දරුවන්ට ටෝස්ට් කළ පාන් වෙනු‍වට වෙනත් විදිහක් හිතන්න

kid_having_unhealthy_foods

පාසල් යන වයසේ පසුවෙන දරුවන් වෙනුවෙන් ටෝස්ට් කරන ලද පාන් පෙති ලබා දෙන්න අම්මලා උනන්දු වෙන්නේ නිකම්ම නොවෙයි. එක් පැත්තකින් දරුවන්ගේ කැමැත්ත…තවත් පැත්තකින් පාන් වෙනුවෙන් වූ පිරවුම පිළිලෙකට අපහසුවක් නැතුව  රැක ගන්න පුළුවනි. මේ හේතුන් නිසා ටෝස්ට් කරන ලද පාන් වෙනුවෙන් අම්මලාගේ තිබෙන උනන්දුව සාධාරණ වුනත් දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් බලද්දී නම් සතුටුදායක තත්වයක් ඇති වෙන්නේ නැහැ.

පමණට වඩා ටෝස්ට් කරන ලද පාන් විතරක් නොවෙයි, පමණ ඉක්මවා බදින ලද අල පෙති වුනත් නිරන්තරව ආහාරයට ගැනීම පිළිකාවට මගක් බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් රතු එලියක් දල්වා තිබෙනවා. මේ ගැන අධ්‍යනයක් පවත්වන ලද බ්‍රිතාන්‍ය රජයේ ආහාර තත්ව පාලන ආයතනය කියා සිටින්නේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක රත් කරන විට වගේම බැදීම සහ පිලිස්සීම නිසා සිරුරට හානිකර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනය සංයෝගය නිෂ්පාදනය වීමේ අවදානම ඉතා ඉහලින්ම ඇති වෙන බවයි. ඒත් ඔබ බිය විය යුතු නැහැ. මේ තත්වයට වඩාත් හේතු වන්නේ පාන් හෝ අල පෙති පමණට වඩා කර කිරීමෙන් බවත් ඔවුන් සඳහන් කරනවා. මේ නිසා මහාචාර්ය ”ගයි පොපි “සඳහන් කරන්නේ අනවශ්‍ය විදිහට ආහාර කර කිරීම වෙනුවට සාමාන්‍ය තත්වයකින් පිස ගැනීම ඊට ආරක්ෂාව සපයන බවයි.

දරුවන් වෙනුවෙන් පාන් පිරවුමේ ඉහිරීම් වලක්වා ගැනීමට නම් පාන් පෙත්තට බටර් හෝ මාගරින් තවරන්න. එවිටත් පිරවුම හොඳින් පාන් පෙත්තට සවි වී තිබෙනු ඇත. මෙම බටර් සමග සැමන්, මාලු බිත්තර හෝ ගා ගත් කැරට්, බීට් වැනි එළවලුවක්ද ඔබට එක් කළ හැකියි. පාන් පෙති අතර සලාද කොළ, කැරට් හෝ බීට් වැනි එළවළු යොදා ගත් විට ඇති වෙන වර්ණවත් පව දරුවාගේ ආහාර රැචිය එක් පැත්තකින්ද, විවිධ පෝෂණ ප්‍රභවයන් තවත් අන්දමකින්ද ඉතාම පහසුවෙන් ලැබෙනු ඇත.ටෝස්ට කරන ලද පාන් අද සාමාන්‍ය තත්වයක් වුනත් එදා දරුවන් වෙනුවෙන් පාසලට එවන ලද පාන් පෙති අතරට බොහෝ විට ඇතුලත් වුනේ පොල් සම්බෝල, සීනි සම්බෝල වැනි දෑය. දරුවන් ඉතා රුචියෙන් පාන් ආහාරයට ගත් අතර උණක් හෝ අජීර්නයක් ඇති අවස්ථාවන්හි ලබා දුන්නේ කබලේ දමා කර කර ගත් පාන්ය. සිරුරට හිතකරය යන සහතිකයත් ඒ අතර විය.

අර්තාපල් තීරු වුනත් ශීතකරනයේ ගබඩා කර ගැනීම වෙනුවට අවශ්‍ය වේලාවට අල ගෙඩියක් තම්බා ගන්න පුලුවන්. එහෙම නැත්නම් සිහින් අල තීරු කපා ගෙන ටික වේලාවක් අයිස් වතුරේ දමා ගෙන බැද ගැනීම විස්කමක් නොවෙයි. බොහෝ දේ අපි අනුකරණය නිසාම නොමග යනවා. අල්ලපු ගෙදර කරනවා නම් අපිත් දරුවන්ට ඒ විදිහට අල පෙති දෙනවා. ඒත් ඔබට ශීතකරණයේ දමා ගෙන අල පෙති බදින්න අවශ්‍ය නැහැ. ඒ වේලාවට අල තීරු බැදගන්න බැරි කමක් නැති වුනත් අනිත් අය සුපිරි වෙළඳසැලෙන් අර්තපල් පෙති මිලට ගන්නවා නම් අපිත් ඒ විදිහටම ගන්න ඕන යන අදහස ගොඩ නැගෙන එකයි.

මෙම අධ්‍යනය වෙනුවෙන්  සතුන් සම්බන්ධ කර ගත් අතර කර කරන ලද ආහාර ලබා දුන් සතුන්ගේ පිලිකාවන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහලින් පැවැති බව මෙම අධ්‍යනයේදී පෙනී ගියා. එම හේතුව අනුව මහාචාර්ය පොපී සඳහන් කරන්නේ මිනිසුන් වෙනුවෙන්ද මෙම අවදානමේ වෙනසක් නොවන බවයි.

ඒ විතරක් නොවෙයි, පොඩි දරුවන් අලපෙති වෙනුවෙන් රුචිකත්වයක් දක්වන නිසාම දෙමව්පියන් මෙම අල පෙති ශීතකරනයේ තබා ගෙන අවශ්‍ය වෙලාවට දරුවන්ට බැදල දෙනවා. ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා. අර්තපල් ශීතකරනයේ ගබඩා කරන විට පවතින අඩු උෂ්ණත්වය නිසා සීනි මට්ටම ඉහළ යනවා. එමෙන්ම එවන් ආහාර පිසින විට ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනයත් ඉහළ නගින බැව් මෙම අධ්‍යනය මගින් පෙනී ගියා.

කර්යබහුල ලෝකයේ අපි අනුකරනයන්ට දක්වන උනන්දුව බොහොම ඉහලයි. නිතර දෙවේලේ අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්කම තිබුනත්, මාලු , එළවලු සහ පළතුරු වලින් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් සකස් කර දෙන්න කිසිම අපහසුවක් නොවුනත් අපේ පුතා , දුව ඉල්ලන්නේ සොසේජස්, හැම් ….කියන උජාරුවෙන් කතා කරන දෙමව්පියන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන මේ පණිවිඩය බොහොම වැදගත් වෙන්න පුලුවන්. එහිදිී පෙන්වා දෙන්නේ  සැකසුම් හෙවත් කල් තබා ගත හැකි ලෙසින් සකස් කරන ලද බේකන් , සොසේජස් වැනි ආහාර පිලිකා කාරක බව පමණක් නොව සකස් කළ මස් ග්‍රෑම් පණහක් දිනකට ආහාරයට ගැනීම නිසා පිලිකා වැළඳීමට තිබෙන අවදානම 18 % කින් ඉහළ යන බවයි.

මෙහිදි දරුවන්ට මස් ලබා දිය යුතු නැතැයි යන අවවාදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් අවධාරනයෙන් පෙන්වා දෙන්නේ සකස් කරන ලද මස් පිලිබඳවයි. මස් ආහාරයට නොගත යුතු යැයි වූ පණිවිඩයක් මෙයින් ඉදිරිපත් වෙන්නේ නැහැ. මස් ආහාරයට ගැනීම පිලිබඳ ගුණ ඉදිරිපත් කරන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සකස් කළ මස් යන කොටස පමණයි. එයිනුත් සකස් කරන ලද මස් අගුණය යන පණිවිඩය පමණයි.

රතු පැහැති මස් දරුවන් වෙනුවෙන් ආහාරයට ලබා දීම අවම කිරීමට මව්පියන්ට හැකියාවක් ලැබෙනවා නම් වඩාත් හොඳයි. මෙම සකස්කරන ලද මස් වෙනුවෙන් කල් තබා ගැනීමට විවිධ රස කාරකයන් එකතු කරනවා. ඒ වගේම අධික තාපයක් යටතේ මෙම සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන විට ප්ලුටෝනියම් පිලිකා කාරකය ඇති කිරීමට සමාන ක්‍රියාවලියක් ගොඩ නැගෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මෙම අධ්‍යනයේ ඉදිරි කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිලිකා රෝග පර්යේෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට භාර දී තිබෙනවා.

දරුවන්ගේ ආහාර වෙනුවෙන් බොහොම පරිස්සම් විය යුත්තේ අනවශ්‍ය විදිහට අගුණ ආහාර ලබා දීම නිසා අනාගතයේදී ඔවුන් විවිධාකාර රෝගාබාධයන්ට ‍ගොදුරු වීමට තිබෙන අවදානම ගැන මව්පියන්ටත් වගකීමක් තිබෙන නිසයි. අද හැම දෙනාම බලන්නේ පහසුව මිසක ආහාරයේ ගුණාත්මක බව ගැන නොවෙයි. ඒ අතරම ආහාරයක ගුණ අගුණ ගැන වැඩියන්ටත් දැනුවත් බවක් නැහැ. විද්යුත් මාධ්‍ය මගින් ලබා දෙනප්‍රචාරණය මිසක එයින් ඔබ්බට හිතන්නටවත් යොමු වීමක් නැහැ. ඒත් දරුවන් සිටින අම්මෙක් විදිහට ඔබ දරුවාගේ ආහාර ගුනාගුණ ගැනත් වැඩියෙන් කරුණු කාරනාවන් දැන ගැනීම ඉතාම වැදගත්.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here