- Advertisement -

කාර්යබහුල මව්වරුනි, මේ ඔබටයි

-

අද අපි ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල වටපිටාවක. දරුවන් රැක බලා ගැනීම අද බරපතල ප්‍රශ්නයක් වෙලා. ඇතමෙක් තම ආදරණීයයන්ගේ සහාය ලබාගන්නවා. තවත් අයෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සෙවණ සොයනවා. තවත් අයෙක් සේවක සේවිකාවන්ගේ උදව් පතනවා. මේ කොහොම කලත් ඔබේ සැලකිල්ල යොමු විය යුතු කරුණු කීපයක් මෙහි දක්වනවා.

අද මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නේ වැඩිපුරම මධ්‍යම පාන්තික මව්වරුන්. එයාලට හිතේ හැටියට වියදම් කරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒත් අපේක‍ෂා ගොඩයි. ඒ නිසා බොහෝ මව්වරු රැකියාවක් කරනවා. මේ නිසා ප්‍රශ්නය තවත් බරැරුම්. ධනපති පන්තියේ අයට ආර්ථීක ප්‍රශ්න නැහැ. සේවක සේවිකාවන් තබාගෙන දරුවන්ගේ වැඩ කටයුතු කරනවා. කම්කරු පන්තියේ අපේක‍ෂා ගොඩක් නැහැ. දරුවන් අරගෙනම මව රැකියාවට යනවා. අමාරුවෙන් හැමදේම කරගන්නවා.

- Advertisement -

අතීතයේ තිබි විස්කෘත පවුල අද නැහැ. ඒ පවුලේ මවත් පියාත් දරුවනුත් සමග තවත් ආදරණීයයන් රැසක් හෝ කීපදෙනෙක් හිටියා. ආච්චි, සීයා, නැන්දා, මාමා, ලොකු තාත්තා, පුංචි අම්මා ආදීන්ගෙන් කවුරුන් හෝ ඉතාමත් ආසන්නයේ හිටියා. දරුවන්ගේ වගකීම මොහොතකට හෝ පවරන්න ඔවුන්ට ආදරය දෙන්න කවුරුන් හෝ හිටියා. ඒත් අද තියෙන්නනේ සංවෘත පවුල්. මවත් පියාත් දරුවනුත් හුදකලා වෙලා. රැකවරණයක් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මව්වරු පියවරු හරිම අසරණ වෙලා.

අතීතයේ ගෘහ සේවිකාවන් හිටියත් එයාලා පවුලට හරිම ලෙන්ගතුයි. පවුලේ සාමාජිකාවක් වගේ දරුවන්ට ආදරය කරනවා. රැකබලා ගන්නවා. ඒත් අද ඉන්න අය රොබෝවරු වගේ. ආවා, වැඩ කොටස කළා, වැටුප ගත්තා ගියා. එයාලගේ කිසිම සමීප බවක් නැහැ.

එහෙත් රැකියාවකට යන මවකට එහෙමත් නැත්නම් ගෙදර සිට රැකියාවක් කරන මවකට දරුවන් රැක බලා ගැනීමේදී කාගේ හෝ සහායක් අවශ්‍ය වෙනවා. තමන්ගේ අම්මා, තාත්තා නැත්නම් සමීප ඥාතියෙක් තබාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම ඉන්න ඇතැම් මව්වරු කියනවා මම අහලා තියෙනවා අම්ම ළඟ දාලා ආවේ. අම්මා ඉතින් මට වඩා හොඳට බලාගන්නවා. තාත්තා මට වඩා හොඳට බලාගන්නවා. මේ වගේ දරුවෝ ඇස් දෙක වගේ බලාගන්න ඒ අදාරණීයයන් ගැන ඔබත් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන් ඔවුන්ට ආදරය දැක්වීම අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. ඔවුන්ට ඔබේ දරුවාගේ භාරකාරත්වය දෙන්න. ඔවුන් සමීප කරගන්න. ඔවුන් කරන්නේ විශාල කැප කිරීමක් බව සිතන්න.

ඔවුන්ගේ ආදරය ඔබේ දරුවාට මානසික ශක්තියක්. කාර්යබහුල ඔඛෙන් ඉටු නොවෙන කාරණා බොහෝ දේ ඔවුන්ගෙන් කෙරෙනවා. කතාන්දර කියා දෙනවා. චිත්‍ර අන්දනවා. හොඳ නරක කියා දෙනවා. සෙල්ලම් බතක් උයනවා. ඒ නිසා ඔබේ දරුවාට ඒ රැකවරණය ඉතාමත්ම වටිනවා.

ඇතැම් ගෘහ සේවිකාවන් ඉන්නවා දරුවන්ට හරිම ලෙන්ගතුයි. දරුවොත් ඒ අයට ලෙන්ගතුයි. මා දන්නා සමහර දරුවෝ ඉන්නවා ගෘහ සේවිකාව ගෙදර යනකොට එයාට දණගහලා වඳිනවා. මේවා ගැන උරණ වෙන දෙමව්පියොත් ඉන්නවා. අපි කොතරම් දේ දුන්නත් දරුවා සේවිකාව පස්සෙමයි කියලා මැසිවිලි නඟනවා. එහෙම හිතන්න එපා. භෞතික සම්පත්වලට වඩා දරුවන්ට දැනෙන්න ආදරය දෙන්න ඕන.

ඒත් ඔබ, අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනවා. දරුවාගේ රැකවරණය බාරදෙන අය ගැන හොඳ තක්සේරුවක් ඔබ තුළ තියෙන්න ඕන. අපට සමහරවිට අහන්න ලැඛෙනවා ගෙදර මිදුලේ වතුර බේසමේ වැඩිලා කුඩා දරුවකු ජීවිතයට සමුදෙන ආකාරය ගැන, හොඳ රැකවරණයක් දරුවාට ලැඛෙනවාද කියන එක ඔබ තහවුරු කරගන්න ඕන. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගැන වුවත් ඔබ දෙවරක් සිතන්න ඕන. දරුවෙකුගේ ස්වභාවය නිතරම අවදානම් දේ කෙරෙහි යොමු වීම. ඒ නිසා විශේෂයෙන්ම රැකවරණය ලැඛෙනවාදැයි ඔබ තෘප්තිමත් වෙන්න ඕන. ඒ වගේම දවසෙම රූපවාහිනිය ඉදිරියේ දරුවා තබාගන්නවාද, දරුවාට හොඳ නරක පෙන්නලා දෙනවාද නැද්ද ඒ ඔබේ අවධානය යොමු විය යුතු තැන්. කෑම බීම නිසි වේලාවට දරුවාට ලැඛෙනවාද සොයා බැලිය යුතුයි.

ඔබට වැටහෙනවා ඇති දරුවකු රැකබලා ගැනීමේ සෑම පියවරකම ඔබ සෙවනැල්ලක් සේ සිටිය යුතු බව. මුළු හිතින්ම දරුවා පැවරිය හැක්කේ කෙබඳු  අයෙකුටදැයි ඔබට වැටහෙනවා ඇති. කාර්යබහුල ජීවන රටාවක ඔබේ කටයුතු පහසු කරගත්තාට ඒ වගේම දරුවා තෘප්තිමත්ව තබන්නට බුද්ධිමත් ගුණවත් ඥාතියකුගේ හෝ සේවිකාවකගේ සහාය ලබාගැනීම ඔබේ මනසත් සහනයක් වනු නොඅනුමානය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article