- Advertisement -

දරුවන්ට ක්‍රීඩාව අත්‍යාවශ්‍යද?

-

එදා සමාජයට වඩා අද සමාජ අතර ඇතිව තිබෙන වෙනස්කම් අතුරින් දරුවන්ගේ ක්‍රීඩා කිරීමද බෙහෙවින්ම වෙනසකට බඳුන්ව ඇත. අලින්ටයි ළමයින්ටයි දඟලන්නටමයි හිත කිව්වට අද හැදෙන දරුවන් ඇඟ වෙහෙසා දහදිය පිටවන තුරු සෙල්ලම් වල නිරත වන්නේ කීයෙන් කීදෙනාද? වීඩියෝ ගේම්, කාටුන්, රිමෝට් කන්ට්‍රෝල්  සෙල්ලම් බඩු අතර දවස ගෙවන ඔබේ පුංචි දියණියගේ හෝ පුතාගේ සෙල්ලම් කිරීම වෙනසකට ලක් කරන්නට කාලය පැමිණ ඇත.

දරුවන් නිරතුරුවම ක්‍රියාශීලී විය යුතුය- දරුවන්ගේ කායික ක්‍රියාශීලීභාවය ඔවුන්ගේ කායික වර්ධනය වගේම මානසික සංවර්ධනය ද වේගවත් කරයි- කුඩා අවදියේ සිටම  ඉතා ක්‍රියාශීලී දරුවන් පසු කලෙක, රුධිර පීඩනය, දියවැඩියාව, හෘදරෝග, පිළිකා හෝ තරබාරු බව වැනි රෝග වලට ලක්වීමේ අවදානම ඉතා අවම බව පර්යේෂණ වලින්ද තහවුරු කරගෙන ඇත. එසේම ක්‍රීඩාවෙහි යෙදෙන දරුවන්ගේ මානසික ආතතිය මඟ හැරී යන බවත්, මතක ශක්තිය වර්ධනය කරගත හැකි බවත් පර්යේෂකයෝ පවසති- දරුවන් කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කිරීමෙන් සමාජ සබඳතා පවත්වාගෙන යාමට අත්වැලක් සපයන අතරම දරුවාගේ ආත්මාභිමානය වර්ධනය කරගැනීමට දරුවාට අවස්ථාව ලැබේ-

- Advertisement -

මානසික ශක්තිමත්භාවය සහ අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව යන ඉතා වැදගත් සංකල්පයන් පුද්ගල සංවර්ධනය සහ කාර්ය සාධනය තීරණය කරන ප්‍රධාන සාධක ලෙස ක්‍රියාත්මක වෙයි- එනිසාවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුලින් එකී මානසික ශක්තිමත්භාවය නිර්මාණය වීම සහ අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය.

ජීවිතයේ අපට කුඩා කළ සිටම අභියෝගයන් ඉලක්ක කරා හඹායාමට සිදුවී ඇත. එහිදී දරුවන්ද පීඩනය, ආතතියට ලක් වීමක් සිදුවේ. ජීවිතයේ එළැඹෙන අභියෝගයන් , අනපේක්ෂිත සිදුවීම් වලට ශක්තිමත්ව මුහුණදීම හා ඔරොත්තු දීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාව මානසික ශක්තිමත් භාවය ලෙස හඳුන්වාදිය හැකිය-

මානසික ශක්තිමත්බාවය සඳහා හික්මීම තිබිය යුතුය. එනම් තම හැගීම්, කැමැත්ත හෝ මානසික තත්ත්වයන් ස්වයං පාලනයට නතු කොට ඉලක්කය හෝ තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හැකියාව තිබිය යුතුය.  ක්‍රීඩාව තුලින් දරුවකුගේ හික්මීම ඇති කරවයි. ක්‍රීඩාව තුලින් යම් ඉලක්කයක් සාක්‍ෂාත් කරගැනීම උදෙසා තම උපරිම ශක්ති යෙදවීම පිළිබඳව ක්‍රීඩකයකු පුරුදු පුහුණු කරයි.එනම් යමක් දිනා ගැනීමට නම් කැපවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. දරුවකුගේ මානසික ශක්තිමත්බාවය ඇති කරවීමට අවශ්‍ය කැපවීම යන කාරණය ද ක්‍රීඩාව තුලින් දරුවාට ලැබේ. ක්‍රීඩකයෙකු තරඟයට ඉදිරිපත් වන්නේම තම හැකියාවන් පිළිබඳව ඇති විශ්වාසය මතයි- අභියෝග හා ගැටළුවලට මුහුණ දීම සඳහා විශ්වාසය ඇතිකරගැනීමට ක්‍රීඩකයා ලබන පුහුණුව තමන් පිළිබඳව තමන්ටම ආත්ම විශ්වාසය ගොඩනගාගැනීමට අත්වැලක් සපයයි. ඒ අනුව දරුවකුගේ මානසික ශක්තිමත්බාවය ඇති කරවීමට අවශ්‍ය ආත්ම විශ්වාසය යන කාරණය ක්‍රීඩාව තුලින් දරුවාට ලැබේ.

මානසික ශක්තිමත්භාවය ඇතිකරගන්නා පුද්ගලයා තමන්ගේ ජීවිතයේ ඇතිවන ගැටළු නිරාකරණය සඳහා දක්‍ෂයෙකු වන අතර ශුභවාදී චින්තනයකින් පිරිපුන්වේ. එහෙයින් ඔවුන් ජීවිතය දෙස යථාර්ථවාදීව පු`ඵල් කෝණයකින් දකින්නට පුරුදු පුහුණුව ඇති හෙයින් ඔවුන්ගේ ජීවිතද සාර්ථකත්වයට පත්වේ. ක්‍රීඩාව පුද්ගලයෙකුගේ මානසික ශක්තිමමත්භාවය උසස් කරමින් පුද්ගල සංවර්ධනයට මාහැඟි අත්වැලක් සපයන බව පවසන්නේ එහෙයිනි.

අප ජීවිතයද එක් අතකින් බලන කල අභියෝග හා දිනුම හෝ පැරදුම තුල දෝලනය වෙමින් ගලා යන ක්‍රීඩාවකි. එනිසා දරුවාට සුදුසු ක්‍රීඩාවක් තෝරා ගැනීමට සහය වීම හා ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීමත් ඒ සඳහා සුදුසුකම් හා අත්දැකීම් සහිත පුහුණුකරුවකු වෙත යොමු කිරීමත් දෙමාපියන්ගේ වගකීමකි- එසේම තරඟයකදී ලබන ජය හෝ පැරදුම සමසිත්ව විඳ දරා ගැනීමට දරුවාට සහය දිය යුතුය.

ඔබේ දරුවා ක්‍රීඩාවේ නියැලීම තුලින් හිමිවන ප්‍රතිලාභ

  • දරුවා කායිකව හා මානසිකව ශක්තිමත්වේ.
  • දරුවාගේ පෞරුෂත්වය වර්ධනයවේ.
  • සමාජය සමග සම්බන්ධතා පවත්වාගැනීමට ඉගෙන ගනියි.
  • දිනුම ලබන්නේ කණ්ඩායම හා එක්වූ විට මිසක තනිව නොවන බව හඳුනා ගනියි.
  • තමාට එරෙහිව නැගෙන විවේචන විඳදරා ගැනීමට මෙන්ම තම හැකියාවන් හා දුර්වලතාවයන් පිළිගෙන ඒවා නිවැරදි කර ගැනීමට අත් වැලක් ලැබේ.
  • ජය පරාජය එක සේ විඳ ගැනීමට හා අන්‍යයන්ගේ මතය ඉවසීමට පුරුදු වේ.
  • තම ඉලක්කයක් සපුරා ගැනීමට නොසැලී ගමන් කලයුතු ආකාරය ඉගෙන ගනියි.
  • තමන් පිළිබඳ ආත්ම විශ්වාසය මෙන්ම ආත්ම අභිමානය ඇති කර ගනියි.
  • තමන් තුළ ඇති දුර්වලතා හඳුනා ගනියි.
  • කාලය කළමණාකරණය කරගැනීමට ඉගෙන ගනියි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article