එයා දැන් ලොකු ළමයෙක්

mom_and_young_girl

ගැහැණු දරුවෙක් මල්වර වීම සමග ඇයට වගකීම් සම්භාරයක් පවරා දීම අපේ රටේ සිරිතක්ව තිබෙනවා. ඔවුන් මව්පියන් හිතන්නේ මල්වර වීම යනු වගකීම් දරන්නට සූදානම් වෙන කඩඉම විදිහටයි. ඒත් ජීවවිද්‍යාත්මකව මල්වර වීම යනු දරුවන් ලබන්නට ගර්භාෂය සූදානම් වීමක්. අතීතයේදී නම් වයස අවුරුදු 14 සිට 16 ක් දක්වා වූ කාලයකදී මල්වර වීම සිද්ධ වුනත් අද වයස අවුරුදු 8 ක් වැනි කුඩා වයසේදී පවා මල්වර වීම සිද්ධ වෙනවා. ඇත්තටම මේ වයසේ දැරියක් මල්වර වුනොත් ” එයා දැන් ලොකු ළමයෙක් ” කියන ලේබලයෙන් ඇයට අනවශ්‍ය වගකීම් පවරා දීම සාධාරණද….?

ගැහැණු දරුවන් ගෙදර දොර කටයුතු වෙනුවෙන් වගකීම් ලැබිය යුතුයි. ඒ වගේම යුතුකම් ඉටු කිරීමටත් ඔවුන් සූදානම් විය යුතුයි. ඒ වුනත් සෙල්ලම් වයසේ සිටින ඔවුන්ට අනවශ්‍ය විදිහට වගකීම් පවරා දී වයසටත් කලින්  ඔවුන් වියපත් කිරීම ගැන ඇත්තටම සතුටු වෙන්න බැහැ. ළමා වයස ජීවිතයේ ඉතාම සුන්දර කාලයක්. නැවත කිසිම දිනක මේ ළමා කාලය අපට ලබා ගන්න බැහැ. බල්ලන්ට පිහිනන්න…උගන්වන්න අවශ්‍ය නැතුවා වගේම ගැහැණු දරුවන්ද අත්දැකීමෙන් ගෘහ කටයුතු ගැන දැණුම ලබා ගන්නවා. එය ඉතාම සාමාන්‍ය සිද්ධියක්.

ඒත් අපේ අම්මලා ගැහැණු දරුවා මල්වර වීමත් සමග පනවන තහංචි නිසා ඇගේ ජීවිතයේ විශාල පසුබෑමක් ඇති වෙනවා. මෙතෙක් පැවැති සැහැල්ලු ජීවිතය අවසාන වීම නිසා ඇති වෙන ආත්මීය ශෝකය විවිධාකාර විදිහට ඔවුන්ගේ පෞරෂය දුර්වල කරනවා.

ඔබ ජපානය ගැන අසන හැම මොහොතකම සිහියට නැගෙන එක් සිද්ධියක් ඇත. පරමාණු බෝම්බ හෙලා දැවී අළුව ගිය හිරෝෂිමා, නාගසාකි නගර ජපනුන් විසින් වැඩි කාලයක් ගෙවෙන්න පෙරාතුව නැවත යතා තත්වයට පත් කර ගත්තා. ඒ තරම්ම ඔවුන් ආත්ම ශක්තියෙන් යුක්ත පිරිසක්. ජපානයේ එතෙර සහයෝගිතා ව්‍යාපෘතියේ නියෝජිත ටොෂිකි කමාඩා සඳහන් කරන්නේ ඔවුන්ගේ රටේ දරුවන්ට මුලින්ම පුහුණු කරන්නේ ආකල්ප බවයි. අපේ රටේ මුලට ඇත්තේ දැණුමයි. අපි දැණුම, කුසලතා සහ ආකල්ප පදනම් කර ගත්තත් ඔවුන්ගේ ප්‍රමුඛතාවය ඇත්තේ ආකල්පවලට බව ඔහු සඳහන් කරනවා.

ඒ වගේම අපේ රටේ වගේ දැරියක් වෙනුවෙන් වගකීම් පවරන්න මල්වර වෙන වයස කොහෙත්ම බලපාන්නේ නැහැ. ජපන් දැරියක් ස්වාධීනව , නිදහස් ජීවිතයක් වෙනුවෙන් සූදානම් වීමට වයස අවුරුදු විස්ස කඩඉම කර ගෙන තිබෙනවා. ඒහි සාධාරණත්වයක් තිබෙනවා. අවුරුදු විස්සක් වෙන විට දැරියට යම් අදයාපයක් ලබා ගෙන සිටිනවා. ඒ වගේම නිවස සහ අසලැවිසියන් සමග ගොඩ නගා ගෙන තිබෙන සමාජ සම්බන්ධතාවයන් අනුව අත්දැකීම් බොහොමයි. මේ නිසා වයස අවුරුදු විස්ස ඔවුන් හඳුන්වන්නේ comming to age  යනුවෙන්. එතෙක් මව්පිය සෙවනේ හැදුන වැඩුන ඔවුන්ට එතැන් පටන් මිතුරන් ඇසුරට, ජීවිතය ගැන තීන්දු තීරණ ලබා ගැනීමේ ස්වාධීනත්වය තිබෙනවා.

මෙම සිද්ධිය ජපානයේ ඉතාම උත්සවාකාරයෙන් පැවැත්වෙනවා. ජපන් දැරියක් මුල්ම වරට කිමෝනාවෙන් සැරසෙන්නේ එදාටයි. කිමෝනාව ජපානයේ සංස්කෘතිය සමග බැඳුන සංවර ඇඳුමක්. සමාජය තුළ ස්වාදීනව හැසිරෙන ඇයගේ ඇඳුම් පැලඳුම් පවා මෙම අවස්ථාවට සම්බන්ධ කර ගන්නවා. මේ උත්සවය සැම වසකම මාර්තු 31 වැනි දිනට පෙරාතුව පැවැත්වීම බොහෝ පුරාණයේ පටන් ජපානයේ පැවැතෙන සිරිතක්. පසුගිය වසරේ මාර්තු 31 වැනි දිනට පසුව විසි වැනි වසර සපුරන ලද සියළුම ජපන් දැරියන් මෙම උත්සවය නව වසරේ මාර්තු 31 වැනි දිනට පෙරාතුව පැවැත්වීම සිරිතක්.

මේ comming to age  අවස්ථාව මුල් කර ගෙන ඔවුන්ගේ ජීවිතයේ ඇති වෙන්නේ අලුත් බවක්. ඒ වගේම ප්‍රබෝධයක්. එතැනින් පසුව ඔවුන් දකින ලෝකය බොහොම සුන්දරයි. තහංචි ඇත්තේම නැහැ. තහංචි ඉවත් වෙන්නත් බලපාන හේතුවක් තිබෙනවා. විසිවසරක් තුළ ලබා තිබෙන අත්දැකීම් නිසා ඔවුන්ට ස්වාධීනව ජීවිතය පටන් ගැනීම අපහසුවක් නොවෙයි. ඒත් අපේ රටේ මල්වර වෙන වයස මුල් කර ගෙන කටේ කිරි සුවඳ නැති වෙන්නත් පෙරාතුව ” එයා දැන් ලොකු ළමයෙක් ” කියන ලේබලය නිසා අපේ රටේ දැරියන්ට ඇති වෙන මානසික ගැටුම අපි හිතන තරමටම සරල නැහැ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here