දරුවට ගැලපෙන සින්දුවක්

child_song

පළමු වසරට ඇතුලත් කරන දරුවෙකුට පුතා දන්න සින්දුවක් කියන්න කිව්වාම ඔහු ගායනා කළ ගීතය සම්මුඛ පරීක්ෂන මණ්ඩලයට අහගෙන ඉන්න තරම් අප්‍රසන්නයි. ඒත් දරුවාගේ මානසිකත්වයට බලපාන නිසා ඔහු ඉදිරියේ කිසිම දෙයක් කිව්වේ නැහැ. පසුව මවට කතා කරල මෙහෙම කිව්වා

දරුවෙක් මේ වගේ තැනකට කැඳවා ගෙන එද්දී කියන්න දරුවට ගැලපෙන සින්දුවක් කතන්දරයක් කියල දෙන්න…

අපි කියල දුන්න සින්දු වගේම මොන්ටිසෝරියේ ඉගෙන ගත්තු සින්දු හුඟක් තියෙනවා . ඒ තියෙද්දී තමයි මේ සින්දුව කිව්වේ…අම්මා විනිශ්චය මණ්ඩලය ඉදිරියේ අසරණ වුණා.

තවත් අවස්ථාවක දහම් පාසල් මාසික සමිති වාරයේදී දෙක වසරේ දරුවෙක් සමිතියට ගායනා කළ ගීතයත් ගුරුවරුන්ට අසා ගෙන ඉන්නත් අසීරු තරම්ටම නොගැලපෙන ගීතයක් වුණා. සමිතිය වෙනුවෙන් ගායනා කරන ගීත සහ කවි කතන්දර ලැයිස්තුව මුලින් ලබා ගත්තත් අහඹු ලෙස සිද්ධ වුන මේ සිදුවීමෙන් අපේ දරුවන්ගේ රසවින්දනය මොන තරම් පහළට ඇද වැටිලද යන්න අපිටම තේරුම් ගන්න පුළුවන්.

මේ ගැන අපි නිතරම අවලාද නගන්නේ දරුවන්ටයි. දරුවන්ගේ රසවින්දනය හොඳටම පහල ගිහින් යන චෝදනාව නැගුවත් එහෙම වෙන්නේ ඇයි යන තැනටත් අපි පිළිතුරු සොයන්න වෙනවා. දරුවන් ඉතාම ඉක්මනින් යමක් ඩැහැ ගන්නා පිරිසක් . මේ නිසා නිරන්තරව ඔවුන් ඇසෙන දකින දෙයින් මෙම අවශ්‍යතාවය ඔවුන් පිරිමසා ගන්නවා. අද බසයකට නැගුනත් එයින් බහින තුරුම ඇසෙන්නේ කිසිම අර්ථයක් නැති වේග රිද්මයේ ගීත පමණයි.

ඒ වගේම ඉස්සර කාලයේ පාසලේ නිවාසන්තර මළල ක්‍රීඩා උත්සව වෙනුවෙන් පැවැති ආචාර පෙළපාලි සහ සරඹ සංදර්ශන වෙනුවෙන් වාදනය වුනේ ” හෙල ජාතික අභිමානේ”….” ලෝකෙන් උතුම් රට….” වැනි ගීත අනුවාදන. නමුත් අද කන් පැලෙන ශබ්දයට වාදනය වෙන්නේ හින්දි ගීත තනු විතරයි. ඒ වගේම සංගීත පුටු තරගවලදී ගැයෙන ගීත හෝ වාදන පවා කිසිම ලෙසින් සංයමයක් හෝ රසයක් නැති විදිහට වාදනය වෙන්නේ මේ අනාගත පරම්පාව ඉදිරියේමයි. එතැනින් පසුව අනේ…අපේ දරුවන්ගේ රසවින්දනය යන චෝදනාව නැගුනත් අපි දරුවන්ට ගැලපෙන ගීත සහ කවි සින්දු වෙනුවෙන් අවස්තාවක් ලබා දෙන්නේ නැත්තේ ඇයි යන ප්‍රශ්නය අපෙන්ම විමසා සිටීම අවශ්‍යයි.

එදා අම්මා හෝ අත්තම්මා ඉර බහින විට , ස ඳ නැගෙන විට තම දරුවන් ළග තබාගෙන අහසේ සඳ පායන හැටි, තරු එකිනෙක නැගෙන න්දම , මාවවුලන් ආහාර සොයා යන හැටි පෙන්වා දුන්නා. ඒ සියල්ල වෙනුවෙන් ගැයුන පුංචි කවි සින්දුත් තිබුනා.

” සමන් පිච්ච මල් ඉහිරුන-නිල් තණකොල පිට්ටණියක්
වගෙයි අහස අන්න බලනු- කොච්චර ලස්සනද රෑට ( එස් මහින්ද හිමි ) ”

බොහෝ කවි සින්දු පරිසරය මුල් කර ගෙන රචනා වී තිබුනි.

” ගස වතුසුදු- වී පිරිසිදු
පොහොය නැතිදු- සිල් ගත් බඳු  (කුමාරතුංඟ මුනිදාස) ”

මේ කවි , ගීත මගින් පරිසරයේ වෙනස්කම් දරුවන් දැන උගත්හ. ඒවා ප්‍රායෝගිකවම අත්වින්දාහ. අද නගරයේ පාසල්වල දරුවන්ට ඉතා අසීරු විෂය වී ඇත්තේ පරිසරයයි. පරිසරය වෙනුවෙන් ඔවුන්ට කිසිම අත්දැකීම් නොමැති වීම ඊට බලපාන ප්‍රධානම හේතුවයි.රාත්‍රියේ හැසිරෙන කුරුල්ලන් ගැන , අහසේ තරු , සඳ වැනි සංකල්ප ඉතාම පහසුවෙන් දරුවාට හඳුනා ගත හැකිය.

” කජු පේර වරකා
ජම්බු ජම්බල නරකා
ලැබුන දේ හරකා
වගේ කන බොන ළමයි නරකා…. ”

වචන දහසකින් ලබා දෙන අවවාදය මෙම පද පේලි හතරකින් ලබා දීමට එදා ළමා සාහිත්‍යය වෙතින් විශාල අනුග්‍රහයක් ලැබිණි. මව්පියන් තම දරුවන් සමීපයේ තබා ගෙන මේ අන්දමින් කටවහරට ඉතා පහසු කවි පැදි කියා දුන්නේ එයින් ලබන ශික්ෂනය ගැන නොසිතා වුනත් දරුවන්ද මව්පියන්ද නොදැනුවත්ම ඔවුන් බොහෝ දේ උගත්හ.

දශක ගණනාවක් ගෙවුනද තවමත් එදා දරුවන් වෙනුවෙන් ලියැවුන කවි අපේ රසවින්දනයෙන්ද ඈත්ව ගොස් නැත.

” හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා…. ”

හාවාගේ ගති පැවැතුම් දරුවාගේ මනසට ගෝචර අන්දමින් හදවතේ චිත්‍රනය කිරීමට කුමාරතුංඟ මුනිදාසයන් දක්වන ලද අපුර්ව හැකියාව නිනාම අදටත් මෙම කවි අපේ හදවතේ ජීවමානව පවතී.

” කොළ දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
ඉතින් ඇතැයි කීවා
ඉතින් ඇතැයි කීවා… (කුමාරතුංඟ මුනිදාස) ”

හාවාගේ හැසිරීම ගැන දරුවාගේ හිතේ මැවෙන අහිංසක සිතුවිල්ල බෙහෙවින් චමත්කාරය.

දරුවෙකු මුල් කර ගෙන මේ දෙය කරන්න….මේ දෙය නොකරන්න යන අවවාදය ලබා දුන් මෙම කවි අදටත් නොගැලපෙන්නේ නොවේ.

” සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවනැත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි ”
” උදයෙම පිබිදී- මුහුණට දිය දී
ගේ දොර අමදී- කුලදෙවි නමදී ”

පුතේ උදෙන්ම නැගිටින්න….ගේ දොර අතුගාන්න…යන ගෝරනාඩුවට වඩා මේ කවි මගින් දරුවාට ලැබෙන ශික්ෂනය වචන දහසකට වඩා අගනේය.

දරුවන් වෙනුවෙන් ළමා ගීත රචනා කළ කවියන් අතර ඇස් . මහින්ද හිමි, ආනන්ද රාජකරුණා සහ කුමාරතුංග මුනිදාසයන් අපට අමතක කළ නොහැක. ඔවුන් දරුවන්ගේ හදවත ඉතාම අපුරු ලෙසින් ස්පර්ශ කළහ. මේ නිසාම එදා දරුවන් කැලේ කොලේ සතා සිවුපාවන්ට ආදරය කළහ. අම්මා , තාත්තා නිවසේ බුදුවරුන් සේ සැලකූහ. ඒ වෙනුවෙන් ඇත්තටම හේතු වූයේ බාල කාලයේ පටන් ඔවුන්ට ඇසෙන ගැයෙන කවි ගීත වෙතින් ලැබුන අපූර්ව බලයයි. මේවා දිව මන්තරයක් ලෙසින් ඔවුන්ගේ ජීවිතයට ආහිර්වාදයක් විය.

ඒත් අද අපේ දරුවන් වෙනුවෙන් ගැලපෙන ගී කව් රචනා වන්නේද නැත. මෙතෙක් තිබෙන වටිනාකම් සහිත කව් ගී දරුවන්ට සමීප කරවන උත්සාහයක්ද නැත. මෙම අපුරු කවි නව තාක්ෂනයෙන් සී. ඩී. ලෙසින් ඇතැත් ඒවා නිවසේ දරුවන්ට ඇසෙන සේ වාදනය කරන උත්සාහයක් මව්පියන් වෙතින්ද දැක ගන්නට නොලැබේ. එහෙත් ඉතාම පහසුවෙන් මෙම කවි ගීත දරුවන්ට ඇසෙන සේ නිවසේ ශ්‍රව්‍ය- දෘශ්‍ය මාධ්‍ය වෙතින් දරුවන්ට සමීප වූ විට ඔවුන් නොදැනම තම ජීවිතයට එයින් ශික්ෂනයක් ලබා ගනු ඇත. මේ වෙනුවෙන් මව්පියන් ලෙසින් ඔබ දැනටත් ප්‍රමාද නැත. රස වින්දනය වෙනුවෙන් ඔබ දරුවාට ලබා දෙන දායකත්වය සමග ඔවුන්ද වැඩෙනු ඇත. සාහිත රසය හඳුනන යුග පුරුෂයන් බිහිකිරීමේ ව්‍යායාමය වෙනුවෙන් එවිට ඔබ දුන් දායකත්වයද සුලුපටු නොවනු ඇත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here