දරුවන්ට දේශාභිමානය දැනෙන්න නම්

Srilankan_flag

වැදූ මවත් , උපන් බිමත් අමතක කරන තැනැත්තෙකුගේ ජීවිතයේ පැවැත්ම ඉතාම අවදානම් බවට එදා අම්මා තාත්තා දරුවන්ට කියා දුන්හ. එහෙත් අද දෙමව්පියන් දරුවන්ට හය හතර තේරෙන කාලයේ පටන් කියා දෙන්නේ එතෙර රටක ජීවත්වීමේ සිහිනයයි.ලොකු වුනාම පිටරටක ගිහිං ජීවත්වෙන්න ඕන…මේ රට යන අතට මෙහෙ ඉඳලා පලක් නැහැ. අම්මලා එසේ කියද්දී පුද්ගලික පංතිවලත් දරුවන්ට කියා දෙන්නේ සියලු සැප ඇත්තේ මුහුදෙන් එතෙර බවයි. ඇත්තටම අපි ළිං මැඩියන් සේ ජීවත්විය යුතු නැත. එහෙත් අපේ මුල් අපේ රටේ තිබීම අවශ්‍ය වේ. පිටරටක ගොස් ලෝකය ගැන දැක බලා ගෙන අත්දැකීම් උපයා ගැනීම කිසිසේත්ම වරදක් නැත. එහෙත් උපන් රට නොවටීය යන සංකල්පයෙන් වෙනත් රටක සැප විහරණ සෙවීම නම් අනුමත කළ නොහැක.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී දැන් වසර හැට නවයක් ගෙවී ඇත. අද අපි පුංචි ගම්මානයක ජීවත්වෙන බව සැබෑය. ඒත් හැට වසරකට එපිට අපිට පැවැති හර වටිනාකම් ගැන නම් කිසිසේත්ම සෑහීමට පත් විය නොහැක. එදා අම්මා තාත්තා වයස්ගත වුනත් ඔවුන් සිටියේ තරු පිරිවර ලෙසින් දරු මුණුපුරන් පිරිවරාගෙනය. අද දරුවන් උස් මහත් වුන තැන පටන් විදෙස්ගත වීමේ සිහිනයෙන් පෙලෙන අතර මහ ගෙදර සීමා වෙන්නේ දුබල මව්පියන් පමණි. ඔවුන් අතරින්ද අම්මා හෝ තාත්තා මියගිය විට ඉතිරිවෙන තැනැත්තා හව්හරණ වෙනුවෙන් වැඩිහිටි නිවාසයක නේවාසිකත්වය ලබනු ඇත.

එසේ නම් අපේ රටට ආදරය කරන දරුවන් පරම්පරාවක් අනාගතය වෙනුවෙන් දායාද කරන්නේ කෙසේද…? මේ ගැන මව් දෙමව්පියන්ගේද අවධානය යොමු වීම අවශ්‍යයෙන්ම සිදු විය යුතුය.අපේ අතීත උරුමයන් ගැන ඔවුන්ට කියා දීම අවශ්‍ය වේ. එදා දෙමව්පියන් මේ වෙනුවෙන් කවි ගීත ඉතා සමීපව උපයෝගී කර ගත්හ.

“කැප්පෙටිපොල සෙනෙවිසුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මහරූ….” 
(එස්.මහින්ද හිමි)

මේ අන්දමින්  අපේ විරුවන් පිලිබඳව දරුවන්ට ලබා දෙන දැණුවත් බව නිසා අපිටත් ආඩම්බර ඉතිහාසයක් ඇත යන සංකල්පයෙන් ඔහුගේ සිතට අභිමානවත් හැඟීම හදවතට එන්නත් කළ යුතුය. එදා දරුවන්ට ලබා දුන් අවවාදය වුනේ

” අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
සිඟා කෑම බැරි වුන දා ගයා ලගී මර ගී ” 

නමුත් අද අලුත් දෙයක් නිපදවීම වෙනුවෙන් දරුවන්ට උනන්දුවක් ඇති වන්නේ නම් ඒ විෂය මුල් කර ගත් අධ්‍යාපනය වෙනුවෙන් පමණි.එහෙත් අතීතයේදී අපේ මුතුන් මිත්තන්ගේ විස්කම් තුලින් පෙනෙන්නේ ඔවුන් අපේ රටට දායාද කළ සම්පත් නොවේද..

අදටත් සිංහල ජාතියක් ලෙසින් අපි පමණක් නොව ලෝකයක් විස්ම කරන අපේ උරුමයන් තුළින් දරුවන්ටත් අපේ ජාතියේ සාඩම්බර හැකියාවන් ගැන පෙන්වා දීම ඉතා වැදගත්ය. නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් එසේ නැත්නම් කොරියන්  සහ ඉන්දියන් සම්භවයේ ඉතිහාසය නොව අපේම මුතුන් මිත්තන් ලෙසින් වූ නර විරුවරු විසින් හඳුන්වා දෙන ලද වාරි තාක්ෂණය, වාස්තු ශිල්පය මෙන්ම කලා නිර්මාණයන් ගැනත් දරුවන්ට හදවතට දැනෙන සේ කියා දීම මව්පියන්ගේ වගකීමයි.

සිංහල ජාතියක් ලෙසින් අපි පරිසරයට බෙහෙවින් ආදරය කළ ජාතියකි. සෙවන දුන් ගසක අත්තක් පවා සිඳ බිඳීම ගැන එදා කතා බහ කළේ අප්‍රසන්නවය. අපේ හරිත වටපිටාවට එදා උන්නවුන් ආදරය කළහ. ඒ පරිසර වටිනාකම් අද අපෙන් ගිලිහී ගොස්ය. අපේකම ඇත්තේම නැත. ඒ අතරම එහි විපාක විඳින්නේද අපය.තුරු සෙවණැලි සිඳ බිඳ දැමීමෙන් ජල උල්පත් සිඳී ගිය අතර එහි විපාක නිසා අටු කොටු පුරන් විය. සතා සිවුපාවුන් අහිමි විය. සියලු විපාකයන් අප පිටට පැටවුන අතර නොරටුන මත යැපෙන ජාතියක් ලෙසින් උදාසීන වූහ. එහෙත් අපේ රටේ ලස්සන පරිසරය මුල් කර ගෙන ගැයෙන මෙවන් ගීත මගින් දරුවන්ට අපේ රටේ සුන්දරත්වය වචන දහසකට වඩා පහසුවෙන් හදවතට ඒත්තු ගැන්විය හැක.

” සින්ධූපමාන වැව් කලා මතින් ඇදී
පද්මරේණුවෙන් සුගන්ධ වී
රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි …” 
පද රචනා-මහගමසේකර
ගායනය-  පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව

එහෙත් අපේ අතීතය තුළ වූ ස්වයංපෝෂණය ගැන දරුවන්ට ලබා දෙන දැණුම තුළ ඔවුන් අපි කවුද යන්න වටහා ගනු ඇත.ජාතියක් ලෙසින් අපි කිසිවෙකුත් මත යැපෙන්නට අවශ්‍ය ජාතියක් නොවන්නේය යන අභිමානය දරුවන්ගේ හිතට ඇතුලත් කළ යුතුය.

භෞතික සැප සම්පත් විදිනු රිසිව නොරටක ගොස් නිවටුන් ලෙසින් ජීවත් විය යුතු නැත වියළි දණ්ඩක් වුව පැල වෙන පින්බිමක උරුමය අපට ඇත. අපේ දහඩියෙන් හා මහන්සියෙන් මේ සරුබිම දිනා ගත හැක. නොරටකදී අපට ජීවත්වන්නට සිදු වෙන්නේ දෙවැනි ජාතියක් ලෙසින්ය. වෙනත් තබා පුරවැසිකම නොමැත්තේ නම් ලැබෙන නොවටිනාකම් බොහෝය. ආර්ථික ලෙසින් සැප ලැබුනද මානසික ලෙසින් ආත්මාභිමානයක් ගොඩ නගා ගත නොහැක.

අපේ රටය යන සංකල්පයෙන් ඔබ මිදුනොත් කෙසේ හෝ ජීවත්වෙන බව නම් සැබෑය.එහෙත් ආත්මාභිමානය පිලිබඳව ඇති වෙන හිස්බවට පිළියම් නැත.ඒ නිසා දරුවන්ට ඔබ දිය යුතු සැබෑම සංකල්පය මෙයයි.

” පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා
ජනිත වු හැම මෙම පොළවේ
නිති ආඩම්බර විය යුතු වේ
දූ කුල බේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී
සමගිව පේළි සැදී … “
පදරචනය -කරුණාරත්න අබේසේකර
ගායනය-කලාශූරී ලතා වල්පොල

එදා අම්මා දරුවන් නලවන විට ගැයුන නැලවිලි ගීයක ගායනීය මිහිර මෙන්ම ලබා දුන් ගුණධර්මයන් බොහෝය.පැරනි රජවරුන්ගේ චරිතාපදාන මෙම නැලවිලි ගී  වෙනුවෙන් වස්තුබීජ සපයන්නනට විය.

” නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතුවේ … “
(දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල )

ජාතියක් ලෙසින් අපි නිදහස ලබා දැන් වසර හැට නවයක් ගෙවී ඇත. නිදහස් නිවහල් ජාතියක් ලෙසින් සාඩම්බර අතීතයක ඇති උරුමය මත හිඳ අනාගතය වෙනුවෙන් සාඩම්බර දරුවන් අද නිර්මානය විය යුතුය.බොහෝ දෙනාගේ අදහස අතීතය ගැන ලබන ආවර්ජනය පලක් නැති බවයි. ඒ වෙනුවට අනාගතය සකසා ගත යුතු බවට ලබා දෙන ඕලාරික උපදෙස් වලින් දරුවන්ගේද මානසිකත්වය ඔද්දල් වී ඇත.එහෙත් සිංහලයේ උපන් මව්පියන් ලෙසින් ඔබ දරුවන්ගේ ජීවිතයට ලබා දිය යුතු තේමා ගීතය මෙසේ ගයන්න. කිසිම දිනක ඔබටවත් දරුවන්ටවත් වරදින්නේ නැත.

” මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි … “
පදරචනය- මහගමසේකර
ගායනය විශාරද නන්දා මාලනී
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here