දරුවන්ට අවුරුද්ද රසවත් කළ ජනක්‍රීඩා

awrudu-krida

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අතීතයේ පටන්ම දරුවන්ට ඉතාමත් විනෝදජනක කාලයක්. අද කාලයේ දරුවන්ට වඩා එදා දරුවන් මේ කාලයේදී බොහෝ සෙයින් විනෝද වුණා. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්වයන්ද නිර්මානය වුණා. කුඹුරු අස්වනු කැපී අවසානයේ තිබෙන ඉඩ කඩ නිසා අවුරුදු කාලයම ගමේ වෙල් යායන් මුල් කර ගෙන සෙල්ලමින් කාලය ගෙවනු ලැබුවා. අද දරුවන් මුල් කර ගෙන මේ විදිහට පරිසර තත්වයක් ඇත්තේම නැහැ. සිංහල අලුත් අවුරුද්දේ නොනගත කාලයේදී එදා කෙළි දෙලෙන් ගෙවුවත් අද දරුවන් ඒ වෙනුවෙන් රූපවාහිනිය නරඹනවා  හැරුන විට වෙනත් කටයුත්තක යොමු වීමට අවස්ථාවක්ද ඇත්තේ නැහැ.

ඒ වුනත් අපි ජනක්‍රීඩා ගැන අපිත් දැනගෙනම සිටිය යුතු බොහෝ දේ තිබෙනවා.

අවුරුදු කාලයටම කල එලි දකින සෙල්ලම් කොටසක් තිබුණා. මේවා එදා පටන්ම හැදින්වුනේ ජන ක්‍රිඩා යනුවෙන්. ඔන්චිලි පැදීම , රබන් ගැසීම, පංච දැමීම මේ වගේ සෙල්ලම් අතරින් ඉස්මතු වුන ගුණාංගයන් බොහෙමයක් දේ තිබෙනවා.මේ ජනක්‍රිඩා වෙනුවෙන් සමූහයක් එකතු වෙනවා. කිසිම දවසක හුදෙකලාව මේ ක්‍රිඩාවන් ගොඩ නැගුනේ නැහැ. අද පරිගණක ක්‍රිඩාවන් නිසා දරුවන් හුදෙකලා වුනත් එදා දරුවන්ට සෙල්ලම් නිසා සමුහයක් ගොඩ නැගුනා.

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බවට සමාජගත අදහසක් ඇත. ඔන්චිල්ලා අතර වර්ග කීපයකි. කූඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, සහ මල් ඔන්චිල්ලා ලෙසින් ප්‍රභේද කිහිපයක් ඇත. සිංහල අලුත් අවුරුද්ද සමග කල එලි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන වාරම් කවි මෙසේය.

ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ 

 

රබාන සමග බැදී ඇති ජන විශ්වාසයන් ඇත. ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මානය කළ බවත් , එම නිර්මානය සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක් ජනප්‍රවාදයක සඳහන් වේ. මුලින්ම සරල ලෙසින් වූ රබන් පදයක් තෝරා ගනී. එයින් අනතුරුව ක්‍රමක්‍රමයෙන් තෝරා ගැනීමට අපහසු පද වෙතට යොමු වේ.

උඩින් උඩින් වර පෙත්තප්පූ
බිමින් බිමින් වර පෙත්තප්පු

 

කාන්තාවන් වෙනුවෙන් විශේෂිත ඔලිඳ කෙලිය ගණිත ක්‍රමයට සිදු වෙන ගෘහස්ථ ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාව ආරම්භයේ පටන් අවසානය තෙක්ම අත්වැල් ගායනය සිදු වේ.

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත්  සදන්නේ සිංහල දේසේ

 

ජනක්‍රීඩාවන් සඳහා සමුහයක් සහභාගී විමත් එක් ලක්ෂණයකි.දරුවන් අතර ඉතා ප්‍රචලිත කොප්පර කොප්පර පිපිඤ්ඤා ක්‍රීඩාවේදී දරුවන් රවුමට හිඳ ගනිති. එක් දරුවෙක් අතු කැබල්ලක් ගෙන රවුම වටා යයි. රවුම වටා යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක් ගොඩ නැගේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා

 

රවුමේ සිටින අය කෝ නෑනෝ පනවා…කියන විට යන්න විසින් මෙසේ පිලිතුරු ලබා දෙයි. යට ලීයේ පනාව යැයි පිලිතුරු දෙයි. මේ අන්දමට රවුම වටා කීප විටක් කියයි. රවුමේ සිටින්නන් ” කලගෙඩි කළගෙඩි ” කියන විට රවුම වටා යන්නා ” බෝතල්….බෝතල්” කියමින් වට දුවයි. දුවන අතර අත්ත කෙනෙකුගේ පිටුපස අත්ත තබයි.වටය ගොස් එතැනට එන්න පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳිනු ලැබේ. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලූ විට පහර වදී. එකිනෙකා මාරුවට මෙම සිද්ධිය දිගින් දිගටම සිදු වේ.

කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු වෙන ” මේවර ක්‍රීඩාව ” අවුරුදු කාලයේදී බෙහෙවින් ජනප්‍රිය ඉසව්වකි. මේවරය ගැන විවිධ අදහස් ඇත. එක් අදහසකට අනුව මේවරය යනු වලල්ලකි. තවත් අදහසකට අනුව මේවරය යනු කණ පළඳන ආභරණයකි. තවත් අදහසක් අනුව මෙහෙකරුවෙකි.එහිදී ඉද්රිපත් කරන සමූහ ගීතය සංවාද ස්වරූපයක් ගනී.

සාර සදිසි පෙත හේන නෙලන කල       – වල ගියෙදෝ මගෙ මේ වරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් – අප දුටුවේ නැත මේ වරයා
කොස්වතු කන්දේ කොස් නෙලනා කල – වල ගියෙදෝ මගෙ මේ වරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් – අප දුටුවේ නැත මේ වරයා

 

රංගනය සහ ගායනයේ සුසංයෝජනයෙන් මෙම ක්‍රීඩාව ගොඩ නැගී ඇත. එළුවන් සහ කොටියෙක් අතර වූ දෙබසින් මෙම ක්‍රීඩාව ඉදිරියට ගමන් කරයි.

හොදට නටඤ්ඤං රලහමි – දෙනවද එළුවා
දනින් වඳිඤ්ඤං රලහමි     – නොදෙමුව එළුවා

 

සිරුරට ව්‍යායාම ලැබෙන්නත් ජනක්‍රිඩාවන් මගින් නොදැන විශාල රුකුලක් ලැබුනා. පොරපොල් ගැසීම, කඹ ඇදීම සහ ඔන්චිලි පැදීම වැනි ක්‍රිඩාවලින් සිරුරට ලැබෙන ව්‍යායමය අද ජිම් ගිහින් ලබා ගන්නා ක්‍රිඩාවන්ට වඩා බොහොම වැදගත්. කිසිම වැය ශීර්සයක් නැතුව ඔවුන් මේ ව්‍යායාම ක්‍රිඩාවන්ගෙන් ලබා ගත්තා.

ගායන හැකියාවන් සංවර්ධනය වෙන්නත් ක්‍රිඩාව නොදැනම උපකාර වුණා. අද දරුවෙකුට කටේ හිරි ඇරල කවියක් කියන්න හැකියාවක් නැති වුනත් මේ ක්‍රිඩාවන්හිදී බද්ධව තිබුන ගායනා නිසා නොදැනම ගායන හැකියාවන්ටත් පිටුවහලක් ලැබුනා. මේවර කෙලිය, ලේන්සු හැංගීම වැනි ක්‍රිඩාවන් සමග ගැයුන පදවැල් තිබුනා. මේවායේ මිහිරි ගායනාවන් නිසා සිතටත් වින්දනයක් නොදැනම ලැබුනා.

ජනක්‍රිඩාවන්ගෙන් කොටසක් ගෘහස්ථවත් තවත් කොටසක් එළිමහනේදිත් කරනු ලැබුවා.ඔලිඳ කෙලිය, පංච දැමීම, වැනි ක්‍රිඩාවන් ගෘහස්ථව සිදු වුන අතර පොර පොල් ගැසීම, කොට්ට පොර, වැනි සෙල්ලම් එලිමහනේ සිද්ධ වුනා. ඒත් අද දරැවන් අවුරුදු ක්‍රිඩාවන් කී සැනම දකින්නේ අලියට ඇස් තැබීම, ග්‍රිස් ගහේ නැගීම වැනි සෙලල්ම් පමණයි. ඒත් අපේ ජනක්‍රිඩාවන් ගැන දරුවන්ගේ හිත් තුළ කිසිම සංකල්පයක් දැන් ඇත්තේම නැහැ.

ජනක්‍රිඩාවන් නිසා අවුරුදු කාලයට ආහාරයට ගනු ලබන තෙල් කිරි අඩංගු ආහාර මගින් සිරුරට ලැබුන මේදය නොදැනම දහනය වුණා. අද බොහෝ දෙනාට අවුරුදු කාලයට කැවුම් ගෙඩියක් , කිරිබත් කෑල්ලක් ආහාරයට ගන්න බැරි තරමටම මේදය පිලිබඳ ගැටළු තිබෙනවා. එදා මේවා වෙනුවෙන් හොඳම පිලිතුර ජනක්‍රිඩාවන්ගෙන් ලැබුනා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here