ශිෂ්‍යත්ව විභාගය අම්මලාටද? දරුවන්ටද?

exam
ශිෂ්‍යත්වය විභාගය යනු,

”හොඳ පාසැලකට දරුවා ඇතුළත් කරගැනීමට ඇති එකම මගයි”

”දරුවන්ට ළමා කාලය අහිමි කරවන විභාගයයි”

”අම්මලාගේ විභාගයයි”

ශිෂ්‍යත්වය විභාගය පිළිබඳව මම අසා ඇති අර්ථකතනයක් කිපිහයකි මේ. මේ සඳහා තවත් බොහෝ අර්ථකතනයන් තිබිය හැකිය. අද වන විට මව්වරුන් අමතර පන්ති කිහිපයකටම දරුවන් රැගෙන යන බව කවුරුත් දන්නා කරුණකි. අමතර පන්තියකින් දරුවෙකුට අවැඩක් වන්නේ නැත. දරුවෙකු ශිෂ්‍යත්වයය සඳහා අමතර පන්තියකට සහභාගී වීමේ වරදක් මා නොදකින්නේ එබැවිනි. එය ශිෂ්‍යත්වය විභාගය සමත් නොවුණද සුදුසුකම් සහිත ගුරුවරයෙකු යටතේ ඉගෙනීම තුළින් දරුවන්ගේ රසඥතාවය වැඩි දියුණු වීමත් දැනුවත් වීමත් නිසාය.

මාගේ වැඩිමහල් දියණිය දැන් සිව්වන වසරේය. මම ඇයද කැටුව අද වන විට ශිෂ්‍යත්වය පන්ති සඳහා ඉතා සුප්රසිද්ධ ගුරුවරයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන අමතර පන්තියක් වෙත ගියෙමි. මා එහිදී බලාපොරොත්තු වූයේ ශිෂ්‍යත්වයය අම්මා වන මාගේ විභාගයක් කරගැනීමටවත් දියණියගේ ළමා කාලය ඇයට අහිමි කරවීමටවත් නොව. මෙසේ අමතර පන්තියකට සහභාගී වීම තුළින් ඇයට ලැඛෙන දැනුවත් බව පිළිබඳව මෙන්ම පොතක් පතක් නොඅල්ලා මුළු දවසම ගතකරන ඇය ඒ කාලය තුළදී හෝ අධ්යපාන කටයුත්තක් කෙරේ යොමුවේය යන සිතුවිල්ලයි. එසේම හොඳ පාසැලකට යාමට ශිෂ්‍යත්වය විභාගය අවශ්ය බවත් යටි සිතේ නොතිබුණා යැයි කීවොත් මම බොරුකාරියක් වනු ඇත.

කෙසේ හෝ දියණිය පන්තියට ඇතුළත් කළ මාහට කාර්යාලය වෙතින් පැවසූවේ සිව්වන මහල වෙත දියණිය ද රැගෙන යන ලෙසටයි. දරුවන්ට ඉගෙනීමට අවශ්ය මනා වටපිටාවකින් සැකසුණු පහසුකම් සහිත ශාලාවක ඉදිරි පෙළ අසුන් අප එතැනට යන විටත් පිරී හමාරය. විශාල ශාලාවේ අවසාන පුටු පේලිවල වාඩි වී සිටින්නේ මව්වරුන්ය. දියණිය වාඩි කරවූ මම ද පළමු දිනය නිසා රැඳී සිටින්නට සිතා, ”මෙතැන අම්මලාට ඉන්න දෙනවාද?”යැයි තවත් මවකගෙන් විමසීය. ”ඔව්.. ඉන්න දෙනවා. අපි පන්තිය ඉවර වෙනකන්ම මෙතැන තමයි ඉන්නේ.” ඒ ඇයගේ පිළිතුරයි.

මම අසුන් ගත්තෙමි. ශාලාවේ පිටුපස සිට දියණිය ඇය ආසන්නයේ අසුන් ගෙන සිටි දැරියක් සමග නොනවත්වා කතාකරන ආකාරය මම බලා සිටියෙමි. පැය භාගයක් වැනි කාලයකට පසුව මව්වරුන් එක්වරම නිහඬ විය. ලා රෝස පැහැ අත් දිග කමිසයකින් සහ කලූ කලිසමකින් සැරසී ප්රශ්න පත්ර මිටියක් ද අතැතිව ශාලාවේ දකුණු පසින් ගුරුතුමා ඉදිරියට ඇදෙන්නට විය. දරුවෝ නැගිට ඔහුට ආචාර කළහ. එසැණින් මා දුටුවේ මා අවට සිටින මව්වරුන් ඉතා කලබලයෙන් තම අත් බෑග් තුළින් කුඩා සටහන් පොත් සහ පෑන් ඉවතට ගන්නා ආකාරයයි. මේ මන්දැයි යන ගැටලූවත් සමගින් මම දෙපසට හැරෙමින් මව්වරුන් දෙස බැලූවෙමි. සියලූම මව්වරුන් සටහන් පොත හා පෑන අතැතිව සිටී. මව්වරුන් මෙසේ ශිෂ්‍යත්වය පන්තියේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවද දරුවන් නම් මේ වන විටත් ගුරුවරයා සමග සිනාසෙමින් කතාබහ කරමින් සිටිනවා මිස පොත් පත් අතට ගැනීමට කිසිදු සූදානමක් නොවීය. ය.

ගුරුතුමා පාඩම ආරම්භ කළේය. ගම්බද පරිසරය බොහොම සුන්දරව දරුවන් ඉදිරියේ මවා පෑ මේ ගුරුවරයා සැබවින්ම දකෂයෙකි. ඉතා සංයමයෙන් පාඩම රසවත්ව දරුවන්ගේ සිත් තුළට කාවද්දවන්ට ඔහු සැබෑ සමතෙකි. විටින් විට දරුවන්ගේ වැරදිවලට එසැණින් දඬුවම් ලබාදීමට ඔහු පසුබට නොවීය. මා වටහා ගත් පරිදි ඒ ඔහු තුළ දරුවන් කෙරේ වූ සැබෑම ලෙන්ගතකම නිසාමය.

මේ සියලූ සිදුවීම් අතරේ මව්වරුන් විශාල කාර්යයක නියැලී සිටී. එනම්, හිස නමාගනිමින් ගුරුවරයා කියන සෑම වචනයක්ම සටහන් කරගැනීමයි. මෙහිදී ගැටලූ රැසක් එකින් එක මගේ සිතට ගලා එන්නට විය.

මෙය අවශ්‍ය දෙයක්ද? 

මව්වරුන් මෙලෙස සටහන් කළ යුත්තේ ඇයි?

පොතක් පෑනක් ගෙනෙන්නට නොසිතුණේ මම, මගේ දරුවා ගැන සිතනවා මදිද?

ගුරුවරයා එසේ කරන ලෙස පවසා ඇතිද?

ගුරුවරයා පවසන දේ මව්වරුන්ට සිහි තබාගත නොහැකිද? එසේ නම් දරුවන් එය සිහි තබාගන්නේ කෙසේද?

ශිෂ්‍යත්වයය මේ තරමටම බැරෑරුම් විභාගයක්ද?

දයාබර මව්වරුනි, මෙය මෙසේ සිදුවන්නේ ඇයි දැයි මාහට අවබෝධයක් මේ වන විටත් නොදනිමි. පෙර අර්ථකතනය කළ පරිදිම දරුවාට හොඳ පාසැලක් ඔබේත් මගේත් එකම සිහිනය විය හැකිය. මව්වරුන් මෙසේ සටහන් කරගන්නා සියල්ල නැවත නැවත නිවසේදී උගන්වමින් කුඩා මනසට ඔරොත්තු දෙන සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් එය දරුවාගේ අනාගතය අඳුරේ ගිල්වීමට ඔබ ගත් පළමු පියවර ලෙස හැඳින්වීමේ වරදක් නැත. දැනුවත් බවින් හෝ නොදැනුවත් බවින් හෝ සටහන් කරගත් සියල්ල නැවත නැවත දරුවාට ඉගැන්වීමට ඔබට හැකියාවක් නොමැති කමින් දරුවා වැරදි කරුණු මනසට කාවද්දවා ගැනීමට ඉඩ ඇත.

ඇතැම්විට පන්තියේ කියාදුන් පාඩම ඇසුරෙන් දරුවාට යම් ගැටලූවක් ඇති වුවහොත් එය වටහා දීම, මෙසේ සටහන් තබාගන්නා ඔබේ අරමුණ නම් එහි වරදක් නොමැත. එය සැබවින්ම ඔබ දරුවාට ලබාදෙන සහයෝගයකි.

දරුවන්ට ඉගැන්වීම කොයි කාටත් කළ හැකි දෙයක් නොවේ. එසේ නම් අපි සැමට ප්රාථමික අංශයේ ගුරුවරුන් ලෙස පත්වීමට සුදුසුකම් තිබිය යුතුය. ගුරු වෘත්තිය වෙත පිවිසෙන ගමන් මග දිගේ ඔවුන් පුහුණුව ලබන බොහෝ ක්ෂේත්‍ර ඇති අතරම ළමා මනෝ විද්යාවද එයට ඇතුළත් අංගයකි. දරුවන්ගේ මනස හොඳින් හඳුනන ඔවුන් දරුවන්ට ගැලපෙන පරිදි ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ එබැවිනි. මව්වරුන් ලෙස අපේ වගකීම වන්නේ දරුවන්ට ඇවැසි සහයෝගය, පෝෂණය, ආදරය, කරුණාව මෙන්ම නිසි මගපෙන්වීම ලබාදෙමින් ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනඟා දීමයි. ඒ කාර්යයන් ගුරුවරයාට කළ නොහැකි සේම ගුරු වෘත්තිය අපට ද කළ නොහැක.

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here