- Advertisement -

ඔබත් දරුවන් නිසා තරහ යන මවක්ද ?

-

දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට තවත් නැහැ. මේ නිසාම දරුවන් වෙනුවෙන් අම්මාවරුන්ගේ කැපවීම අනාදිමත් කාලයක පටන්ම බොහොම පිළිගැනීමට ලක් වී තිබෙනවා. එදා දරුවන් හැදුන වැඩුන පරිසරයට වඩා අද පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ හින්දාම දෙමව්පියන් සහ දරුවන් අතර ගැටුම් බහුලයි. පුංචි සන්දියේදී නම් කෝටුව පෙන්නලා මෙල්ල කර ගන්න පුළුවන් වුනත් කරදඩු උස්මහත් වෙනවිට දරුවන් අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති තැනට පත් වෙනවා. දරුවන්ට කියල වැඳගෙන ඉන්නත් බෑ…ඔබ එහෙම හිතනවා ඇති. එහෙම වුනොත් ඔබ මොකද කරන්නේ.

දරුවා තේරුම් ගන්න

ඔබේ ලෙයින් මසින් සැදුන දරුවා තේරුම් ගැනීම හෙවත් ඔහුගේ ක්‍රියාකලාපය තේරුම් ගැනීම ඔබට එතරම් අපහසුවක් නොවෙයි. අනේ මට තේරෙන්නේ නෑ…මේ දරුවෝ මම කියන දෙයක් අහන්නේම නෑ…මට එපා වෙලා මේ විදිහට මැසිවිලි නගන අම්මාවරුන් අපි අතරත් ඉන්නවා. ඔබත් මවක් නම් මේ විදිහටම විටින් විට මැසිවිලි නගා ඇති. ඇත්තටම අපි මැසිවිලි නග නගා සිටීම තේරුමක් නැහැ. ඊට වඩා වැදගත් වෙන්නේ දරුවා ඔබේ අවවාද වෙනුවෙන් දක්වන ප්‍රතිචාර හඳුනා ගැනීමයි.

- Advertisement -

ඇතැම් දරුවන්ට හොඳින් කියන විට ඒ වෙනුවෙන් එතරම් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. තවත් අයට ඉතා සැරෙන්ම කියා සිටින්න වෙනවා. මේ විදිහට අවවාද ඉදිරියේ දරුවා දක්වන ප්‍රතිචාර ගැන වැටහීමක් ලබා සිටීම ඉතාම වැදගත්. එවිට දරුවාට දෙන්න ඕන තිත්ත කසායද, එහෙම නැත්නම් පැණිරසද බව ඔබට තේරුම් ගත හැකියි. තවත් විටෙක හොදින් කියන විට ඇහුම්කන් නුදුන්නත් ටිකක් සැරෙන් කියද්දී ඇහුම්කන ගතියක් පෙන්වන දරුවන් සිටිනවා.

මේ විදිහටත් පුළුවන්

දරුවා ඔබ කියන දේ නාහන විට අම්මා කෙනෙක් විදිහට ඔබ මහත් වේදනාවෙන් සිටින බව ඔහුට දැනෙන්න අරින්න. වචන වලින් අපි මේ මේ දේ කළා කියනවාට වඩා ඔහුට ඇසෙන සේ මව්ගුණ ගීයක් ඇසෙන්න සලස්වන්න. දරුවන් මුල් කර ගෙන කරනු ලබන සැලකිලි ගැන විටන් විට කියනු ඇසීමට ඔවුන් බොහොම අකමැතියි. මේ නිසා වචන බෝ වෙනවා පමණි. ඒ නිසා කිසිම බලපෑමකින් තොරතව ඉබේටම මේ අන්දමේ දෙමවිපය සම්බාවනාවන් ගැන ඇසෙන්න සලස්වන්න. එවිට ඔවුන්ගේ හිතේද අනේ අපේ…අම්මා…තාත්තා…යන සංවේදී බව ගොඩ නැගෙනු ඇත.

කැත්තට පොල්ල වගෙත් බැහැ

දරුවන්ගේ ආවේග ඉදිරියේ නොඉවසනා මව්පියන් බොහෝ සිටිති. විශේෂයෙන් තාත්තාට මේ ආවේග ඉවසා සිටීම අපහසුය. මම උඹේ තාත්තා…ඒ බව දැන ගනින්.මේ විදිහට වචන හුවමාරුව නිසා දෙපාර්ශවයම අපහසුතාවයට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන්ගේ ආවේග ඉදිරියේ ඔබ මදක් සන්සුන් වීම ඉතාම වැදගත්. දරුවාගේ වුනත් මේ ආවේග ටික වේලාවකින් නොදැනම මෙල්ල වෙනු ඇත. ඒ කාලය එළැඹෙන තෙක් අමාරුවෙන් වුනත් ඉවසා සිටින්නට පුළුවන් නම් ඉතාම අගෙයි.

මොකුත් බැරිනම් දහයට ගනින්න

ගැටුම් කලමනාකාරණය පිළිබ ව ලබා දෙන උපදෙස් වලදී කියා දෙන්නේ ඔබට ඇති වෙන ආවේග පාලනය කර ගැනීම ඔබට අපහසු නම් දහයට ගනින්න…ලෙසයි. මේ ක්‍රමවේදය දරුවන් සමග ගණුදෙණු කරන විටත් ආදේශ කරගන්න. දරුවා ආවේගයෙන් කටයුතු කරන විට ඔබ ඉවසීමෙන් සිටීම ඉතා වැදගත්. මේ නිසා දහයට ගනින්න. ආවේග මදක් පාලනය වෙනු ඇත.

අපි වැඩිහිටියන් නොවැ

දරුවා යනු ඇත්තටම බාලවයස් කාරයෙකි. ඔවුන්ගේ ගති පැවැතුම් ඉදිරියේ  අපේ ගනුදෙණුව ඉතා ප්‍රවේසමෙන් සිදු විය යුතුය. නව යොවුන් විය යනු කුණාටු සමයකි. මේ කාලයේදී මෙල්ල කිරීමට අපහසු දරුවන් නොමැත්තේම නොවේ. එහෙත් ඔවුන් පසුකාලයක යහමගට නොයනවා යැයි සහතික වීමටත් නොහැක. ඒ නිසා මේ නොදරුවන් ඉදිරියේ අපිත් නොදරුවන් ලෙසින් කටයුතු කළ යුතු නැත..යන සිතුවිල්ලේ රැ‍ඳෙන්න. ඇතැම් මව්පියන් අපි මොකටද දරුවන්ට යටත් වෙන්නේ යැයි සිතනු ඇත. එහෙත් මෙය යටත් වීමක් නොවේ.

අනතුර වලක්වා ගත හැක

සියදිවි හානි කර ගත් බොහෝ දරුවන්ගේ තොරතුරු වලින් පෙනී යන්නේ ඔවුන් මේ තත්වයට පත්ව ඇත්තේ මව්පියන් විසින් සිදු කරන ලද මානසික හෙම්බත්වීමේ ප්‍රතිඵල නිසාය. දරුවන්ට වුනත් ආත්ම ගරුත්වයක්, අභිමානයක් ඇත. එය විනාශ වූ තැනදී ඔවුන් දුර දිග සිතන්නේද නැත. මේ නිසා දරුවන් සමග කරනු ලබන ගණුදෙණුව ඉතාම ප්‍රවේශමෙන් සිදු කිරීම වැදගත් වේ. බොහෝ සෙයින් මේ අන්දමේ අනතුරුවල පිටුපස සිටින්නේ මව්පියන්ය.

දෙමව්පියන්ට ජීවිතය එපා වුනොත්

දරුවන් කියල ඇහේ මුහුනේ තබා ගෙන හැදුවත් ඔවුන්ගෙන් ඇති වෙන විවිධ ගැටුම් ඉදිරියේ දෙමව්පියන් අසරණ වෙන අවස්ථාවන් නැතුවාම නොවේ. දරුවන් වැඩෙත්ම ඔවුන් සමග වූ ගැටුම් නිසා සිය දිවි හානිකර ගත් දෙමව්පියන්ද ඕනෑ තරම් සිටිති. එහෙත් ඔබ මෙසේ සිතන්න. මේ මගේ දරුවා නොවන්නේද…ඔවුන් මුල් කර ඇති වෙන ගැටුම් වලදී මා බුද්ධිමත් වීම අවශ්‍ය වේ. අපේ බාල කාලයේ වුවත් අම්මා තාත්තා සමග පුංචි පුංචි වුනත් යම් යම් බහින්බස් වීම් ඇති වුන අවස්ථා සිතට ගන්න. නමුත් අපි අද ඔවුන් ගැන කතා බහ කරන්නේ මහත් ගරුත්වයකින්ය. අපේ දරුවන්ද කාලයත් සමග වැඩිහිටියන් බවට පත් වුන විට මේ දඩම්බර ගති පැවැතුම් ඔවුන්ගෙන් ඉවත් වෙනු ඇති… මේ අන්දමට ඔබ වර්තමානයේදී හිත හදා ගන්න. මම අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කළොත් ඔවුන්ගේ තීරණ හදිසියේවත් දැඩි විය හැකියි.

එහොම එවුන් මොකටද…මැරැනා කියල දානයක් දීල හිත හදාගන්නවා…කිව්වත් එය පහසු කටයුත්තක් නම් නොවේ.

විකල්ප ගැන සොයන්න

දරුවා සහ ඔබ අතර තිබෙන ගැටුම සිඟන්නාගේ තුවාලය මෙන් සදාකාලික ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔබ සමග දරුවා ගැටෙන්නේ ඇයි…අධ්‍යාපනය, සහෝදරයන් අතර ගැටුම්, මත්ද්‍රව්‍ය වැනි විවිධ දේ මුල් කර ගෙන විය හැකිය. අධ්‍යාපනයේදී ඔහු ගැටෙන්නේ පාඩම් කටයුතු අපහසු නිසා විය හැකිය. එවිට කැත්තේ තබා ගත් මාලු කෑල්ල මෙන් නොසිට ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අතිරේක පංති හෝ වෙනත් විෂයක් වෙත යොමු වෙන්නට උපදෙස් දෙන්න. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ගොදුරු වී ඇත්නම් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට හෝ අදාල වෛද්‍ය උපදේශන ලබා දෙන්න. ගැටුම එතැනින් අවසාන වෙනු ඇත.

ඉවසන සීමාව දැන් පනින්නේ නැහැ

ඔබ නිතරම කියන්නේ අපි ඉවසලා ඉවසලා දැන් නම් ඇති…විදිහට වුනත් දරුවන් සමග වූ ගැටුමට හේතු සොයල ඒ වෙනුවෙන් ප්‍රතිකාර කළොත් දෙපාර්ශවය අතර තිබෙන ගැටුමට නොදැනම විසඳුම් ලැබේවි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article