- Advertisement -

ප්‍රතිඵල ආවා

-

විභාග ප්‍රතිඵල සමග අපේ රටේ කොතැනක හෝ සියදිවි හානි කර ගැනීමේ සිද්ධින් එක දෙකක්වත් වාර්තා වෙනවා. අද වගේ විකල්ප අධ්‍යාපන අවස්ථාවන් නොතිබුන කලවලදී ලැබෙන ප්‍රතිඵලය භාරගෙන දරුවන් ජීවත් වුනත් අද ඒ තත්වය සමාජයේ දැක ගනන්ට ලැබෙන්නේම නැහැ. ඇත්තටම විභාගයක් අසමත් වුනාට සිය දිවි හානි කර ගැනීම ඉතාම අවාසනාවන්ත කටයුත්තක් වුනත් මේ තැනට දරුවන් පත්ව සිටින්නේ ඇයිදැයි යන්න ගැන සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

දරුවන්ගේ පසුබෑමට බොහේ විට හේතු වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාරයි. දරුවාට වඩා ප්‍රතිඵල ගැන උනන්දුවෙන් සිටින්නේ මව්පියන්. එය ඇත්තටම සාධාරනයි. එහෙත් මව්පියන් ප්‍රතිඵල නිසා අතෘප්තිමත් වෙන තැනදී දරුවාටත් එය දරා ගැනීම අපහසුයි. රටේ ආර්ථික තත්වයත් සමග මව්පියන්ද විසින් දරණ වියදමට සහ කැපවීමට සාපේක්ෂව ඔවුන් තෘප්තිමත් වෙන ප්‍රතිඵලයක් නොලැබ කම්පනයට පත් වෙන මව්පියන් නිසා දරුවන්ගේ ජීවිතයට මුහුණ දෙන ශක්තිය නොදැනීම බිඳ වැටෙන තත්වයට පත් වෙනවා. මේ නිසා බොහෝ දරුවන් තමන්ගේ සියදිවි හානි කර ගැනීමේ පසු වදනේ සඳහන් කරන්නේ….අම්මා තාත්තා මට කරපු වියදම‍ට ගැලපෙන ප්‍රතිඵල නොලද නිසා ජීවිත්වීමේ අවශ්‍යතාවයක් නැති බවයි. මේ නිසා දෙමව්පියන් ලෙසින් දරුවන්ගේ ප්‍රතිඵල මුල් කර ගෙන කම්පාවට පත් නොවී ඔබ මෙන්ම ඔවුන්ටද ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලබා දීම ඉතා වැදගත් බව සිතන්න.

- Advertisement -

අද දරුවන් යාන්තම් හය හතර තේරෙන තැන පටන් අකුරට ලුහුබඳිනු විනා අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තියක් ඇත්තේම නැති තරම් කිව්වත් වරදක් නැහැ. අතීතයේදී දරුවන් සෙල්ලම් පිටියේදී අනුගමනය කළ නීති රීති, තීන්දු තීරණ මගින් ජීවිත අභියෝග ඉදිරියේ මුහුණ දෙන ශක්තිය ගොඩ නගා ගත්තා. ඒත් අද දරුවන්ට එවන් ශක්තියක් නැහැ.ශිෂ්‍යත්වය මව්පියන්ගේ මෙහෙයවීමෙන් දරුවන් හෙම්බත් වෙනවා. සෙල්ලමට විනෝදයට වෙලාවක් ඇත්තේම නැහැ. හුදෙකලා චරිතයක්ව ගෙවන දරුවා සමාජය ඉදිරියේ තිබෙන අභියෝග හමුවේ ඉතාම බෙලහීන චරිතයක් බවට පත් වෙනවා. මේ නිසා තමා ලද ප්‍රතිඵලය ඉදිරියේ ඉතාම දුර්මුඛ වෙන ඔවුන්ට තිබෙන එකම විකල්පය ලෙස සිය දිවි හානි කර ගැනීමට යොමු වීම අද බරතල ප්‍රශ්නයක්ව තිබෙනවා.

සමහර දෙමව්පියන් දරුවන් ගැන තබා ගෙන සිටින අධිතක්සේරුව ප්‍රතිඵල සමග බිඳ වැටෙන විට දරුවාට එය දරා ගැනීම අපහසුයි. අපේ පුතා නම් මෙඩිසින් සිලෙක්ට් වෙයි…යන ස්ථාවරයේම සිටියත් ප්‍රතිඵල ලැබී අදාල විශ්ව විද්‍යාල තේරීම ලැබෙන තෙක් තිබෙන්නේ ඉතාම අවිනිශ්චිතතාවයකි. මේ බව නොතේරෙන දෙමව්පියන් අනවශ්‍ය ලෙසින් දරුවා ඔසවා තැබීම නිසා ලැබෙන ප්‍රතිඵල තුළ අදාල ජයග්‍රහනය නොලද විට ඔවුන් තමන්ට ජීවත්වීමට තිබෙන වාසනාව ඔවුන් විසින්ම නැති කර ගන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙති.

ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ තෘප්තිමත්බව දැක්වීමත් දරුවන් බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමේ සුවිශේෂී පිලිවෙතකි. ලද දෙයින් සතුටු වෙනු විනා නොලද දෙය ඉදිරියේ හඬා වැටීම අසාර්ථක බව පෙන්වා දෙන්න. අහවල් අයගේ ප්‍රතිඵල මේ මේ ‍අන්දමින් ඉතා ඉහලින් ඇතැයි දරුවා සමග සංසන්දනයෙන් කතා බහ කිරීම දැන් නිෂ්ඵලය. එයින් වන්නේ දරුවා තවත් පසුබෑමට සහ කම්පාවට පත් වීම හැර වෙන සැලකිය යුතු වෙනසක් සිදු වීම නම් නොවන්නේය.

ප්‍රතිඵල ලැබුනාට පසුව ඔබ දරුවා පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇතැම් දරුවන් ප්‍රතිඵල ඉදිරියේ විශාල පසුබෑමකට පත් වෙති. මේ නිසා ඔවුන් ගැන සියුම් ලෙස නිරීක්ෂනය කරන්න. හුදෙකලා වන්නට ඉඩ නොදෙන්න.දරුවන්තේරුම් ගැනීම අප හිතන තරම් පහසු නැත. ඇතැම් විට සාමාන්‍ය පරිදි හැසිරෙමින් සිටම සිය දිවි හානි කර ගන්නා අවස්ථාවන් ඇත.එබැවින් ඔවුන්ගේ කම්පනය ඉදිරියේ අස්වසනු මිස තව තවත් කම්පාවට හේතු වෙන ලෙසින් දෙබස් එක් කිරීමෙන් වැලකීම ඉතා වැදගත් වේ.

විභාගය අසමත්වීම යනු ජීවිතයෙන් පලා යෑමට හේතුවක් නොවන බව දරුවන්ට තේරුම් කර දෙන්න. අද අධ්‍යාපනයේ ඉදිරියට යෑමට විකල්ප අවස්ථාවන් බොහෝ ඇත.අහිමි වූයේ එක් දෙයක් පමණක් බව පෙන්වා දෙන්න. එකක් අහිමි වුනත් උපයා ගත හැකි බොහෝ දේ ඇති බවත් දරුවාට කියා දෙන්න. ඒ හැර අහිමි වුන දෙය මත්තේම වැලපීම නිරර්ථක කටයුත්තක් බැව් ඔවුන්ට ඉතා පැහැදිලිව සඳහන් කර දෙමින් ජීවිතයට මුහුණ දෙන ශක්තියගොඩ නැගීමට දායක වෙන්න.

විභාගය  අසමර්ථ වීම යනු අනාගතය කඩා වැටීමක් නොවේ. එය ජයග්‍රහනය වෙනුවෙන් පන්නරය ලැබීමක් බව කියා දෙන්න. නැපෝලියන් බොනපාට් පරජය ඉදිරියේ සැලුනේ නැත. ඒ. ආර් රහුමාන්ට ඕගන් වාදනය කිරීමට නොහැකි බව කියමින් ගුරුවරයා ඔහු පංතියෙන් පන්නා දැමුවේය. ලාන්ස් ආම්ස්ට්‍රොන් ලේ පිලිකා තුනකින් පීඩාවට පත් ක්‍රිඩකයකි. මේ නිසා ඔහුට පිහිණුම් තරගයන්හි යෙදෙන්නට තිබුන අවස්ථාව අහිමි විය. එහෙත් ඔහු ආපස්සට හැරැනේ නැත. පාපැදි ක්‍රිඩාවෙන් ලෝකය ජයගන්නට අධිෂ්ඪාන කළේය. මේ නිසාම ප්‍රංශ පාපැදි තරඟයෙන් ඔහු හත් වතාවක්ම ජයග්‍රහනය ලැබුවේ අහිමි අවස්ථාව වෙනුවට විකල්ප අවස්ථාවන් සොයා ගිය නිසාය. වරක් ඔහු සමග පවත්වන ලද  සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙනුවෙන් පිලිතුරු දෙමින් ලාන්ස් ආම්ස්ට්‍රෝං කියා සිටියේ නිශ්චිත ඉලක්කයක් ඇත්නම් එය ජයගැනීමට විශ්වාසය හා අධිෂ්ඨානය සෑහෙන බවයි.

ප්‍රතිඵල අසාර්ථක වූ පමනින්ම අධිෂ්ඨානය බිඳ වැටිය යුතු නැත ජයග්‍රහනය වෙනුවෙන් තව කාලය සහ මාර්ගය ඉදිරියේ ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය ගොඩ නගා ගැනීමට උපදෙස් ලබා දෙන්න. අද ලෝකයේ තිස්තුන්වැනි ධනවත් පුද්ගලයා බවට පත්ව සිටින චීනයේ ජැක් මා , විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් තෙවරක් අසමත් විය. රැකියා තිහකට ඉල්ලුම් කළත් ඔහුට එකදු රැකියාවක්වත් ලැබුනේ නැත. කේ. එෆ්. සී ආයතනය චීනයේ ආරම්භ කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් ඉල්ලුම් කරන ලද විසිහතර දෙනාගෙන් විසිතුන්දෙනෙක්ම තෝරා ගත් අතර එයින් ප්‍රතික්ෂේප වුන එකම තැනැත්තා වූයේ ජැක් මාය. වෙනතක් තබා පොළිස් සේවය වෙනුවෙන්  දැමූ අයදුම්පත්‍රයටවත් පිළිගැනීමක් ලැබුනේ නැත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයට දහ වතාවක් ඉල්ලුම් කළත් අවස්ථාවක් ලැබුනේ නැත එහෙත් ජැක් එයින් පසුගාමී වුයේ නැත. තමා පටන් ගත්තේ වැටෙන තැනින් බව ඔහු දැන් සඳහන් කරයි.

ඔබේ දරුවාගේ සිතද මේ අන්දමේ පුර්වාදර්ශ චරිතයන්ගෙන් පෝෂනය කරන්න. වැටෙන තැනින් නැගිටීම යනු නියම ජයග්‍රහනය බව ආදරයෙන් කියා දෙන්න. ජිවිතය දිනන්න නම් කොතැනකින් හෝ වැටෙන්න ඕන ජැක් මා විසින් ලෝකයට දුන් පනිවිඩය ඔබේ දරුවාටද පන්නරය සපයනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article