දෙසවන් පුරා මුහුදේ අතොරක් නැති හඬ පමණක් රැවුදේ. ඈත සිට භයංකරව ප්‍රචංඩව ඇදී එන රළ පෙල වෙරළ ඉමට විත් සාන්ත දාන්ත ලෙසසුදු පෙණ කැටි ඉතිරි කොට නැවත ඇදී යයි. බැසයන හිරු රත් පැහැයෙන් දිදුලමින් සයුරු පතුලේ සැඟව යන්නාක් සේ අපව මුලා කරවයි. ජංගම දුරකථනය එක දිගටම නාද වන හෙයින් බැරිම තැන මා එය අතට ගත්තෙමි, හෝම් එහි තිරයේ සටහන් විය. ඇමතුම විසන්ධි කලද නැවත ඇමතුමකි.
“අනේ පුතේ…”
“අම්මා ඇයි මේ ?”
“තාත්තට හොඳට අමාරුයි මොනවත් කරන්න බැහැ ඉන්න ටික දවසේ සතුටින් තියන්න කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. පුතා ගෙදර එන්න තාත්තව බලන්න.”
“තාත්තව බලන්න මම ඇවිත් හරියන්නෙ නැහැනේ. අම්මා දන්නවනේ පුංචි කාලේ ඉඳලම තාත්තා මට කැමති නැහැනේ. මම ආවොත් තාත්තගෙ අසනීපේ වැඩි වෙයි.”
“නැහැ පුතේ ඔයා එනකල් තාත්තා බලන් ඉන්නේ, ”
“බලන්නම්”
“බලන්නම් නෙමේ කොහොම හරි එන්න පුතා”
හිඳ උන් තැන සිටම මම සිතිජ දෙස බැලුවෙමි. ඉර සැඟව ගොස් හමාරය. හාත්පසම අඳුර කෙමෙන් පැතිරී එයි. හිත පුරාම මහා හිස් බවක් පාළුවක් ගලා එයි. තාත්තා ඒකාධිපති පාලකයෙන් යැයි මා කුඩා කල සිටම විශ්වාස කලෙමි. ඒ ඔහුගේ ආඥාවන්ට එරෙහි වුවහොත් ඔහුගේ දැඩි දණ්ඩනයන්ට අපට යටත් වන්නට සිදු වූ හෙයින්ය. අයියාත් මමත් නංගීත් හැදී වැඩුනේ තාත්තාගේ මේ දැඩි පාලනයට යටත්වය. අයියාත් නංගීත් ඉගෙනුමට උපන් හපනුන් විය. එහෙත් මා ඉගෙනුමට එතරම්ම ආශාවක් නොදැක්වීම නිසාම නිරන්තරයෙන් තාත්තාගේ දැඩි දෝෂාරෝපණයටත් දණ්ඩණයන්ටත් ලක් වන්නට සිදු විය. තාත්තාගේ අණ පිළි පැදීම වෙනුවට ඒවා උල්ලඝණය කිරීමෙන් මා ලද්දේ සතුටකි. එනිසාම අයියාටත් නංගීටත් වඩා මම හිතුවක්කාරයෙක් ලෙසත් ඉගෙනගන්නට නොහැකි මෝඩයකු ලෙස තාත්තා මා ලේබල් කල නිසාවෙන්ම නිවසේ සාමාජිකයන් අතරින්ද මා හුදකලා විය. තාත්තාගේ කීකරු දරුවන් වූ අයියාටත් නංගීටත් ඔවුන් ඉල්ලන ඕනෑ දෙයක් ලැබුනද මට එවැනි වරප්‍රසාදයක් හිමිවුයේ නැත.
“පුතේ ඉස්කෝලෙ පාඩම් වැඩ හරියට කරන්නකො එතකොට තාත්තා පුතාට ආදරේ වේවි.”
මා කොතෙක්උත්සහ කලද පාඩම් වැඩ මට කිසිසේත් නොතේරෙන්නට විය. ගුරුවරුන් උගන්වන දෑ කිසිවක් මට තේරුම් ගැනීමේ හැකියාවක් නොමැතිවීම නිසා පාසලේද මා අදක්ෂ මෝඩ ළමයකු ලෙස කොන්වීමට තිබු ඉඩ ඇසීරී ගියේ මා සතුව තිබූ නර්තන හැකියාවත් චිත්‍ර ඇඳීමේ හැකියාවත් හේතුවෙන්ය.
“මේ යකා මහා මෝඩයෙක් පවුලටම අවනම්බුවක් ඇඟපග තිබුනට මොලේ කලඳක් නැහැ හැමදාම පන්තියේ අන්තිමයා කාලකණ්ණියා”
ජීවිතේ ගැන මට මහා අපුලක් දැනෙන්නට විය. නිවස යනු මහා සිර මැදිරියක් ලෙස මට හැඟුනි. සදහටම මේ සියලුම දේ වලින් පලා යන්නට මා සිත තුල වූ සිතුවිලි දළුලා වැඩෙන්නට විය. බොහෝ විට මගේ සිතුවිලි සුදු පාට කඩදහි මත සිත්තම් විය.
ඈතින් දිව එන කෝච්චිය වෙත දරුවකු දිව එයි. ඔහුගේ මුහුණෙහි නිදහස පිළිබඳ කියැවෙන සුන්දර මන්දහාසයක් ගැබ් වී ඇත. ඔහු පසු පසින් කුරුළු රෑනක් පියාඹා එයි.
“සෙනේෂ්”
“මහේෂ් සර්”
“මොකද්ද පුතේ ඔයා මේ ඇඳලා තියෙන්නේ”
“චිත්‍රයක්”
“ඔව් මම දන්නවා ඒත් මේකේ තේරුම”
ජීවිතේ මුල් වරට මගේ මනසට එබී බැලූ දයාබර මිනිසා අපේ චිත්‍ර ගුරුවරයා වූ මහේෂ් සර්ය. සිතේ තිබු සිතුවිලි මා ඔහු ඉදිරියේ ගලා යන්නට ඉඩ හැරියේ ඔහුගෙන් මා ලද ආදරයත් කරුණාවත් නිසාවෙන්මය. එවකට මට වයස අවුරුදු දහතුනක් පමණ විය. ජිවිතය තොරකරගැනීමේ අදහසින් මා මුදවා ගත්තේ ඔහුය. පසු දිනම මහේෂ් සර් අම්මාව පාසලට ගෙන්වා ගත්තාය. එදින රාත්‍රියේ අම්මාගේත් තාත්තාගේත් කතාවට මා රහසේම සවන් දුන්නේ සර් මා පිළිබඳ කවරක් පැවසුවාද යන්න දැනගැනීම සඳහාය.
“සෙනේෂ්ගේ චිත්‍ර සර් කිව්වා දරුවව මීට වඩා හොඳින් බලා ගන්න කියලා, මනෝ වෛද්‍ය වරයකුට පෙන්නුවොත් හොඳයි කිව්වා. ඉගෙන ගන්න බැරි වුණාට කලාත්මක පැත්තට පුතා බර නිසා ඒකට උදව් කරන්න කිව්වා”
“තමුසෙට පිස්සුද අපේ පරම්පරාවේ එවුන්ට ඔල්මාදේ නැහැ, මේකා මේ රඟන රැඟිල්ලට තමුසෙ අහුවුනාට මම අහුවෙන්නෙ නැහැ”
කෙසේ වුවත් මානසික සායනය වෙත අම්මා තාත්තාටත් රහසේම මා කැටුව ගියාය.
“සමහර දරුවන්ගේ මොළය වැඩෙන්නේ සෙමෙන් එතකොටඋගන්වන විෂය කරුණු ,ගණිතය වගේ සංකීර්ණ විෂයන් ධාරණය ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ දරුවන්ට තිබෙන සුවිශේෂී හැකියාවන් හඳුනා ගෙන ඒවා දියුණු කර ගෙන දරුවගේ අනාගතය සාර්ථක කර ගන්න අවශ්‍ය වට පිටාව සකස් කරලා දෙන්න ඕනී. මේ පුතාට හොඳට චිත්‍ර පුළුවන් නිසා ඒ පැත්තේන් එයාට සහයෝගය දෙන්න.”
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද චිත්‍ර විෂයට විශිෂ්ඨව සමත් වුවද අනෙක් විෂයන් සියල්ලම මා අසමත් විය.
“තාත්තා, මම චිත්‍ර ගැන වැඩිදුර ඉගෙන ගන්නම්, මාව ඒකට සුදුසු තැනකට දමන්නකො.”
“අවුරුදු එකළොහක් තිස්සේ අපේ සල්ලි කාලා, තවත් උඹට වියදම් කරන්න අපට සල්ලි නැහැ. දැන් උඹ කුලී වැඩක් හරි කරගෙන ජීවත් වෙයන්.”
ඒ තාත්තාගේ අවසන් තීරණය විය. ජීවිතේ සාර්ථක කරගන්නට නිවසින් අත් වැලක් නොවුන තැන මා මහේෂ් සර්ගේ සහයෝගයෙන් බත්තරමුල්ලේ ජන කලා කේන්ද්‍රයට සම්බන්ධ වුනෙමි. එදා නිවසින් පිටමං වූ මා ජීවිතය අලුතින් පිළිසකර කරගතිමි. අද මා රටක් හඳුනන චිත්‍රි ශිල්පියෙකි.
එදා තාත්තා මා නිවසින් පිටමං කල දා සිටම ඒ නිවස මට ආගන්තුක නිවසක් විය. ඉඳහිට අම්මා බලන්නට ගියද ඒ නිවසේ කිසිවෙකුත් මගේ යැයි මට නොහැඟෙන්නට විය. අයියා උසස් අධ්‍යාපනයට විදෙස් ගත විය. ඔහු එහිම රැකියාවක් කරමින් නතර වීය. අක්කා ද පෞද්ගලික බැංකුවක කළමණාකාරිනියක් විය. ජීවිතය විටෙක පාළුවෙන් ඇලලී යයි. මගේ ළමා කාලයට මම මටත් නොදැනීම වෛර කරන්නට විය.
“සෙනේෂ් ලෝක ළමා දිනයට මට චිත්‍රයක් ඇඳලා ඕනි”
“මොකක්ද තේමාව”
“මෙන්න මේකයි, දෙමාපියන් හිතන්නේ දරුවන්ව එයාලා හදන නිසා දරුවන් තමන්ගේ කීමටම අවනත වෙලා ඉන්න ඕනි කියලා. දරුවන් වශයෙන් එයාලටත් අයිතිවාසිකම් තියෙන බව දෙමාපියෝ අමතක කරනවා. අන්න ඒක නිසා ළමා අයිතිවාසිකම් ගැන කියවෙන චිත්‍රයක් තමයි ඕනී ”
විශ්ව කියවන්නේ ළමා අයිතිවාසිකම් ගැනය.ඒත් ඔය කියන ළමා අයිතිවාසිකම් පිළිබඳව මා දන්නේ නැත.
“මචං මේ තියෙන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳව ලියවුන පොතක් උඹට චිත්‍ර අඳින්න අයිඩියා එකක් මේකෙන් ගන්න පුළුවන්”
“මා පොත පෙරලා බැලුවෙමි”.
සෑම දරුවෙකුටම තියෙන අයිතිවාසිකම්
- තමන්ගේම කියලා නමක් ලබාගන්න
- රටක ජාතිකත්‍වයක් ලබාගන්න
- ගැහැනු, පිරිමි, සුදු, කළු, උගත්, නූගත්, දුප්පත්, පොහොසත්, ආගම් ආදී වූ කිසිම බේදයක් නැතිව සමාන ලෙස සැලකීම් ලබාගන්න
- තමන්ගේ ජීවිතයට බලපාන වැදගත් කාරණා කටයුතු වලදී යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්න දරුවන්ගේ අදහස් වලට වැඩිහිටියන්ගේ සැලකිල්ල ලබාගන්න
- අම්මා තාත්තා දෙන්නාම එක්ක එකට ජීවත් වෙන්න
- අම්මා, තාත්තා දෙන්නාගේම ආදරය, කරුණාව, ආරක්‍ෂාව ලබාගන්න
- පහරදීම් වලින්, අතවර වලින් ආරක්‍ෂා වන්න
- ශ්‍රමය සූරාකෑමෙන් ආරක්‍ෂාවෙන්න
- බයක් නැතුව ජීවත් වෙන්න
- දරුවා හිතන අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලබාගන්න
- පෙර පාසලකට, පාසලකට ගිහින් ඉගෙන ගන්න
- ලෙඩක්, දුකක් වුණාම උදවු උපකාර ලබාගන්න
- හොඳ ජීවිතයක් ගත කරන්න
- ආබාධයකින් පෙළෙනවා නම් අමතර උදවු ලබාගන්න
- දරුවාට හානියක් වෙන්නේ නැති තොරතුරු පුවත්පත්, ප්‍රකාශන, ගුවන් විදුලිය සහ රූපවාහිනියෙන් ලබාගන්න
යන අයිතිවාසිකම් භුක්ති විඳින්නට හැම දරුවකුටම අයිතියක් තියෙන බව අම්මලා, තාත්තලා හොඳින් මතක තියාගන්න ඕන.
එම පොතෙහි 51 වැනි පිටුවෙහි සඳහන් විය.
දරුවන්ගේ අයිතිවාසිකම් නිසියාකාරව දරුවන්ට ලබාදීමේ තේමාව තවදුරටත් පුළුල් කරන්නට දෙමාපියන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය. ඒ පණිවිඩය සමාජය වෙත ගෙන යන්නට මගේ සිතුවම් තුලින් හැකිවනු ඇත. එවිට මා වන් අසරණ දරුවන් බිහි නොවනු ඇත. සත්තකින්ම මගේ ළමා වියෙහි අයිතිවාසිකම් පිළිබඳ මගේ දෙමාපියන් සිතුවා නම් අද මා සිතින් මෙතරම්ම හුදකලා පුද්ගලයකු නොවනු ඇතැයි එදා මට සිතුනි.
අඳුර ගිලගත් පරිසරය තුල මහා ගුප්ත බවක් ඇලලී ඇත. මුහුදේ හෝ හඬ පරයා ජංගම දුරකථනය නැවත නාද වුයේ මගේ අතීත ආවර්ජනයට බාධා කරමින්ය.
“මල්ලි තාත්තයි ,අපියි ඔයා එනකල් බලා ඉන්නවා”
තාත්තාට වැරදි හදා ගන්නට කාලයක් ඉතිරිව නැත. එහෙත් මම මගේ ජීවිතයේ පසුතැවිලි වන්නට කිසිවක් නොකරන්නට මා වගබලා ගත යුතුය. වැරදි වන්නේ මිනිස්සු අතින්ය. අවසානයේ තාත්තා බලන්නට මා හිත හදාගත්තෙමි.