- Advertisement -

ප්‍රසුතියේන් පසු ඔබේ බිරිඳත් මේ ලකෂණ පෙන්නුම් කරනවා නම් සැලකිලිමත් වෙන්න

-

ගර්භණී සමයේදීත් දරුවා ලැබී ගත වන වසරක පමණ කාලසීමාව තුළදීත් කාන්තාවකගේ චිත්තාවේග පුළුල් පරාසයක විහිදෙනවා. කනස්සල්ල, මූලිකව හටගන්නා හැඬිම, නොරිස්සුම හා අධි සංවේදී බව වැනි මානසික ස්වභාවයන් මේ කාලයේදී බොහෝ විට දැකිය හැකි තත්ත්වයන්ය.

දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන දින කිහිපය තුළ ආතතිය, බහුලව ඇතිවන පොදු තත්ත්වයක්. මව්වරුන් අතරින් 80% කට ආසන්න පිරිසක් මේ මානසික තත්ත්වයට මුහුණ දෙන බව කියවෙනවා. මෙයට හේතුව වන්නේ දරුවා බිහි කිරීමෙන් පසු සිරුරේ සිදුවන හෝමෝනයන්ගේ වෙනස් වීමයි. එමෙන්ම කොටිසෝල් සාන්ද්‍රණය ඉහළ යාමත්, ප්‍රසූතිය අතරතුරේදී සිදුවන ආසාදන තත්ත්වයනුත්, දරුවාගේ මුල් වයස් කාලයේදී මවගේ වගකීම් වැඩිවීම මත ඇතිවන අවිවේකි බවත් මෙයට හේතු කාරණා වේ. මේ සියලූ කාරණාවලට අමතරව ආර්ථීක ගැටලූවලට මැදිවන කාන්තාවන් බිළිඳාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යාමේදී ඒ මත විඳින්නට සිදුවන පීඩාවන්ද මානසික ව්‍යාකූලතාවලට පෙර නිමිති වේ.

- Advertisement -

පසු ප්‍රසව මානසික වික‍ෂිප්ත භාවය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මුල් සති දෙක තුළ ඇතිවන තාවකාලික තත්වයකි. හැඬිම, නුරුස්සනා සුලූ බව, මානසික අවපීඩනය ඇතිවීම වැනි ලක‍ෂණ පෙන්නුම් කරන අතරම මේ සඳහා ස්වාමිපුරුෂයාගේ, පවුලේ අයගේ සහයෝගය, ආදරය, කරුණාවන්ත බව ලැබීම වැදගත් වේ. සති දෙකට වඩා පවතී නම් පසු ප්‍රසව විශාදය තත්ත්වයට පත්විය හැකියි.

මේ කාලයේදී මවට ප්‍රසව විශාදය, ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්ව ඇති වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා, මේ පිළිබඳ විශේෂයෙන්ම තේරුම්ගත යුතු පුද්ගලයා සහ දැනුවත් විය යුතු පුද්ගලයා වන්නේ ස්වාමිපුරුෂයායි. තම බිරිඳ සමග සියලූම කාර්යයන්වලට උර දීමට ඔහුට හැකියාවක් ඇත්නම් මෙවැනි තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැඛෙනවා. තම බිරිඳගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හඳුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහ දිවිය ගෙවන්නට අවැසි අවබෝධය ස්වාමිපුරුෂයෙකු වශයෙන් ඔබට තිබිය යුතුමයි. යම් යම් අවස්ථාවන්වලදී ඔබේ දයාබර බිරිඳ පීඩාකාරී මානසික පසුබිමක සිටියත්, ඒ බව ඔබට නොපවසන්නේ ඇය තුළ පවතින පීඩාකාරී මානසික වටපිටාව නිසාමයි. එවැනි අවස්ථාවල ඇයව හොඳින් තේරුම් ගැනීමට ස්වාමිපුරුෂයා ලෙස ඔබට පුළුවන් නම් ඇයට එය මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

එසේ නොමැතිව ඔබ ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමක් සිදු කළහොත් ඇය තව තවත් අසරණ වනු ඇත. ස්වාමිපුරුෂයාගේ දැඩි ආදරය, රැකවරණය තම බිරිඳට ලැබුණහොත් බිරිඳට ඇතිවන මානසික පීඩනය අවම වේ. එසේ නැතිවුණහොත් ප්‍රසූතියකින් පසු ඇතිවන ගැටලූ මත මව හා බිළිඳා අතර දුරස් බව ඇති වන අතර එය දරුවාගේ වර්ධනය සහ ආරක‍ෂාව කෙරෙහි සෘජුවම බලපායි. මෙවැනි තත්ත්වවලදී සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව කේන්තිය, දරුවා නොරිස්සීම, ස්වාමියාගෙන් වෙන්ව සිටීම වැනි දේවලට පෙළඹේ. මේ තුළ විශාදය වැනි මානසික සෞඛ්‍යය ගැටලූ ඇති වීමටද හැකියාව පවතී.

විශාදයේ ලක‍ෂණ

දරු ප්‍රසූතියෙන් සති 6 ක් ඇතුලත දැකිය හැකි තත්ත්වයකි. නොසලකා හැරීමෙන් මාස 6 කට වඩා වැඩි කාලයක් පැවතිය හැකියි. බොහෝ අවස්ථාවල මේ සමග ඇතිවන වෙනස්කම් වෙන් වෙන් වශයෙන් පහදා දීමත් අසීරුය. සමහර පැවතුම් ම`ද වශයෙන් වෙනස්වීමේ හැකියාව පවතී. සිතෙහි ඇතිවන කලකිරීම, සතුටක් නොලැබීම, දුර්වල යැයි හැඟීම හා වෙහෙසට පත්වීම (ඉක්මණින්), අවධානය අඩු වූ විට තරහ යාම, නින්දයාමේ වෙනස්කම්, ආහාර රුචිය නැතිවීම, නින්ද අඩුවීම/වැඩිවීම, ආහාරු රුචිය අඩුවීම/වැඩිවීම වැනි දේවල සිදුවන වෙනස්කම් මෙහි රෝග ලක‍ෂණ ලෙස සැලකිය හැකිය. මව සැමියා/අන් අය කෙරේ ඇති කර ගන්නා නොරිස්සුම් ස්වභාවය නිසා ඉතාමත් ඉවසීමෙන්, කල්පනාවෙන් හා ආදරයෙන් මවට සමීපව කටයුතු කිරීම කළ යුතුයි.

සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මේ ලක‍ෂණ අත් විඳිනවා නම් ඔබ උපකාර ලබාගත යුතු මොහොත එළඹ ඇතැයි සිතන්න. එනිසා මෙවැනි රෝගී ලක‍ෂණ ඔබට ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු වෙනවා.

  • අසන්තෝෂය, අප්‍රාණික ගතිය
  • පරාජිත බව, වරදකාරී හැඟීම්, ලැජ්ජාව, බලාපොරොත්තු සුන් වූ බව
  • දුක වැනි හැඟීම් ඇති වීම/නිතර කදුළු සලන්නට සිතීම
  • තරහ, නුරුස්සනාකම
  • නිදාගන්න බැරිකම, රාත්‍රියේදී දරුවාට කිරි දුන් පසු මවට නින්ද නොයාම/අධික ලෙස නින්ද යාම හා බියකරු සිහින දැකීම
  • ආහාර රුචියේ වෙනස්කම්
  • සමාජ ආශ්‍රයෙන් දුරස් වීම/තමා ගැනම නොසලකා හැරීම
  • සාමාන්‍යයෙන් විනෝදයට සතුටට පත්වන දේ පිළිබඳ උනන්දුවක් නැති වී යාම
  • පැහැදිලිව සිතන්නට හා තීරණ ගැනීමට නොහැකියාව ඇති වීම

මෙවැනි තත්ත්වයකින් මිදීමට යම් කාලයක් ගතවන බව වටහාගත යුතු අතර ඒ කාලය කෙරතම් අසීරු වුවත් ඉවසිලිවන්තව උපේක‍ෂා සහගතව තම බිරිඳ රැකබලාගැනීම ස්වාමිපුරුෂයාගේ වගකීමයි. මෙය ඇයට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් වන අතර කිසිවිටෙක ලැජ්ජා වීමට කරුණක් නොවනු ඇත. එමෙන්ම මෙවැනි තත්ත්වයක් උද්ගතවන්නේ කාන්තාවක් වන ඇයගේ වරද නිසා නොවන බවද සිහි තබාගත යුතු අතරම ඇයට තමා පිළිබඳවත් තම දරුවා පිළිබඳවත් සැලකිලිමත් වීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ස්වාමියා වන ඔබ වෙතින් ලබා දිය යුතුය. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගත් විට ඉක්මණින් මෙම තත්ත්වයෙන් මිදීමේ හැකියාව පවතී. ඖෂධ ප්‍රතිකාර මග නොහැරෙන සේ ලබාදීමත් මවව හොඳින් රැකබලා ගැනීමත් මවව අගය කිරීම් හා ප්‍රශංසනාත්මක ලෙස කටයුතු කිරීමත්, හුදෙකලා නොකර ඇය සමග කාලය ගත කිරීමත් වැදගත් වේ.

ස්වාමිපුරුෂයා ලෙස/පියා ලෙස ඔබ

මෙවැනි තත්ත්වයන්වලදී අවශ්‍ය සියලූ උපකාර ඉතා සමීපව සිදු කළ හැකි සුදුසුම තැනැත්තා පියාය. රෑ දෙගොඩ හරියේ දරුවා අඬනවා නම් පියාට දරුවා බලාගැනීමට බොහෝ විට ඉඩකඩ තිඛෙන අතර එමගින් මවට ටිකක් විවේක ගැනීමට හැකිවෙයි. එමෙන්ම දරුවාගේ නැපි සේදීමට, ළදරුවා නෑවීම වැනි අවස්ථාවලදී බිරිඳට උදව් කිරීම ඔබට කළ හැකි වේ. එමගින් දෙමව්පියන් දෙදෙනාගේම සහයෝගයෙන් හා එකමුතුවෙන් තම දරුවා හදා ගැනීමට අවස්ථාව හිමි වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග චමිලා සෙනෙවිරත්න විසින් සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article