අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසී පහසු කටයුත්තක් නෙමෙයිනේද? මවක් වන්නට පෙර ගර්භණී සමයෙහි පසුවන ඔබට මෙන්න මේ කරුණු බෙහෙවින්ම වැදගත් වෙයි කියලා මට හිතුනා. විලාසිතා වලට කවුද අකමැති නේද? මවක් වුනාම විලාසිතා තෝරා ගන්නට පෙර ඒ විලාසිතා කොයි තරම් දුරට ගැළපෙනවද කියන දේ ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද? අපි ජීවිතේ විවිධ අදියරයන් පසු කරමින් ඉදිරියට ඇදෙනවා. ඒ වයසත් සමගයි. ඉතින් අපි වයසින් පියවරෙන් පියවර ඉදිරියට යන විට කායිකව වෙනස් වෙනවා වගේම වයසට ඔබින විදිහට සිතන්න පතන්න කටයුතු කරන්නත් පුරුදු වෙනවනම් ප්‍රශ්නයක් වන්නේ නැහැ. දරුවකු මෙළොවට බිහි කළ පමණකින් වචනයේ පරිසමාප්තයෙන්ම අම්මා කෙනෙක් වන්නට නම් බැහැ. ඇත්තටම දරුවකු කුස දරා සිටින මවක් දුටු විට දැනෙන්නේ සෙහෙසක්. ගර්භණියක් පිළිබඳ පැහැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඇගේ ඇඳුමයි . අද වෛවාරණ විලාසිතා අතර ගර්භණි මව්වරුන් මුලා වෙලා වගේ. බොහෝ විට ගර්භණී සමයේ මවකට ගැලපෙන්නෙ සිරුරට සැහැල්ලු ලා වර්ණ ඇඳුම්.
“බලන්න අනේ මෙච්චර දුර හිටගෙනමයි ආවේ කිසිම කෙනෙක් සීට් එක දුන්නේ නැහැනේ.” තුන් මස් ගැබිණියක වූ අවිශ්කා කාර්්‍යාලයට ගොඩ වුණේ තෙහෙට්ටුවෙන්ය.
“ඇත්තද? ”
“ඇත්තද කියන්නේ ඔයා නම් මාරයි තමාරා”
“මේකනේ වැඬේ දැන් ඔයා ඔය ඇඳගෙන ඉන්න ජීන්ස් එකයි බ්ලවුස් එකයි දැක්කම කවුද හිතන්නේ අපේ අවිශ්කාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා. ”
“ඒ ඇයි මේකේ වැරුද්ද මොකද්ද?”
“ඇයි කියන්නේ එකක් තමයි මිනිස්සුන්ට ඔය බඩ සැබෑ බඩක්ද දරුවකු දරා ගෙන ඉන්න බඩක්ද කියලා පැහැදිලිවම හඳුන ගන්න බැරිවීම, අපිත් අසරණ වෙනවා. ඇයි සීට් එක දෙන්න ඕනී තත්ත්වයක්ද නැද්ද කියලා අහලා දැන ගන්නයැ. මේ ළඟඳී දවසක මගේ ළඟින් හිටගත්තා ඔය වගේම ඇඳුමක් ඇඳගෙන ගෑණු ළමයෙක්. බඩත් තිබුන නිසා මමත් දඩිබිඩි ගාලා නැගිටලා සීට් එක දුන්නා. මෙන්න ඒ කෙල්ල මට ඔරවලා නෝ තෑන්ක්ස් කියලා ඉස්සරහට ගියා . අනිත් එක් සුදුසු කාලයට ඔබින් ඇඳුම් නාඳින එක ඔය කාලෙට අඳින ගවුමක් ඇන්දනම් කිසි කරදරයක් නැහැනේ.” අහල පහළ සිටි විශ්වත් කතාවට එක් වුණා.
“ඒක නම් ඇත්ත අනික ඒ ඇඳුම් හැමදාම අඳින්න බැහැනේ. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විතරක් අඳින්න ලැබෙන්නේ ඒවා. ඔය ඇඳුම් නම් ඕනෙම වෙලාවක් අඳින්න බැරියැ.”
“හ්ම් එකත් ඇත්ත තමයි. ”
“මේ ළඟදී දවසක් බස් එකට නැග්ගා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් එයා ඇඳලා හිටිය ගවුමෙ අතත් නැහැ දණ හිසෙනුත් වියතක් විතර කොටයි. ඒකට විනිවිද පේන රේන්දයක් අල්ලලා. කැතේ බැහැ. බස් එකේ මිනිස්සු මුණට මුණ බලනවා. එතකොටම වගේ ලස්සනට දිගට චාම් ගවුමක් ඇඳගත්තු දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් බස් එකට නැග්ග ගමන් සීට් එක දුන්නා. කොහොම හරි ඉතින් කොට ගවුම් අම්මට සීට් එක ලැබුනෙ කොන්දොස්තරගෙ ඉල්ලීමට.”
අපේ රට ආසියාතික රටක්. අපි අතර අපටම අනන්‍යවූ සංස්කෘතියක් ගතානුගතික සිතුම් සමුදායක් තිබෙනවා. අපි මොන තර්ක ගෙන හැර පෑවත් මේ සාම්ප්‍රදාය අපේ හිත් වලින් ඈත් වෙලා නැහැ.
“අර බලන්නකෝ අම්මා කවුද දුව කවුද කියලා හොයා ගන්න බැහැ. දෙන්නම කිටි කිටියේ ඩෙනිම් ඇඳගෙන ඒ මදිවට අර ටී ෂර්ට් එකෙන් ඇඟත් පේනවා”
ඔබට සිතෙන්නෙ කුමක්ද? දුව අඳින ඇඳුම් අම්මට ගැලපෙන්නේ නැහැනේ. ඒ ගැන අම්මට අවබෝධයක් තියෙන්න ඕනී. අද සමාජය විෂමාකාරයි. ඉතිහාස ග්‍රන්ථ වල නම් සඳහන් වන්නෙ කාන්තාවකට තනියම වුනත් දෙවුන්දර තුඩුවෙ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරිමේ හැකියාවක් පැවති බවයි. ඒත් අද තනියම කිලෝ මීටරයක්වත් දරුවකු තනිවම යවන්නට නොහැකි බව කනගාටුවෙන් වුවත් කිව යුතුයිනේ. බොහෝ විට මග තොටදී අඟ පසඟ කැපී පෙනෙන ලෙස ඇඳුම් විලාසිතා තෝරා ගන්නා විටදී දෙවරක් නොව කිහිප විටක්ම සිතිය යුතුය. මන්ද යත් අද කාමාශාවෙන් පෙළෙන වියරු මිනිසුන් ගහණ බැවින් ඔබ හෝ ඔබගේ දියණිය ඔවුන්ගෙ ගොදුරක් වන්නට හැකිය.
” විලාසිතා මන බඳිනා විලාසිතා – විලාසිතා නෙතු රැදෙනා විලාසිතා ”
නෙතු රැදෙනා විලාසිතා ඔබට හෝ දියණියට කරදරයක් හිරි හැරයක් නොවන්නට ඔබේ විලාසිතා තෝරා බේරා ගන්නට අම්මාවරුන් සිතට ගත යුතුමය.