දරුවාට දැනෙන්න ආදරේ කරන්න

parent's_love

අම්මා තාත්තාගේ සම්මාදමෙන් දරුවෙක් ලෝකයට බිහිවෙන බව ඇත්ත.අම්මා තාත්තාගේ වගකීම විය යුත්තේ මේ දරුවා ලෝකයට අවශ්‍ය දරුවෙක් ලෙසින් දායාද කිරීමයි. අද බොහෝ මව්පියන් හිතන්නේ දරුවා අපිට අවශ්‍ය විදිහට බාල කාලයේ පටන්ම මෙල්ල කර ගත යුතු බවයි. ඒ නිසාම දෙමව්පියන් ඔවුන් සහ දරුවන් අතර බොහෝ දුරස්ථ බවක් ගොඩ නගා ගන්නවා.

ඒත් අද මනෝ විද්‍යාඥයන් කියා සිටින්නේ දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතු බවයි.බාල කාලයේදී දරුවාට පිරිමැහෙන විදිහට ආදරය නොලැබුන විට ඇති වෙන මානසික හුදෙකලාව අනාගතයේදී ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් බලපානු ඇත. මේ ගැන බොහෝ අයගේ බාල කාලයේදී ඔවුන් ලද අත්දැකීම් ඇසුරෙන්ම පෙනී යනු ඇත.

උදාහරණයක් වශයෙන් ලෝක ප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගැන ඔබ දන්නවා ඇත.ඔහුගේ බාල කාලය ඇත්තටම සුන්දර නැත. තාත්තා ඔහුට ආදරයක් දැක්වූයේම නැත දෙමව්පියන් අනවශ්‍ය විදිහට දරුවාට සමීප විය යුතු නැත යන්න ඔහුගේ න්‍යාය විය. රාත්‍රි නින්දට පෙරාතුව ජනේල වැසීම පියා විසින් කුඩා ජැක්සන්ට පවර තිබුන කටයුත්තකි. දිනක් ඔහුට මෙය අමතක විය පියා රාත්‍රියේ වෙස් මුහුණක් පැළඳ ගෙන විත් කුඩා ජැක්සන් බියට පත් කළේය. මේ නිසා ඔහුගේ ලපටි සිත මොනතරම් පසුගාමී වුනාද කිවහොත් නිතරම ඔහු සිතුවේ තාත්තා තමාව ජනේලයෙන් පිටතට විසි කරයි යන බියයි.

2003 පෙබරවාරි මාසයේදී ” ලිවින් විත් මයිකල් ජැක්සන්  ” රූපවාහිනී වැඩසටහනේදී සිය ළමා කාලය ආවර්ජනය කර ගත නොහැකිව දෑතින් මුහුණ වසා ගෙන හඬන්නට විය. ඔහුගේ ළමා කාලය ඒ තරමටම ශෝචනීය විය.2001 වසරේ මාර්තු මාසයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී ඔහු විසින් සිදු කරන ලද දේශනයේදී ලෝකයටම කියා සිටියේ ළමා වියේදී දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය ලබා දෙන ලෙසයි. ඒ තරමටම ආදරය වෙනුවෙන් හිස් තැනක් ඔහුගේ ජීවිතයේ විය.

දරුවන්ට ආදරය කරන්න වෙලාවක් කලාවක් අවශ්‍ය නැත මිළ මුදල් වැය වන්නේද නැත අවශ්‍ය වන්නේ දරුවන් සමග වූ හෘදයංගම බැඳීම පමණි. අද හැම පවුලක්ම පවුල තුලම විතැන්ව ඇත. අම්මාට කාර්ය බහුලය. දරුවන් අධ්‍යාපන තරඟයකය. තාත්තා මිළ මුදල් උපයන භුමිකාවේය. ඒ නිසා දරුවන් යමක් විමසා සිටියද එයට ඇහුම්කන් දෙන්නේද නැත. අම්මා තාත්තා සිතන්නේ කන්න දෙනවා නම්…බොන්න දෙනවා නම්….ආරක්ෂාව හා රැකවරණය ඇත්නම් දරුවන්ට තව දිය යුත්තේ මොනවාද යන්නයි. මේ සියල්ල දරුවාට ලැබෙන බව ඇත්තය. ඒත් ඔහුගේ හිතේ හිස් තැනක් ඇත..

මනෝ විද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව දරුවාට ආදරය කළ යුත්තේ ඔහු ගැබ් දරණ කාලයේ පටන්මය. මව් සෙනෙහස ඒ තරමටම දරුවාට දැනීම අවශ්‍ය වේ.ආදරය දැනෙන විට දරුවා බෙහෙවින් ශක්තිමත් වේ. මටත් ආදරය ලැබෙනවා…මා වෙනුවෙන් රැකවරණය සහතිකය යන ආත්ම විශ්වාසය දරුවාගේ හිතේ ගොඩ නැගෙනු ඇත.

දෙමව්පියන් කාර්ය බහුලබව සැබෑය. මේ කාර්ය බහුලත්වය ගොඩ නැගෙන්නේද දරුවන්ගේ අනාගතය සැපවත් කිරීම මුල් කර ගත් අරමුණ නිසාය. ඒත් මේ ගැඹුරු සංකල්ප හඳුනා ගැනීමට කරම් දරුවා පරිණත නැත ඔහු ලෝකය දෙස බලන්නේ අද දවස මුල් කර ගෙනය. හෙට යනු ඔහුට දෙවැනි සංකල්පයකි. නූපන් හෙට මුල් කර ගෙන දරුවා ශක්තිමත් වන්නේ ආදරය ගැන ලබන සෑහීම මතය.

දරුවන් සමග කතා බහට ඔබ කෙසේ හෝ කාලය ලබා ගන්න. ඇතැම් නිවෙස්වල දරුවා මව්පියන් නොදකින තරමටම ඔවුන් අතර සම්බන්ධය දුරස්ය. දෙමව්පියන් රෑ බෝ වී නිවසට එන විට දරුවා නින්දේය. පසුදා දරුවා උදේ රැයින් පාසල් යන විට තාත්තා නින්දේය. ආර්ථික ලෙසින් සියලු සැප සම්පත් ලබා දුන්නද , ආදරය වැනි හෘදංයගම බන්ධනයෙන් දුරස්ථව සිටින දරුවාගේ හිතේ ඇති වෙන කම්පනය නිසා ඔවුන් මානසිකව හුදෙකලා චරිත බවට පත් වෙති.

ඔබ කෙසේ හෝ දරුවා සමග කතා බහට කාලය ලබා ගන්න. දවසේ අත්දැකීම් හුවමාරු කර ගන්න. නින්දට යෑමට පෙර දරුවා සිප සනසන්න. සිපගැනීම නිසා දරුවාට ඇති වෙන මව්පිය සෙනහස පිලිබඳ සහතිකය හදවතට වඩාත් සුව දෙන ඔසුවක් වෙනු ඇත. අම්මා තාත්තාගේ ආදරය මුල් කර ගත් සහතිකය දරුවාට දැනෙන්නේ එවිටය.

බාලකාලයේදී නිසි ආදරය නොලද විට පසුකාලීනව ඔවුන් සමාජය තුළ කරදරකාරී චරිත බවට පත් වෙනු ඇත.ළමා ලෝකයේ අසුන්දර අත්දැකීම් නිසා පීඩාවට පත් ඉඩි අමීන් ලෝකය තුළ දරුණු පාලකයෙක් බවට පත් වූවෙකි.ඇතැම් මව්පියන් බාල කාලයේ දරුව්නට ආදරයක් නොදක්වන විට ඔවුන් උස්මහත් වූ පසුව දෙමව්පියන් මුල් කර ගෙනත් ආදර බන්ධනයක් ඇති වන්නේ නැත. එදා අම්මා දරුවන් ආමන්ත්‍රනය කලේ  ” මයෙ පුතා ” ” මයේ දුව ” යන ආදරනීය අන්දමින්ය. දරුවන්ද දෙමව්පියන් ආමන්ත්‍රණය කළේ ” මයෙ අප්පච්චි”, ‘ මයෙ අම්මා ” ලෙසින්ය. එය ඔවුන්ගේ හදවතෙන්ම නැගුන ප්‍රේමණීය බන්ධනයකි. එහෙත් අද දරුවන්ට ”මයෙ ” යනුවෙන් වූ වචන බන්ධනය තබා දුව , පුතා ලෙසින්වත් කතා බහට සම්බන්ධ කර  ගන්නා පවුල් සම්බන්ධතාවයන් නැත.

දරුවන් ආදරයට බොහෝ සෙයින් ආදරය කරති. එය දරුවන්ට පමණක් නොව සෑම සමාජ ජීවියෙකුටම සාධාරණය. දරුවන්ගේ ලපටි සිතට ආදරය වැඩුන අයෙකුට වඩා අවශ්‍ය වේ. දරුවන්ට ආදරය පෙන්නන්න හොඳ නැහැ. ඔබත් එහෙම සිතනවාද? එහෙත් ඒ සිතුවිල්ලෙන් දැන් මිදෙන්නට කාලය එළැඹ ඇත. දරුවන් වෙනුවෙන් වූ ආදරයට සීමා අවශ්‍ය නැත …කොන්දේසි ඕනෑම නැත. ආහාර පාන මගින් දරුවා ශාරිරිකව පෝෂනය ලබන අතර මානසිකව ඔහු පෝෂණය වන්නේ මව්පිය ආදරයෙන් ලබන ශක්තියෙන්ය.

ආදරයේ අවශ්‍යතාවය ඔබ මුල් කර ගෙන හිතන්න. කොතරම් වියපත් වුනත් ඔබ ආදරයට ආදරය කරනු ඇත. දරුවන්ද එසේය.ඔවුන්ගේ එකම ශක්තිය ඔබෙන් ලැබෙන ආදරයයි.මේ නිසා දරුවාට දැනෙන්න ආදරය කිරීමේ කිසිම වරදක් නැත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here