- Advertisement -

ප්‍රථමාධාර කට්ටලයට එකතු කර ගත හැකි දේශීය බෙහෙත්

-

” හචිස්… හචිස්… ”
” පුතාට හෙම්බිරිස්සාව නේද බෙහෙත් ගෙනාවද ඔයා? ”
” නැහැ ”
” ඔය ළමයට ඕක වැඩි වෙයි”
” ඔව් ඒක නිසා තමයි කොත්තමල්ලි දුන්නේ ”

පුතාලගෙ තාත්තගෙ කට වැහුනා. ඇත්තටම අපි පුංචි කාලේ අපෙ අම්මා අපිට බෙහෙත් ගන්න ගියේ හරිම කලාතුරකින්. ඇත්තටම අපේ අම්මා හොඳට අත්බෙහෙත් ගැන දැන ගෙන හිටියා. ඒත් අද අම්මලට නම් ඔය අත් බෙහෙත් ගැන ඒ තරම් දැනුමක් නැහැ. බරපතලම ලෙඩ වලට හැරෙන්න උණකට හෙම්බරිස්සාවකට, සෙම් අමාරුවකට, බඬේ අජීර්ණයකට, හිසේ අමාරුවකට ඒ කාලේ අම්මලා ගෙදරම වෙදකම් කලා. සුළු රෝගයකට නිවසේදීම අත් බෙහෙතක් දැන ගෙන සිටීම හරිම වටිනවා. එනිසාම නිවසක  තිබිය යුතු ඔබේ ප්‍රථමාධාර කට්ටලයට එක්කාසු කර ගත හැකි දේශීය බෙහෙත් වර්ග කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අප සිතුවා.

- Advertisement -
නිවසේ ප්‍රථමාධාර ඖෂධ තිබීමෙන් ලැබිය හැකි වාසී

  • සුළු ආබාධ සඳහා වන ප්‍රථමාධාර නැතහොත්  අත්බෙහෙත් දැන සිටීමෙන් මුදල් වැය කිරීමකින් තොරව ප්‍රතිකාර කර ගත හැකිය.
  • වෛද්‍යවරයකු වෙත රෝගියා යොමු කරන තෙක් රෝගය පාලනය කරගැනීම හැකියාව ලැබීම.
  • රෝගයක මුල් අවස්ථාවේදීම සුළු ප්‍රතිකාරයක් කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකි වන අතර එම රෝගය උත්සන්න වීමට ඉඩ නොදී යම් තාක් දුරට පාලනය කරගත හැකිවීම.
  • නිවසේදීම ප්‍රතිකාර කරන හෙයින් කාලය ඉතිරි කරගත හැකිවීම.
  • ස්වභාවික දාව්‍ය උපයෝගී කර ගන්නා නිසා අතුරු ආබාධ ඇති නොවේ.
ජාතික මට්ටමින් ඇති වාසී

  • සෞඛ්‍ය සේවා සඳහා රජයට දැරීම සිදුවන මුදල් ප්‍රමාණය අවම කර ගත හැකිවීම.
  • රෝහල් වල තදබදය අඩුවේ.
  • සුළු රෝගාබාධ සඳහා ඖෂධ නිකුත් කිරීම අවම වීම තුලින් ඖෂධ අඩුවෙන් වැය වීම.
ප්‍රථමාධාර ඇසුරුමක තිබිය යුතු ආයුර්වේද ඖෂධ

  • නවරත්න කල්කය
  • ත්‍රිඵලා පෙති
  • දෙසඳුන් කල්කය රත කල්කය
  • තාලිසාදි චූර්ණය
  • සුදර්ශතා චූර්ණය
  • ත්‍රිඵලා තෛලය
  • නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
  • පිණ්ඩ තෛලය
  • සීතෝදක තෛලය
  • සර්ව විෂාදිය තෛලය
  • කෝල ශෙලස්මා තෛලය
  • පිරිසිඳු මී පැණි
නවරත්න කල්කය
  • නිතර නිතර බඩ බුරුලට මලපහ වීම,වමනය හා අතීසාරයට ලබා දිය හැකිය.
  • භාවිතය- දෙහි ඉස්ම සමග දිය කර කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් සිට තේ හැඳි 1රැ4 දක්වා උදේ සවස
ත්‍රිඵලා පෙති
  • බඩ පිපුම, උදරයේ වේදනාව, උදරයේ දැවිල්ල සඳහා යෝග්‍ය වේ. පෙති 1 බැගින් කෑමට පෙර උදෑසන දහවල් හා රාත්‍රී ගන්න.
  • ආහාර විෂ වීම් නිසා ඇති වන කැසීම් හා පලු දැමීම සඳහා පෙති 2 බැගින් ගන්න.
දෙසඳුන් කල්කය රත කල්කය
  • ළදරු උණ සඳහා කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් ගෙන කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් දිනකට තුන්වරක් ලබා දෙන්න.
  • ළදරු කැස්ස හා සෙම් ප්‍රතිශ්‍යාව කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුරින් හෝ මවි කිරි සමඟ ලබා දෙන්න.
  • සමෙහි කැසීම හා පලු නැගීම සඳහා කොත්තමල්ලි ඇට දෙකක පමණ ප්‍රමාණයක් පොකුරු වද මල් තැම්බූ වතුරින් ලබා දෙන්න.
තාලිසාදි චූර්ණය
  • කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සඳහා තේ හැඳි 1රැ2 මී පැණි සමඟ හෝ උණුවතුර මේස හැඳි 02 දමා තැම්බෙන්නට පානය කිරීම.
සුදර්ශතා චූර්ණය
  • උණ සඳහා තේ හැඳි 1ක් උණවතුර මේස හැඳි 2දමා තැම්බෙන්න තබා පානය කිරීම.
ත්‍රිඵලා තෛලය
  • දැඩි අව්වේ ගමන් කිරීමෙන් වූ හිසරදයට.
  • සෙම රහිත හිසරදයට.
නිර්ගුණ්ඩ්‍යාදි තෛලය
  • සෙම සහිත හිසරදය
  • ඉදිමුම සහිත අස්ථි සන්ධි වේදනා
  • කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනා
පිණ්ඩ තෛලය
  • වැටීමකදී ඇති වුන තැල්මන් සඳහා.
  • මාංශ පේශී ඇදීම, උළුක්කුව, මස් පිඬු පෙරලීම සඳහා.
සීතෝදක තෛලය
  • තියුණු ආයුධයකට කැපුණු විගස ලේ ගැලීමකදීූ.
  • වැටීමකදී තුවාල සිදු වූ විට.
සර්ව විෂාදිය තෛලය
  • කඩියකු දෂ්ඨ කළ විට ඇති වන ඉදිමුමකදී.
  • දළඹුවෙකු ගෑවුන විට පලු නැගීම් වලදී.
  • කෘමීන් දෂ්ඨ කර පලු නැගීමකදී හෝ ඉදිමුම් ඇති විට.
කෝල ශෙලස්මා තෛලය
  • සෙම් ගෙඩි ඇතිවී කෙළ ගිලීම අපහසු වූ විට උගුරේ පිටතින් බෙල්ලෙහි ගෑම.
  • කැස්ස අධිකව ඇති විට පපුවේ හා උගුරේ ගෑමට.
පිරිසිඳු මී පැණි
  • වැටීමකින් පසු, වැදීමකදී හිස පපුව විශේෂයෙන් ඒ විගසින්ම තේ හැඳි 2 පානයට ලබා දීම.

අපේ නිවසේ සිටින බොහෝ දෙනා පීඩාවට පත් වන්නේ සෙම්ප්‍රතිශ්‍යා,උණ,කැස්ස නිසා. එනිසාවෙන්ම මේ අත් බෙහෙත් ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.

සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා
  • අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සහිඳ ලූණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
  • තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත අට හතරට සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලූණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
සෙම සහිත කැස්සට
  • අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
පපුවේ සෙමට
  • සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8*1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
සෙම් ගෙඩිවලට
  • නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
  • මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
  • ගම්මිරිස් කඩු,දිය ලූණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඩි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.)
කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
  • රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
කැස්සට
  • කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
  • වැල්මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
වේලූම් කැස්සට
  • ආඩතෝඩා මුල්රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
  • මෙහි පතක් යනු වතුර තේ කෝප්පයක ප්‍රමානයි. පැත අට එකට සිඳුවා යන්නෙන් අදහස් කරන්නෙ කෝප්ප අටක් වතුර දමා එය කෝප්ප එකක් වන තුරු සිඳවා ගැනීමයි.
ආයුර්වේද වෛද්‍ය,
W.M.S.M  ශිරෝමි විජේසිංහ මහත්මිය,
දියතලාව ආයුර්වේද මහ රෝහල

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article