- Advertisement -

දරුවන්ට ඇති වන පණු රෝග වළක්වා ගන්නේ මෙහෙමයි

-

දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේ.

හොඳ සෞඛ්‍යමත් පුරුදු හුරුකර ඔබේ දරුවා පණු රෝගවලින් රැකගන්න

- Advertisement -
  1. නිතර දරුවාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම පණු රෝග වළක්වා ගැනමේිදී ඉතා වැදගත් වේ. විශේෂයෙන් ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු හා සෙල්ලම් කිරීමෙන් පසු විෂබීජ නාශකයක් යොදා දෑත් හොඳින් සේදීම කළ යුතුය.
  2. සැමවිටම පිරිසිදු නටවා, පෙරා ගත් ජලය පානයට දෙන්න
  3. අමුවෙන් ආහාරයට ගන්නා එළවළු, පලා වර්ග මෙන්ම පළතුරු හොඳින් සෝදා ආහාරයට එකතු කරගන්න.
  4. මස් හා අනිකුත් පිසින එළවළු හොඳින් පිස ගැනීමෙන් අනතුරුව දරුවන්ට ලබාදෙන්න
  5. දරුවා කුඩා කල සිටම වැසිකිළි භාවිතයට පුරුදු කිරීම හා නිසි ප්‍රමිතියෙන් යුතු වැසිකිළි භාවිතය. කුඩා දරුවන්ගේ මල වුවද නිසි පරිදි බැහැර කළ යුතු අතර එළිමහන් පරිසරයට මුදා නොහැරිය යුතුය.
  6. සැමවිටම පිරිසිදු යට ඇඳුම්, තුවා, ඇඳ ඇතිරිලි භාවිතයට දීම.
  7. තුවා, පනා, ඇඳ ඇතිරිලි, කොට්ටා ආදිය යට ඇඳුම් දරුවාගේ තනි භාවිතයට තිබිය යුතු අතර වෙනත් දරුවන් හෝ වැඩිහිටියන් සමඟ හුවමාරුවට භාවිත නොකළ යුතුයි.
  8. දෑත් දෙපාවල නියපොතු කෙටිවන ලෙස කැපීම.
  9. එළිමහනේ ඇවිදින විට පාවහන් පැළඳීම.
  10. නිවස නිතර පිරිසිදුව මෙන්ම හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන සේ තබාගැනීම.
  11. බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ මල නිසි පරිදි බැහැර කිරීම.
  12. දරුවන්ට ආහාර පිසින විට නිතරම පළමුව දැත් විෂබීජ නාශක යොදා සෝදා ගැනීම.
පණු රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර

පණුරෝග සඳහා ආයුර්වේදයේ ප්‍රධාන ප්‍රතිකාර විධි 03 ක් දක්වා ඇත. ඒවා නම්,

  1. පණු රෝග සඳහා හේතු වන කාරණා ඉවත් කිරීම
  2. ශරීරයේ ඇති පණුවන්ට හිතකර පරිසරය වෙනස් කිරීම
  3. අතින් හෝ ඖෂධ මඟින් පණුවන් ඉවත් කිරීම
පණුවන්ට හිතකර පරිසරය කිරීම වෙනස් සඳහා නිවසේදීම යොදා ගත හැකි ද්‍රව්‍ය ලෙස,

    • කරාබු නැටි
    • වසාවාසි
    • සාදික්කා
    • කරඳමුංගු
    • උළුහාල්
    • වියළි ඉඟුරු
    • සූදුරු
    • කළුදුරු දැක්විය හැකිය

මේ ඖෂධ ද්‍රව්‍ය වල ක්‍රිමිඝ්න හෙවත් පණුවන් නසන ගුණය ඇත. සාමාන්‍යයෙන් මේ ඖෂධ බොහොමයක් ආහාර රස ගැන්වීම සඳහා භාවිත කෙරෙන ඒවාය. ඒවායේ ඇති කටුක හා තික්ත රස හේතුවෙන් ආමාශ ආශ්‍රිතව පණුවන්ට හිතකර පරිසර ස්වභාවය ඉවත් වී යයි. නමුත් පැණි රස ආහාර අධිකව ගතහොත් නිර්මාණය වන්නේ පණුවන්ට හිතකර පරිසරයකි.

පණුවන් ඉවත් කිරීමට,

  • එරබඳු කොළ
  • අරලිය කොළ
  • ඇත්තෝර කොළ
  • බටකිරිල්ල කොළ
  • ඇහැළ කොළ
  • කිරි අඟුණ කොළ
  • තිත්ත අඟුණ කොළ
  • ගොටුකොළ ආදිය යොදාගත හැකිය.

මේවා මැල්ලුම් වශයෙන් සකස් කළ හැකිය. අරලිය කොළ කඩා දවසක් පමණ තැබූ විට කොළ මැළවී කිරි ඉවත් වී ආහාරයට ගත හැකි තත්ත්වයට පත් වේ.  බට කිරිල්ල කොළ වියළා තනන අග්ගලා ද පණු රෝග ඇති දරුවන්ට සුදුසු වේ. මීට අමතරව වළඟසාල්, කුඹුරු ඇට මද, අරළු, සුදුළුෑණූ, කලාඳුරු අල, මුරුංගා පොතු වැනි ඖෂධ රැසක්ද ආයුර්වේදයේ දක්වා ඇත. මේවායේ කෘමින්/පණුවන් නසන ගුණ ඇත.

පණු රෝගවලදී ඇති වන ලක්‍ෂණ බොහොමයක් එතරම් තදින් ගණන් නොගැනෙන ලක්‍ෂණ වන අතර අතැම් විට රෝගය උග්‍ර අතට හැරෙන තුරුම නිසි අවධානයක් යොමු නොවේ. ඇතැම් පණු රෝග හඳුනාගැනීමට යම් කාලයක් ගතවීම අනෙක් විශේෂත්වයයි. නමුත් ඇතැම් පණු රෝගවලදී (විශේෂයෙන් පටි පණු රෝගයේ දී) අන්ත්‍ර මාර්ග අවහිර වන අතර ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදුවිය හැකියි.

පණුරෝග වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඉතා පහසුවෙන් ලොකු කුඩා කාටත් පිළිපැදිය හැකි හා ලොකු කුඩා කාටත් සෞඛ්‍යමය ජීවතයක් පවත්වා ගැනීම උදෙසා පිළිපැදිය යුතු පිළිවෙත් සමුහයක් පමණි. මේ පිළිවෙත් දරුවන්ට කියාදීම, ඒවා පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාවය ඔවුන්ට අවබෝධ කරදීම හා ඒ සඳහා ඔවුන්ට උපකාර කිරීම දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්හට පැවරෙන වගකීමකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාථිකාචාර්ය (පරිවාස) වෛද්‍ය ආර්.එල්.ඩී. සඳමාලි රණසිංහ මහත්මිය ( B.A.M.S (Hons), M.D (Ayu) (SL) ) සමග සකසන ලද ලිපියකි. 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article