අපි තාම පොඩි ළමයිනේ අම්මේ

we_are_kids

දරුවන් සමග කාලය ගත කරන විට කොයිතරම් වේගයෙන් කාලය ගතව යනවද? ඇතැම් විට ඔරලෝසුවට වැරදිලාද කියලත් හිතෙන වාර අනන්තයි. උදෑසන අවදි වූ තැන පටන්ම මව්වරුන් වන අප දරුවන්ගේ වැඩ කටයුතු වලට අමතරව නිවසේ එදිනෙදා වැඩකටයුතු වගේම නිවසේ සිටම යම් රැකියාවක නියුතුවනවා නම් ඒ වැඩකටයුතුද සිදු කරගත යුතුය. ඉතින් රාජකාරී රැසක් දවස තුල සිදු කරද්දි දරුවන්ගේ වැඩකටයුතු වලට මුල්තැන දෙන්න නම් සිදු වෙනවා. ඉතින් ඉතිරි අනිත් වැඩ කරගන්නට නොහැකි වූ තැන අපට දරුවන්වත් රුස්සනේ නැතිවෙනවා.

“තරූ මොනවද කරන්නේ ළමයෝ ඔය පොත් ටික ඉක්මණට පිළිවෙලක් කරන්න මාව කේන්ති ගස්සන්නෙ නැතිව”

“අනේ අම්මේ ඔච්චර තරහින් කියන්න එපා අපි පුංචි ළමයිනේ. එතකොට අපිට දුක හිතෙනවනේ”

“තරහින් උන්න මගේ මුවේ හිනාවක් ඇඳුනේ ඉබේමයි. ”

“අන්න එහෙම හිනා වෙලා කියන්නකෝ”

“හිනා වෙලා කියන්න… දැන් මම තුන් හතර පාරක් හොඳින් කිවිවා ඇහුනේ නෑ වගේ හිටියෙ එහෙනම්”

එවර නම් මට පිළිතුරක් ලැබුණේ නැහැ. හ්ම් ඇත්ත වෙලාවකට අපි දරුවන්ට කොයි තරම් සැරෙන් කතා කරනවද? ඒත් වැඩිහිටියන් වූ අපට කවුරුත් සැරෙන් කතා කලොත් නම් වැඩිහිටි වුණත් අපට දුක හිතෙනවා. බලන කොට අපේ ගේ ඇතුලෙම ළමා හිංසනය සිදුවෙනවා. ඒත් ඒ දේවල් අපි ගණනකට ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපට ඒක ළමා හිංසනයක් කියලා හිතෙන්නෙ නැහැ. කොහොම වුණත් අපි වැඩිහිටියෝ වුණාම ආත්මාර්ථකාමියො වෙනවා. දරුවො ළමා හිංනයට ගොදුරුවීම ශාරීරිකව  මෙන්ම මානසිකවත් සිදු වෙනවා. අපේ කාර්්‍යය බහුලත්වයත් එක්කම අම්මලා විදිහට අපි පුරුදු වෙලා ඉන්නේ දරුවන්ට කෑ ගහන්නමයි. බොහෝ විට දරුවො මානසික හිංසනයට ගොදුරු වෙන්නේ අපි බනින නිසාමයි. අපේ සැර වදන් හමුවේ දරුවන්ගේ මල් වගේ හිත් රිදෙන බව අපි අමතක කරනවා.

“අම්මේ මේ අඹ කෑල්ලේ මේ පැත්ත තැලිලා”

“ඉතිං… ඒ කෑල්ල නොකා ඉතිරි ටික කන්න.” මම පුතාට කිව්වේ නොරිස්සුම් ස්වරයෙන්.

“ගේන්න පුතේ තාත්තා ඔය කෑල්ල අයින් කරලා දෙන්නම් ”පුතා තාත්තා ළඟට ගියේ කෘතඥ පූර්වකයි.

“ඇත්තටම මම පුතාට නොරිස්සුම් ස්වරයෙන් කතා නොකර තාත්තට කියලා අයින් කරගන්න පුතේ කියලා ආදරයෙන් කිව්ව නම් කියලා මටම හිතුනා.

“අයියෝ ළමයෝ තාම දත මැදලත් නෑ බාත්රූම් එකට ගිහින් කොච්චර වෙලාද”

පුතාගේ සද්දයක් නැහැ. තවත් විනාඩි දෙක තුනක් ගත වුන තැන මගේ ඉවසීමත් අහවර වේගෙන එද්දි ම ආයෙමත් බාත්රූම් එකට එබුණා. මෙන්න ෂවර් එකත් ඇරගෙන් රෑ වතුර අනනවා

“තරූ මොනවද කරන්නේ දැන් වෙලාව 8.15 යි. නට නට ඉඳලා හෙට උදේට ඉස්කෝලේ යන්න නැගිට්ටවද්දි නාහෙන් අඬනවකො බලන්න. ඒ මදිවට කැස්සත් තියාගෙන් වතුරෙ නටනවා.මම ආවොත් දෙනවා දෙකක්.එන්නයි කිව්වේ ඉක්මණට එළියට”

ඔහොම කෑ ගහපු මම එතනින් පිටවුණා.

“අම්මා කියන ඒවාට මට නම් හිනා තමයි යන්නේ”

නානකාමරට ළඟට ගිය ආච්චි අම්මට පුතා හිමිහිට කිව්වත් මට ඒ චවන ඇහුණා. ඇත්තටම මම විහිලුවක් වෙලා අර කම්මලේ බල්ලාගෙ කතා මට සිහිපත් වුණේ නිතැතින්මයි. මොකද එකම දේ එකම විදිහට ඇහෙනකොට ඒක ගානක් නැතිව යනවානෙ. අපි නොහිතන විදිහට දරුවො අපිව මග හරින්න සුක්ෂමයි. හිතට නොසන්සුන් බවක් තිබුණත් නිවසේ ඉතිරි වැඩ ටිකත් කඩිමුඩියේ අහවර කරපු මම කාමරටුයට ගියා. මම කාමරයට ඇතුල් වන බව දැකපු ගමන්ම මගේ පුත්‍රයා ඇස් තදින් පියා ගත්තා.

“අනේ පව් හොඳටම නින්ද ගිහින් මම ඔලුව අතගාන ගමන් කියද්දි පුතාට හිනා ගියා”

“හොරා මම රැවටුනා කියලා හිතුව නේද? මේ ඒක නෙමේ ඔයාට මොකද මම බැන්නම හිනා යන්නේ. ඔයාට හිනා වෙන්න නෙමේනේ මම බනින්නේ”

“අම්මා ඉතින් හැම තිස්සේම එකමනෙ කියන්නේ ඒකයි”

“ඉතින් මම එකපාරක් කිව්වම ඒක ඔයා ඇහුව්ව නම් මම ඔයාට බනින්නෙත් නැහැනේ”

“ඔව් ඉතින් ”

“ඔව් ඉතින් නෙමේ, ඔයා දන්නවද තරහා ගියාම මිනිස්සු ඉක්මණට ලෙඩ වෙනවා. මටත් හැම තිස්සෙම කේන්ති ගියාම මමත් ඉක්මණට ලෙඩ වෙලා මැරිලා යාවී. එතකොට ඔයාලට අම්මා කෙනෙක් නැති වේවී.මමත් කැමති නැහැ ඔයාලට බනින්න. ඔයාලට බැනලා මට ඉතිරි වෙන්නෙත් දුක විතරයි. හරි දැන් නිදා ගන්න. හෙට උදේ සතුටින් නැගිටින්න”

පහුවදා උදේ නම් පොඩි වෙනසක්. උදේම නැගිටලා තනියම වැඩ කර ගෙන පුතා පාසල් ගියා.

“අද නම් මට කෑ ගහන්න බැහැ පුතේ ” පාසල නිම වී නිවසට ආ හැටියෙම මම පුතුට කිව්වා.

“හරි හරි මම මේ ඒක හිතාගෙනම තමයි ආවේ”

“ඒ මොකද්ද?”

“අම්මව කෑ ගස්සන්නෙ නැතිව ඉන්න.”

“ඉලංදාරී තාලෙට කියද්දි මට සිනහා පහල වුණා.

“ඔය වගේ කීප වතාවක්ම මීට කලින් ඔයා කිව්වට හවස් වෙද්දි ඒවා අමතක කරලා කන ඇහෙන්නෙත් නැහැ වගේ ඉඳන් මාව කෑ ගස්සනවනේ”

“අපි තාම පොඩි ළමයිනේ අම්මේ , ඉතින් ටිකකින් අම්මා කියපුව ,මම පොරොන්දු වුණ දේවල් අමතක වෙනවා. අම්මට තියෙන්නෙ තරහා ගන්නෙ නැතිව ඒ වෙලාවට මට.මතක් කරන්න. ”

වදන් ගොලු වුණ මම පුතා දිහාම බලා උන්නා.“ අම්මට තියෙන්නෙ තරහා ගන්නෙ නැතිව මට මතක් කරන්න ” වදන් පෙළ මගේ සිත තුල නින්දට යනතුරුම රැව් දුන්නා.

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here