- Advertisement -

දරුවාගේ සවන්දීමේ කුසලතා වර්ධනයට විනෝදජනක සරල ක්‍රම 19ක්

-

මව්කුසේ සිටින අවධියේ සිටම දරුවෙකුට ශ්‍රවන හැකියාව පවතී. මොලොවට බිහිවීමත් සමගම තම පවුල තුළින් මෙන්ම  තමා අවට සිටින වෙනත් පුද්ගලයන් හරහා සෑම දරුවෙකුම බොහෝමයක් දේ උකහා ගනී. දරුවෙකුගේ භාෂා ඥානය සංවර්ධනය වන්නේ මෙවැනි වටපිටාවක් තුළයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ භාෂා වර්ධනය සවන්දීමේ කුසලතා වර්ධනය/කථන කුසලතා වර්ධනය/පෙර කියවීමේ කුසලතා වර්ධනය සහ පෙර ලිවීමේ කුසලතා වර්ධනය යන අංශ තුන යටතේ සාකච්ඡාවට බදුන් කළ හැකිය. මෙම අංශ හතර සඳහාම සෑම දරුවෙකුහටම සිය නිවසින් ද විශාල සහයෝගයක් අවශ්‍ය වේ. එය මව්පියන් වශයෙන් අපහට පැවරෙන විශාල වගකීමකි. ඉහත දැක් වූ එක් එක් අංශ පිළිබ`දව සවිස්තරාත්මකව මව්පියන් දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වන අතරම මේ ලිපිය තුළින් මූලිකත්වය ලබදෙන්නේ දරුවෙකුගේ සවන්දීමේ කුලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් නිවසේදීම මවට සහ පියාට සිදුකළ හැකි ක්‍රියාකාරකම් පිළිබ`දව සාකච්ඡා කිරීමටයි.

දරුවෙකුගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය කිරීම තුළින්

- Advertisement -
    1. අලූත් වචන දරුවාගේ ශබ්ද කෝෂයට එක්වීම නිසා භාෂා වර්ධනය
    2. කතා කිරීමේ හැකියාව වර්ධනය වේ
    3. නිර්මාණශිලී බව
    4. මතක ශක්තිය වැඩි දියුණු වීම
    5. ඉවසීමේ ගුණය
    6. යමක් අවබෝධ කරගැනීමේ හැකියාව
    7. චිත්ත රූප මැවීමේ හැකියාව බොහෝ සෙයින් ප්‍රගුණ වේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් යනු පෙර පාසැල් වියේ දරුවන්ය. මව්පියන් ලෙස ඔබ දරුවෙකුගේ සමස්ත නිරෝගී වර්ධනය කෙරේ අවධානය යොමු කළ යුතු අතරම ඒ හා සමානම වගකීමක් පෙර පාසැල් ගුරුවරියටද පැවරේ. කෙසේ වුවද මේ තුළින් මාපියන්හට දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කෙරේ නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් හඳුන්වා දීම අපගේ අරමුණයි.අවධානයෙන් සවන්දීම/අවබෝධයෙන් සවන්දීම/විනෝදාත්මක සවන්දීම ලෙස සවන්දීමේ හැකියාව දියුණු කිරීමෙහි පියවර තුනක් දැක්විය හැකිය. මෙම පියවර තුන ඔස්සේම දරුවා සංවර්ධනය කිරීමට ඔබ කැප විය යුතුමය. ඒ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් හිමි කරදීමේ අරමුණෙනි.

දරුවන්ගේ සවන්දීමේ කුසලතා වර්ධනය කිරීමට පහත දැක්වෙන විනෝදජනක ක්‍රියාකාරකම් ඔබට යොදා ගත හැකිය.

1 කතා කිරීම හා සවන්දීම – දෛනිකව නිවසේ සිදුවන දේ පිළිබඳව දරුවා සමගද අදහස් හුවමාරු කරගන්න.

2 ශබ්ද මගින් ක්‍රීඩා – ලී කැබලි/ටින්/ඇට වර්ග/සීනු/හැඳි/සොලවන උපකරණවලින් එක් එක් හඬවල් ඇති කරගනිමින් දරුවාට ඒවා හඳුනාගන්නට අවස්ථාව ලබාදෙන්න.

3 ශබ්ද පෙට්ටි – පරිප්පු වැනි ධාන්‍ය වර්ග/වැලි/ගල් කැට/මදටිය/සියුම් ගල් කැට වැනි දේ එක් එක් එක වර්ගය බැගින් සිලින්ඩර දෙකකට දමා පිටතට නොඑන ලෙස හොඳින් වසන්න. මේ ආකාරයෙන් එක හා සමාන සිලින්ඩර යුවළ කිහිපයක් සකසා ගන්න. එවිට ඔබට එක් සිලින්ඩරයක් සොලවා ඒ හා සමාන හ`ඩ ඇති අනෙක් සිලින්ඩරය තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන්න.

4 දුර/ළඟ ඇතිවන ශබ්ද හඳුනාගන්න අවස්ථාව සලසන්න

5 දුරකථන සංවාද – භාවිතයෙන් ඉවත් කළ දුරකතන/සෙල්ලම් දුරකතන ඇත්නම් ඒවායෙන් හෝ ප්ලාස්ටික් කේප්ප දෙකක් නූලකින් සම්බන්ධ කිරීමෙන් සාදා ගත් දුරකථනයකින් මෙම අත්දැකීම දරුවාට ලබාදිය හැකිය.

6 ඉබේ ඇතිවන එක් එක් ශබ්ද හඳුනා ගැනීමට අවස්ථාව සැලසීම – දොරක්/ජනේලයක් වැසෙන හඬ හෝ හුරුප්රුදු යම් යම් දේ බිම වැටෙන හඬවල් හඳුන් ගැනීමට දරුවාට අවස්ථාව සැලසීම.

7 කටහඬ හඳුනාගැනීම – පවුලේ සාමාජිකයන්ට සැඟවී දරුවා සමග කතාකරන්නට උපදෙස් දී කටහඬින් ඒ තැනැත්තා හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

8 පණිවිඩ ගෙන යෑම – පුතේ ආච්චිට කියන්න බුදුන් වඳින්න එන්න කියලා වැනි පණිවිඩ දරුවා මාර්ගයෙන් හුවමාරු කරන්න

9 නිශ්ශබ්ද ක්‍රීඩාව – විනාඩි කිහිපයක් නිහඬව හිඳින්න. ඒ අවස්ථාවේ දරුවාට ඇසුණු දේ පිළිබඳව කතා බහ කරන්න.

10 නිදහසේ කතාබහ කරන්න – පෙර පාසල තුළ මෙන්ම නිවසේදීත් සහෝදරයන් වැඩිහිටියන් යහළුවන් සමග අත්දැකීම් ඛෙදාහදාගනිමින් කතා බහ කරන්නට අවස්ථාව සලසා දෙන්න. ඒ හරහා දරුවෙකු අනෙකාට සවන්දීමට මෙන්ම ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටද හුරු වේ.

11 ගයන්න, රඟන්න – දරුවා කැමති ආකාරයේ කවි, ගීත ගයන්නට වැඩිහිටි ඔබත් දරුවා සමග එක්වන්න.

12 තාලයට අනුව ගැයීම – එක වචනයක්/එක සමාන වචන පේලියක් හෝ එකම තාලයකට අනුව ගැයීමට උනන්දු කරවීමයි. උදාහරණයක් ලෙස  ”කාක්        කාක්      කාක් – කෝක්      කෝක්   කෝක්වැ” නි පද භාවිතය දැක්විය හැකිය.

13 රංගනය – දරුවාගේ සිතට කා වැදුණු නොයෙකු චරිතවලට පණ පොවන්නට දරුවාට අවස්ථාව සලසා දීම මෙහිදී ප්‍රධානව සිදුවන කාර්යයි. උදාහරණයක් ලෙස අම්මාගේ චරිතය අනුකරණය කිරීම දැක්විය හැකිය.

14 තාල අනුකරණය – එක් එක් තාලයට අත්පුඩි ගැසීම මෙහිදී සිදුකළ හැකිය. එනම් කෙටි අත්පුඩි දෙකක් හා දිග අත්පුඩියක් එක්කෝ දිග අත්පුඩි දෙකක් හා කෙටි අත්පුඩි දෙකක් ලෙස සරල ක්‍රියාකාරකමක් දරුවාට ඉගැන්විය හැකියි.

15 තාලයට අනුකූල චලනය – අත්පුඩියේ හෝ සංගීත කණ්ඩයක තාලයට දෑත් දෙපා චලනය දරුවාට හුරුකරන්න.

16 තේරවිලි – තේරවිලි කවි අසන්නට සැලැස්වීම
උදා – ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක්

17 කතන්දර කීම – කෙටි/සරල කතන්දර මගින් දරුවෙකු ලබන තෘප්තිය අතිමහත්ය. මෙහිදී කතාන්දර කීමට දරුවාට අවස්ථාවක් සලසා දීමටද ඔබට හැකියි. එනම් පින්තූර කාඩ්පතක් ලබා දී දරුවාට හැෙ`ගන පරිදි කතාවක් ගොඩනඟන්නට අවස්ථාව සලසා දිය හැකිය.

18 සංගීත භාණ්ඩ වාදනයට ඉඩ ලබාදීම – මෙවැනි භාණ්ඩ සරල ලෙස නිවසේදීම ඉතා ආරක‍ෂාකාරී ලෙස සකසා ගැනීමට වැඩිහිටි ඔබට හැකියාව පවතී. උදාහරණ ලෙස ඉවතලන ද්‍රව්‍ය හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව සකසා ගත හැකි පොල් කටු තාලම්පට/ උණ බට ඛෙරය/ නලා/සීනු/ තාලම්පට වැනි සංගීත භාණ්ඩ දැක්විය හැකිය.

19 රූකඩ නැටවීම – මේ වන විට මේ සඳහා අවශ්‍ය බොහොමයක් ක්‍රීඩා භාණ්ඩ වෙළඳ පොලෙන් මිලදී ගත හැක. එසේ නැතිනම් රූප කපා කාඩ්බෝඩ් මත අලවා සිහින් බටයක අලවා හෝ ප්‍රයෝජනයට ගත හැකිය. මෙහෙිදී එම චරිතවලට හඬ කවමින් දරුවාට විනෝදජනක අත්දැකීමක් ලබාදීමට ඔබට හැකියි.

මේ දැක්වූයේ ඔබේ දරුවාගේ සවන්දීමේ කුසලතාවය වර්ධනය සඳහා කුඩා වියේ සිටම ඔබට නිවසේදීම සිදුකළ හැකි ක්‍රියාකාරකම් කිහිපයකි. මේ වෙනුවෙන් ඔබේ කැපවීම මතු දිනක ඔබේ දරුවා විශිෂ්ඨ පුද්ගලයෙකු කිරීමට ඔබට සහය වන බව නිසැකවම පැවසිය හැක.

පෙර පාසැල් ආචාරිනි ක්‍රිස්ටින් ෆ්‍රැන්සිස්කා සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article