- Advertisement -

පවුලේ ආර්ථීකය ගැන දරුවන් දැනුවත් කළ යුතුමයි

-

පවුලේ ආර්ථීකය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් මෙන්ම එය දරුවන්ගේ ද අයිතිවාසිකමකි. බොහෝ දෙමාපියන් තමන් මුහුණ දෙන ආර්ථීක ගැටලූ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට කැමැත්තක් නොදක්වයි. ඒ දරුවන්ට ඇති ආදරය නිසා ඔවුන්ට එය අනවශ්‍ය බරක් යැයි සිතන බැවිනි. නමුත් ආර්ථීකය සම්බන්ධයෙන් උද්ගත වන යම් යම් තත්ත්වයන් පිළිබඳව වැඩිහිටියන් කරන සංයමයෙන් යුතු සංවාදවලට දරුවන් සම්බන්ධ කර ගැනීම තුළින් කුඩා අවධියේ සිටම ඔවුන්ගේ ජීවිතයට වටිනා අත්දැකීම් එක් වේ. එම ආර්ථීක තත්ත්වය, වියදම් ඇති වූ ආකාරය, බිල්පත්, ණය වාරික මෙන්ම ඒ ඒ අවස්ථා වලදී පැන නඟින ගැටලු සහ ඒ වෙනුවෙන් වැඩිහිටි ඔබ යොදන විසඳුම පිළිබඳව ද ඔවුන් දැනුවත් වේ. මතු දිනෙක ඔවුන් තනිව ජීවත් වන විට මේ අත්දැකීම් ඔවුන්ගේ ජීවිත නිවැරදිව හැඩ ගස්සවා ගැනීමට විශාල සවියක් වනු ඇත.

ඇතැම් විට ඔබ මේ වන විට සිටින්නේ තරමක් දුෂ්කර ආර්ථීක මට්ටමක විය හැකියි. එසේ වුවද දරුවන් ඒ පිළිබඳව දැන සිටීමේ වරදක් නැත. නමුත් ඒ පිළිබඳව ඔවුන් බියපත් කිරීම නුසුදුසුය. ප්‍රශ්න තිබුණද ඔවුන්ගේ අවශ්‍යතා පෙර පරිදිම ඉටුවන බව ඔවුන්ට පවසන්න. කිසිදු විටෙක ඒ පිළිබඳව දරුවන්ගෙන් සමාව ඉල්ලීම සිදු නොකළ යුතුය. අවංකව ඔවුන් වෙත තත්ත්වය හෙළි කිරීම ඔවුන්ගේ පෞරුෂත්වය බලාත්මක කිරීමේ එක් පියවරක් බවත් වෙනස්කම්වලට හැඩගැසී ජීවත් වීමට ඔවුන්ව පුහුණු කිරීමක් බවත් සිහියට නගන්න.

- Advertisement -

පවුලේ ආර්ථීක තත්වය පිළිබඳ අග සිට මුලට දරුවන් දැනුවත් විය යුතු නොවුණ ද යොවුන් වියට එළැඹෙමින් සිටින දරුවන් අනිවාර්යෙන්ම ආර්ථීකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ. එසේම ඔවුන් වියදම් කිරීම පිළිබඳවත් ඔවුන් විශේෂයෙන්ම දැනුවත් විය යුතුමය. මේ වයස් සීමාවේ සිටින දරුවන් මව්පියන්ගේ පාලනයේ සිටින බැවින් ඔබ කෙරේ ඔවුන් තුළ ඇති විශ්වාසය වැඩි අතරම ඔබට ඇහුම්කන් දීමේ ප්‍රමාණයද ඉහළය. එසේම ඔවුන්ට හිමි වන අවස්ථාව පිළිබඳව ඉතා සතුටට පත්වන ඔවුන් හිමි වූ ඒ වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට උත්සාහ කරයි.

ජීවිතයේ සාර්ථකත්වය උදෙසා උපයන මුදල නිසි ලෙස කළමනාකරණය කළ යුතු බවත් මුදල් පරිහරණයේදී තිබිය යුතු සංයමය පිළිබඳවත් දරුවන්ට වටහා දිය යුතුය.

දුරකථන බිල්, විදුලි බිල් ආදයෙහි ගාස්තු සැකසෙන ආකාරය දරුවන් හා එක්ව ගණනය කරන්න

උදා :  විදුලි බිල සැකසෙන්නේ භාවිත කර ඇති ඒකක ගණන අනුව බවත් එය අඩු වැඩි වන ආකාරය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ යම් වගකීමක් නිවසේ වෙසෙන සැවොම සතු බව වටහා දෙන්න. විදුලි බිල අඩුකරගැනීමට දරුවන්ගේ ද උපරිම සහය ලැබුණහොත් යම් මුදලක් පවුලට ඉතිරි වන බව දරුවන්ට අවබෝධ කරදෙන්න.

නියමිත ණය වාරිකය, නියමිත දිනට නොගෙවන විට අමතර පොළියක් ගෙවීමට සිදුවන බව පෙන්වා දෙන්න

දරුවන් වෙනුවෙන් බැංක ගිණුම් විවෘත කරන්න. ඉතිරි කිරීම සඳහා දරුවන් පෙළඹවීමට ඔවුන්ට එහි වටිනාකම අවබෝධ කර දෙන්න. මුදල් තැන්පත් කිරීම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවන්න

වෙළදසැල්වලදී බඩුවල මිල ගණන් පරීක‍ෂා කිරීමට මෙන්ම අවශ්‍යතාවය සහ අවස්ථාව අනුව අත්‍යවශ්‍ය දේට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙමින් මිලදී ගන්නට ඔවුන් උනන්දු කරවන්න

මුදල් ගැටලූ පිළිබඳව මැසිවිලි නැගීමට හෝ කෑ මොරදීම දරුවන් ඉදිරියේ සිදුනොකරන්න

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article