- Advertisement -

මග තොටදී ප්‍රවේසමෙන්

-

ඉස්සර කාලයේ කාන්තාවකට අනුරාධපුරයේ සිට මාගම දක්වා මැණිකක් වුනත් අත රැගෙන තනිපංගලමේ ගමන් යන්න තිබුන හැකියාව අද ගැහැණු දරුවන්ට නැහැ. වෙනතක් තබා පොදු ප්‍රවාහන සේවාවක කිලෝමීටර් දෙක තුනක ගමන්වාරයේදී වුනත් ගමන්වාරය සමග ආත්ම ආරක්ෂාව සලසා ගන්නේ කොහොමද යන්න ගැන දැණුවත්වීම වඩාත් සුදුසුයි.

බසයකට ගොඩ වැදුන විට මුලින්ම තමන්ට ආරක්ෂාව ගැන සහතික විය හැකි තැනත අසුන් ගන්න. දුරගමනක යන්නේ නම් කාන්තාවක් සිටින අසුනක වාඩි වීම බොහෝ සෙයින් සුදුසුයි. මිතුරියන් දෙතුන් දෙනෙක් සමග යන‍්නේ නම් ඊට පිරිමහින අසුනක් තෝරා ගැනීමත් ඉතාම වැදගත්.ආසනයක හිස් තැනක් ඇති විට නොමනා කටයුතු වෙනුවෙන්ම ලියාපදිංචිව සිටින පුද්ගලයන් මෙම හිස් තැනින් ප්‍රයෝජන ගනු ඇත.

- Advertisement -

මේ විදිහට පූර්ව ආරක්ෂාව සලසා ගත නොහැකි අවස්ථාවකදී අසල සිටින අය ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්. ගොනා ඇදෙන්නේ පොල් පැලයටද එහෙම නැත්නම් තැඹිලි පැලයටද යන වග තේරුම් ගත යුතුයි. අනවශ්‍ය විදිහට බලපෑමක් ඇති වෙනවා නම් වඩාත්ම ගැලපෙන කටයුත්ත වෙන්නේ එම ස්ථානයෙන් වෙනස් වීමයි. ආසනයක් නොමැති නම් හිටගෙන යෑම හැර වෙනත් විකල්පයක් නැහැ. ඇතැම් ගැහැණු දරුවන් මේ වගේ අවස්ථාවන්හිදී සෙරෙප්පුවෙන් කුඩයෙන් ගසන්නට තරම් ආවේගශීලි වෙනවා. එහෙම නැත්නම් මහත් ශබ්ද නගමින් බැන වදිනවා.අවිනීත පිරිමින් වෙනුවෙන් මෙය සාධාරණ වුනත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් තමන්ට වුන අපහසුතාවයට පලිගන්න පුලුවන්. මේ නිසා බොහෝ සෙයින් බුද්ධිමත්ව කළ යුතු දෙය වන්නේ එතැනින් වෙනස් වීමයි. එය සෙරෙප්පුවෙන් ගැසුවාට වඩා තදින් දැනෙන්නට පුළුවන්.

සමහර අවස්ථාවලදී සල්ලාල පිරිමින් ගැහැණු දරුවන් පසුපස පැමිණෙමින් අතවර කරන අවස්ථා තිබෙනවා. මේ අන්දමින් දියණිය පසුපස කවරෙකු හෝ පැමිණෙන බව දැනෙනවා නම් වැඩිහිටියෙකුගේ සහය ලබා ගන්න. එම ස්ථානයේ කඩයක් හෝ තිබේ නම් එතැනට ගොස් ඔහු මගහරින්න.තවත් අවස්ථාවලදී මෝටර් බයිසිකල්වලින් පැමිණ ලිපිනයක් විමසන මුවාවෙන් කණ කර පැහැර ගන්නා අවස්ථාවන්ද ඇත. ඔබේ දියණියගෙන් එසේ විමසා සිටින විට ඉතා කාරුණිකව ඒ ගැන නොදන්නා බව කියනු විනා අනවශ්‍ය විදිහට එම ලිපිනයට අදාල තොරතුරුු ලබා දීමට උත්සාහ නොකරන්න.

පොදු ප්‍රවාහනසේවාවකදී අසල සිටින කාන්තාවක් වුනත් දෙන ටො‍ෆි චොකලට් හෝ බීම වර්ග පානයෙන් වලකින ලෙස දියනියට උපදෙස් දෙන්න. එක්තරා බසයකදී තරුණ දියණියට අසුනේ සිටි කාන්තාව විසින් චොකලට් පෙත්තක් ආහාරයට ලබා දී ඇත. ටික වේලාවකින් දියනිය ක්ලාන්ත වූ අතර මුල් කී කාන්තාව මෙම දියනියද වත්තම් කර ගෙන බසින්නට සැරසෙත්ම ඇගේ මිතුරිය වහාම නැගිට කියා සිටියේ මේ කාන්තාව ඔවුන් නොදන්නා බව සහ මිතුරිය තමා සමගම වූ බස්නැවතුමේ බසින්නට මිස මෙම ස්ථානයේ බසින්නට හේතුවක් නැති බවයි. මේ අන්දමින් කාන්තාවන් මගින් වුනත් අවදානම් ඇති බැවින් දියණියට කිසිම නාඳුනන කාන්තාවක් වුනත් කරුණාවෙන් දෙන දෙයක් වුවද ආහාරයට නොගත යුතු බවයි.

අද දරුවන් පයින් ගමනට කොහෙත්ම මනාප නැත. කෙටි දුර වුනත් ත්‍රිරෝද රථයකින් සපුරා ගැනීම ඔවුන්ගේ අරමුණයි.ත්‍රිරෝද රථයක වුනත් ගමන්ගැනීමේදී නොදන්නා රථයක තනියෙන් ගමන් නොගත යුතු බව අවධාරනයෙන්ම දන්වා සිටින්න. අද බොහෝ තරුණ දරුවන් පහසුව වෙනුවෙන් නොදන්නා ත්‍රිරෝද රථ ගමනට දක්වන නැඹුරුතාවය සමගම ලුහුබඳින අවදානමක්ද ඇති බව දන්වා සිටින්න. එක් ආයතනයක තරුණ සේවිකාවක් ආයතනය පසු කර ගෙන යන ත්‍රිරෝද රථයකට නැගුනේ ඉක්මනින් කාර්යාලය වෙත ගමන් කිරීම සඳහාය. දුර ගමනක් ගොසින් එන ත්‍රිරෝද රථය ඇයට සුපුරුදු එකක් නොවේ. මේ අන්දමින් වෙනත් ගමන්වාර අවසාන කොට නැවත පැමිණෙන ත්‍රිරෝද රථයකින්පැමිණෙන විට මුදල් පිලිබඳව ලැබෙන වාසිය නිසා මෙම ආයතනයේ උදවිය මේ අන්දමින් කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක්ව ඇත.

එහෙත් ඇයට වූ අනතුර සුලුපටු නැත සිහිය ඇවිත් බලන විට ඇය සිටියේ ආයතනය පසු කොට කිලෝමීටරයක් පමණ දුරින් වූ පාලු තැනකය. අත්බෑගයේ මුදල් සහ කණකර අබරණ සියල්ල නොමැති වුනත් වෙනත් අතවරයක් සිදුව නොතිබුනේ වාසනාවකට මෙන්ය. මේ නිසා දියණිවරුන් ත්‍රිරෝද රථයකින් ගමන්ගන්නේ නම් තවත් අයෙකු නොමැත්තේ නම් දන්නා හඳුනන රථයකින් හැර ගමන් නොයන තරමටම ආරක්ෂාව උපරිම වේ.

තරුණ දියනිවරුන්ගේ ඇ‍තැම් ඇදුම් පැළඳුම් පවා ඔවුන්ගේම අනාරක්ෂිත බවට හේතු වේ. ගවුමට වඩා කලිසම සංවර යැයි කීයද එය අඳින ආකාරයට අනුව අපචාරයන්ට අත වනන තත්වයක් නොදැනම ගොඩ නැගේ. කලිසමට අදාල කමිසය හෝ වෙනත් ඇඳුමකින් අවයව නොපෙනෙන ලෙසින් හෝ ඉස්මතු නොවන අන්දමින් තෝරා ගැනීමට උපදෙස් දෙන්න. ඇතැම් ඇඳුම් නිසාත් දරුවන්ට අනවශ්‍ය ලෙසින් අවධානය යොමු වෙන අවස්ථාවන් ඇත.සංවර බව ඇඳුමෙන්ද ගොඩ නගා ගත යුතුය. මේ වෙනුවෙන් මව්වරුන් තම දරුවන්ට ලබා දෙන අවවාද ඉතා වැදගත්ය.සිංහල කුලසිරිත් අනුව පැවැති ඇඳුමේ සංවර බව ආත්මාරක්ෂාව වෙනුවෙන්ද ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇත.

නිවසෙන් පිටව යන දියණිය නැවත නිවසට එන තෙක් මාර්ගයේ ඇගේ ආරක්ෂාව පිලිබඳ ව වූ අවදානම අද සමාජයේ සුලුපටු නැත.කාර්යබහුල සමාජයේදී අම්මා තාත්තා පැය විසිහතර පුරාවටම ආරක්සාව සපයන්නන් ලෙසින් පෙනී සිටීමට හැකියාවක්ද  නැත. දෛනික කටයුතු සහ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ඇයට හුකෙලාව සිටින්නටද නොහැක. මෙම සියල්ල සමතුලිත ලෙසින් ඉටු කර ගෙන ඉදිරියට යන්නට නම් දරුවන්ට ලබා දෙන දැණුවත් බව ඉතාම වැදගත් බව මව්පියන් වශයෙන් මතකයේ තබා ගන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article