දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් නිදිගත තත්වයක තිබුනත් ඒවා අවදිවෙන්නේ දෙමව්පියන්ගේ මග පෙන්වීම අනුවයි. දරුවන්ගේ ජීවිතයේ පළමු ගුරුවරුන් වන්නේ අම්මා තාත්තා නිසා දරුවාගේ හැකියාවන් ඔවුන් තරම් හදුනන වෙනත් අයෙක් නැහැ. ඒත් අද දෙමව්පියන් දරුවා සෞන්දර්ය වෙනුවෙන් දක්වන හැකියාවන් ගැන එතරම් උනන්දුවක් නැහැ. ඒත් යාන්තම් බහ තෝරන වයසේදී පටන් ඉංග්‍රිසි හසුරුවන්න ඉංග්‍රිසි කවි කියන්න , කථාන්දර සහ වචන වෙනුවෙන් දරුවා උනන්දු කිරීමට තිබෙන නැඹුරුතාවය ඉතා ම ඉහලයි. ගායන වාදන, නැටුම් චිත්‍ර වැනි සෞන්දර්ය කටයුතු නිසා දරුවාගේ ජීවිතයට ලැබෙන පන්නරය සුලු පටු නැහැ.
දරුවන්ගේ සහජ හැකියාවන් බාල කාලයේ පටන්ම හදුනාගැනීම ඉතාම වැදගත්. ලොවින් එකෙක් එක දෙයකට සමත කිව්වත් හොවාර්ඩ්ගේ බහුවිධ බුද්ධි න්‍යායට අනුව එක් පුද්ගලයෙක් තුළ කුසලතාවයන් රැසක් තිබෙන්න පුලුවන්. මේ කුසලතාවයන් දරුවා බාල කාලයේදී පහසුවෙන්ම හදුනා ගන්නත් , ඒ වගේම දරුවාට එම හැකියාවන් දියුණු කර ගැනීමටත් මාර්ගය කියා දීම ඉතාම වැදගත්. බිත්තියේ අඳින කුරුටු බලියක් තුළ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සැගව සිටිය හැකියි. පද දෙක තුනක් වුනත් තාලයට ගයන්නේ නම් ගීත කෝකිලයෙක් ඒ තාලයේ ජීවත්වෙනු ඇත. රිද්මයකට පාද හසුරුවන දරුවා වෙතින් අනාගතයේ කරළිය ලෙල දෙන දක්ෂ ශිල්පියෙක් හෝ ශිල්පිණියක් බිහි වෙනු ඇති.
ඉස්සර කාලයේ අතින් යමක් අල්ලා ගන්න පුලුවන් වුන තැන පටන් දරුවන් අගුරු කෑල්ලක් අරගෙන බිත්තියේ කුරුටු බලි අඳිනවා. සුදුහුණු ගාන වෙලාවට මේ චිත්‍ර වැහෙන විදිහට මොකක් හරි කරන්න පුලුවන් හින්දා දෙමව්පියන් දරුවන්ගේ කුරුටු බලි වෙනුවෙන් තහංචි පැනවුයේ නැහැ. ඒත් අද හැම නිවසකම බිත්ති ඉතා පිරිසිදුව තියෙන නිසාත්, තීන්ත ආලේප වෙනුවෙන් පිරිවැය අධික නිසාත් දරුවන්ගේ කුරුටු බලි වෙනුවෙන් බිත්තියේ ඉඩක් නැහැ. මේ නිසා දරුවාට චිත්‍ර අදින්න හැකියාවක් ඇත්ද නැත්ද යන බවක් වත් තේරුම් ගන්න අපහසුයි.ඒත් කුඩා බෝඩ් ලෑල්ලක්වත් දරුවාගේ කුරුටුබලි වෙනුවෙන් ලබා දෙන්නේ නම් ඔබේ නිවසේ සිටින අනාගත චිත්‍ර ශිල්පියාට සාර්ථක ගමන්මගක් සැලසෙනු ඇති.
සෞන්දර්ය හැකියාවන් දකින දෙමව්පියන් ඒ ගැන උරණ විය යුතු නැහැ. මේ හැකියාවන් තවත් පැත්තකින් දරුවාගේ ඉගෙණුම් ක්‍රියාවලියට ආධාර වෙන්නේ නොදැනුවත්වමයි. සිතුවම් අඳින හැකියාව නිසා ඉගෙනුම් කටයුතු තුළ තිබෙන පැවරුම් , සිතියම් සහ වෙනත් රූප සටහන් ඉතා අලංකාරව සහ පාඩමට අදාලව නිර්මානය කිරීමට උපකාරි වෙනවා.කවි ගීත තාලයට හඬ නගා කියන විට දරුවාගේ වින්දනාත්මක රස පෝෂනයන් වගා වෙනවා.
රිද්මානුකූල නර්තනයන් මගින් ලැබෙන ශාරිරික ව්‍යායාම මගින් දරුවාගේ මොළයට රුධිර සැපයුම යහපත් ලෙසින් සිදු වෙන නිසා මතකය සහ ධාරනය පිලිබඳව වැදගත් මෙහෙවරක් නොදැනම ඉටු වෙනවා.
අද මිනිසුන් සම්පත් වෙතින් කොතරම් සංවර්ධනය වුනත් සංවේදී බවෙන් ඉතා දුර්වල තැනක පසු වේ. මිනිසුන් වෙනුවෙන් කම්පාවෙන හදවත් සොයා ගැනීමත් අපහසුයි. ඇතැම් පලාත් සභාවන්හි දැක්ම බවට පත්ව ඇත්තේ සංවේදී මිනිසෙක් බිහි කිරීම යන්නයි. අද මානව ගුණාංග ඒ තරමටම පිරිහීමට පත්ව ඇත. භෞතික සම්පත්සමග තමන්ගේ සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීම මිස අල්ලපු නිවසේ කෙනෙක් මියගියත් ඒ දෙස හැරී නොබලන තරමටම මිනිසත්බව දුරස්ව ඇත.එහෙත් සෞන්දර්යාත්මක රස සිතුවිලි සමග පෝෂණය වේ. චිත්‍ර මගින් දරුවන්ගේ මනස ඉතා පැහැදිලිව කියවා ගැනීමට හැකි බව මනෝවිද්‍යාඥයන් පවා පිළිගෙන ඇත. එක්තරා ගුරුවරයෙක් පංතියේ දරුවන්ට තමන්ගේ පවුල චිත්‍රයට නගන්නට කීවේය. දරුවන්ගේ චිත්‍ර අතර එක් දරුවෙක් අම්මාගේ හිස මල් වලින් හා අලංකාර ඔටුන්නකින් සරසා තිබුනි. සෙසු දරුවන්ගේ අම්මා කොණ්ඩය ගෙඩියක් කොට බැඳි අතර මේ චිත්‍රය අපුරු නිසා දරුවා කැඳවා ඇයි අම්මාට මල් වලින් ඔටුන්නක් දැම්මේ යැයි විමසා සිටයේය. මං අම්මාට ගොඩක් ආදරෙයි…අම්මා ලඟ හරිම සුවඳයි…ඒ හින්දා මං අම්මාව මලක් වගේ හැඩ කලා…දරුවා පිලිතුරු දුන්නේය. දරුවන්ගේ සියුම් මනෝභාව මේ අන්දමින් අවදි වෙන විට ඔවුන්ගේ හිත්වල සංවේදී බව ඔබත් නොදැනම වගා වෙනු ඇත.
කවි ගීත මගින්ද දරුවන්ගේ හදවතට ඉතා හොඳින් ආමන්ත්‍රනය කළ හැක. මව්ගුණ, පියගුණ ගීත මගින් අපි ලබා දෙන අවවාද දහසකට වඩා සාර්ථක ලෙසින් දරුවන්ගේ හදවත ස්පර්ශ කළ හැකිය.ජීවිතයට මුහුණ දීමේ ශක්තිය නොදැනීම වගා කරන්නට සෞන්දර්ය තරම් සියුම් හඬක් තවත් නැත. චිත්‍රයක භාවිත කරන කලු සුදු වර්ණ මෙන්ම විසිතුරු වර්ණ මෙන් ජීවිතයේද විවිධ හැලහැප්පීම් සහ සතුට , ජය වැනි ශක්තීන්ගෙන් පිරී ඇති බව තේරුම් යනු ඇත.
පාසල් අධ්‍යාපනයේදී විදයාව සහ ගණිතය වැනි විෂයන් මගින් දරුවන්ගේ තර්ක බුද්ධිය සහ විද්‍යාත්මක දැණුම වර්ධනය වුනත් සුන්දර සිතුවිලි වෙනුවෙන් තෝතැන්නක් මෙම විෂය වෙතින් නිර්මානය වන්නේ නැත එහෙත් මව්පියන්ගේ මෙහෙයවීම මෙම හර විෂයන් වෙනුවෙන් පමණි. කුරුටු බලි ඇන්දොත් ඇති…ඔය නැටුම දැන් ඇති ඉස්කෝලේ වැඩක් කරන්න….සිංදුවෙන් ජීවත් වෙන්න බෑ….මව්පියන්ගේ අවවාදය ඒ අන්දමින් හඬ නැගෙන විට දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් උපන්ගෙයිම වැලලෙනු ඇත.
ලෝකයට අවශ්‍ය සුන්දර දරුවන්ය.අද නැත්තේද එයම නොවේද…..? එදා අම්මා සැලකනු ලැබුවේ ගෙදර බුදුන් ලෙසයි. එහෙත් විද්‍යාවෙන් දැනුම ලබන දරුවාට අම්මා යනු දරුවන් තනන යාන්ත්‍රනයයි. තාත්තා එහි කොටස් කරුවෙක්ය. එයින් ඔබ්බට අම්මා තාත්තා බුදුන් ලෙසින් සලකන හැඟීම් දැනීම් ඔවුන්ට නැත. වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන,
” පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
ලපසේ සඳ විලසේ දවසක වෙන්නූවෙම්මා… “
යන කවි පංති කියවන දරුන්ට මව් සෙනෙහසක අරුමය විෂය කරුණු ලෙසින් කියා දීමට අවශ්‍ය නැත ආදරය පවා එදා ප්‍රකාශ වුනේ ඉතාම සංයමයෙන්ය. වසා ගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා….ආදරය ඉල්ලා සිටි තරුණයාට තමන් මවක බව කියා සිටියේ ඒ අන්දමින්ය. අද දරුවන්ගේ ආවේග ඉතා දරුණුය. අදහස් නොඉවසන තරම් දරුණුය.එහෙත් ගීතයෙන් , කවියෙන් හික්මීමක් ලද තැනදී තමා ජීවත්විය යුත්තේ කතා බහ කළ යුත්තේ කෙසේදැයි වටහා ගනු ඇත. විෂමාලාවට අදාලව ජීවත්වෙන පාඩම ඉගෙනීම එතරම් පහසු නැත. එය ජීවිතයෙන්ම උගත යුතුය. එම උගැන්ම වෙනුවෙන් සුන්දර මග පෙන්වීම ලැබෙනුයේ සෞන්දර්යාත්මක පක්ෂයෙන් බව මව්පියන් ලෙසින් ඔබ දැනගත යුතුය. ජීවිතයේ සතුට ඇත්තේ සුන්දර සිතුවිලි මතය. යහපත් මිනිසෙකු බිහි කරන්නට මෙම සුන්දර සිතුවිලි තරම් හේතු වාසනාවක් තවත් නම් නැත.