෙන්ම බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන් හෝ ඔවුන්ගේ මල ද්‍රව්‍ය ස්පර්ශ වීමෙන්ද පණුවන් ආසාදනය විය හැකියි. - හොඳින් අත් නොසේදීම
අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීම දරුවන්ගේ සිරිතයි. මිදුලේ කෝම්පිට්ටු හදන දරුවා ඊළඟ මොහොතේ අතට ලැබෙන විස්කෝතුව කටේ දමාගන්නේ දෙවරක් නොසිතාය. නමුත් ඔහුගේ අත්වල නියපොතු අතර රැඳී සිටින සියුම් දූවිලි අංශූ සමග දහස් ගණන් පණුවන්ද ඒ සමග ඔහුගේ ශරීරයට ඇතුළු වේ.ගුදය ආශ්‍රිත ඇති වන කැසීම කිරි පණු ආසාදනවලදී බහුලව ඇතිවන ලක්‍ෂණයක් වන අතරම කැසීමේදී අතේ සම මත තැවරෙන සියුම්, ඇසට නොපෙනෙන කිරි පණු බිත්තර ඒ ආසාදිත වූ අතින් අල්ලන සෑම දෙයක් මතම තැවරේ. එයින් රෝගය තවත් කෙනෙකුට පැතිරීමට ද පුළුවන්. - මනා සෞඛ්‍යාරක්‍ෂිත විධි නොපිළිපැදීම
කිළිටි ඇඳ ඇතිරිලි හා යට ඇඳුම් පණුවන්ට හොඳ වාසස්ථාන සපයයි. දරුවන්ගේ පමණක් නොව දරුවන් ගැවසෙන අනිත් ස්ථානවලද ඇති අපිරිසිදු ඇඳ ඇතිරිලි ආදිය දරුවාට රෝගකාරක විය හැකිය. යම් වැඩිහිටියෙක් කිරිපණු රෝගයට ලක් වූවෙක් නම් ඔහුගේ තුවා, ඇඳුම්, ඇඳ ඇතිරිලි පමණක් නොව නියපොතුවලද පණු බිත්තර තිබිය හැකියි. එබැවින් දරුවන් මේ කුමන හෝ දෙයක ස්පර්ශ වී හෝ ඒ අතින්ම කෑම ගැනීමෙන් දරුවා ද ආසාදනයට ලක්විය හැකියි. - ආසාදිත ආහාර හා වතුර මගින්
දරුවන්ට ආහාරයට දෙන එළවළු, පළතුරු පණු බිත්තරවලින් ආසාදනය වී තිබිය හැකියි. එබැවින් අමුවෙන් හෝ අර්ධ වශයෙන් පිස ආහාරයට දෙන එළවළුවලින් මෙන්ම නිසි ලෙස නොසේදූ එළවළු පළතුරුවලින් ද පණුවන් ආසාදනය විය හැකියි.
පණු රෝගයකදී ඇතිවන සාමාන්‍ය ලක්‍ෂණ :
පණු රෝග යනු ආසාදන රෝග වේ. එබැවින් ආසාදන රෝගයක ඇතිවන ලක්‍ෂණ මෙම අවස්ථාවලදී ද ඇතිවිය හැකිය. ආයුර්වේදයේ පණුවන් ක්‍රිමින් ලෙස හඳුන්වයි.
ක්‍රිමි ආසාදනයකදී :
- උණ
- විවර්ණතා (ශරීරයේ පැහැය වෙනස් වේ නම්)
- වේදනාව
- උදරයේ වේදනාව
- හෘදයේ වේදනාව
- ඇඟපත අප්‍රාණික බව
- කරකැවිල්ල
- ආහාර අරුචිය හෝ ආහාර සඳහා නොකමැත්ත
- අතීසාරය – මල බුරුලින් පිටවීම වැනි ලක්‍ෂණ ඇතිවන බව ආයුර්වේදයේ දක්වා තිබේ
කිරි පණු ආසාදනයක ලක්‍ෂණ
ලංකාවේ දරුවන් අතර බහුලම ආසාදන රෝග තත්ත්වයකි කිරිපණු රෝගය. ආසාදනය වූ අයගේ අන්ත්‍රවල මෙන්ම ගුදය ආශ්‍රිතව වැඩෙන කිරි පණුවන් ආසාදනයෙන්,
- කිරි පණුවා රාත්‍රි කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම
- නින්ද අඩුවීම (රාත්‍රියට කැසීම හේතුවෙන්)
- මුත්‍රා පිටකිරීමේදී ඇති වන වේදනාව (කිරි පණු ආසාදනයකදී මෙම ලක්‍ෂණයද බහුල වශයෙන් ඇතිවේ)
- ශරීරයේ බර අඩුවීම
- ආහාර අරුචිය
- වරින් වර ඇතිවන උදරයේ වේදනා
වට පණු ආසාදනයක ලක්‍ෂණ
ගැඩවිල් පණුවෙක්ගේ හැඩයෙන් යුත් මෙම වට පණු ආසාදනයෙන්,
- අතීසාරය හෙවත් ද්‍රව මල අධික වශයෙන් පිටවීම
- මල සහ වමනය සමග වට පණුවන් පිටවීම
- උණ සමග එන වියළි කැස්ස (සාමාන්‍යයෙන් වට පණු බිත්තර ආසාදනයෙන් දින 4-16 කට පමණ පසුව ඇති වේ)
- උදර වේදනාව
- ඔක්කාරය
- ශරීරයේ බර අඩුවීම
කොකු පණු ආසාදනයක ලක්‍ෂණ
කොකු පණු බිත්තර ආසාදිත පස් සමග ස්පර්ශ වීමෙන් ප්‍රධාන ලෙසම බෝවන කොකු පණු රෝගයේදී,
- කැස්ස
- හතිය/හුස්ම ගැනීමේ අපහසුව (විශේෂයෙන් කොකු පණු කීටයන් පෙණහැලිවල ගත කරන කාලයේදී ඇතිවේ)
- රක්තහීනතාව හෙවත් ලේ අඩුකම (රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පහළ යාම)
- නිතර දැනෙන මහන්සිය
කොකු පණුවා අන්ත්‍රවල එල්ලී ජීවත් වන අතර එතනින් රුධිරය උරා බොයි. එනිසා කොකු පණු රෝගයෙන් පෙලෙන දරුවන්ට රක්තහීනතාවය ඇති වේ.
එමෙන්ම,
- උදරයේ වේදනා
- ඔක්කාරය
- මල සමග රුධිරය පිටවීම
- ආහාර අරුචිය
- කැසීම සහිත දද වැනි ලක්‍ෂණ ද ඇතිවේ
පටි පණු ආසාදනයක ලක්‍ෂණ
පටියක් ආකාරයෙන් දිස්වන මේ පණුවන් ඇතැම් විට අඩි 15-30 ප්‍රමාණයට වැඩීමට පුළුවන්. පටි පණු රෝගයේදී,
- ඔක්කාරය හා වමනය
- ආහාර අරුචිය ඇතැම් විට අධිකව ආහාර ගැනීම
- බර අඩුවීම
- කාමලා (Jaundice) රෝග තත්තවය (ඇස්වල, නිය හා සමෙහි (විශේෂයෙන්) අත්ලවල කහ පැහය)
- ශරීරය දුර්වල වීම
- විටමින් ඌනතා
- උදර වේදනා
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාථිකාචාර්ය (පරිවාස) වෛද්‍ය ආර්.එල්.ඩී. සඳමාලි රණසිංහ මහත්මිය ( B.A.M.S (Hons), M.D (Ayu) (SL) ) සමග සකසන ලද ලිපියකි.