- Advertisement -

මල්වර උත්සව

-

දැරියක් මල්වරවීම කියන්නේ කියන්නේ ඔසප්වීම චක්‍රයේ ආරම්භ වීමයි. වෛද්‍ය විද්‍යාත්මකව නම් මෙම සංසිද්ධිය මේ විදිහට හඳුන්වන්න පුලුවන්. ඇඩම්සන් හොබෙල් නැමැති සමාජ විද්‍යාඥයා පවසන්නේ මල්වර වීම යනු තාරුණ්‍යයේ හිමිදිරියෙන් වියපත්වීමේ උදාවයි.

දැරියකගේ මල්වර වීම මුල් කර ගෙන උත්සවයක් සංවිධානය කරන්නේ ඇයි…ඒ වෙනුවෙන් සාධාරණීකරණයටත් බොහෝ හේතු දැක්වීමට දෙමව්පියන් සූදානම්.

- Advertisement -
  • මේ අවස්ථාව ඇති වෙන්නේ ජීවිතයටම එක් වතාවක් පමණයි.
  • ගැහැණු දරුවෙක්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
  • අලුත් ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක්.

ඒ වුනත් මල්වර සිරිත් අපිට බැහැර කිරීම අපහසුයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක්. මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම අයිතියි. මෙම කාලසීමාව තුළ තිබෙන අපල උපද්‍රව නිසා ඇයට ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා මේ කාලයේදී දැරිය වෙනුවෙන් තනියට තවත් කාන්තාවක් නවත්වනවා. ඒ වගේම පිරිමි කටහඩක් ඇසීමටවත් දෙන්නේ නැහැ.

ඒ වුනත් අද මේ චාරිත්‍රය සිද්ධ කිරීම අපහසුයි. ඊට හේතුව කාර්ය බහුල ජීවිතයේ ඇය ආරක්ෂා කිරීම වෙනුවෙන් රඳවා තබන්නත් කාන්තාවන් ඇත්තේ නැහැ.ඒ නිසා අතීතයේදී සතියක් හෝ දින දහයක් පමණ නිවසේ වෙන් කර ගෙන සිටියත් අද දින දෙක තුනකට මේ තත්වය සීමා වෙනවා.

අපේ රටේ බොහෝ ප්‍රදේශවල මල්වර චාරිත්‍ර හා උත්සව උත්කර්ෂවත්ව සිද්ධ වුනත් බොහෝ දෙනාගේ අදහස වන්නේ එය දැරිය අපහසුතාවයට පත් කිරීමක් බවයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ බො‍හෝ දෙනෙක් මල්වර උත්සව ප්‍රසිද්ධියේ ගැනීම අනුමත කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ එය හරියට මල පිපිලා තිබෙනවා…බඹරුන්ට ආරාධනා කිරීමකට සමාන බවයි.

ඒ වගේම මල්වර වීම සමග බැඳී තිබෙන සිරිත් සහ සම්ප්‍රදායන් බොහොමයක් තිබෙනවා. ඒ හැම දෙයකින්ම දැරියගේ ජීවිතයට සුබ ශාන්තිය ඇති වෙනවා වගේම ඇය මානසිකවත් අලුත් වෙනවා. ජීවිතයේ තිබෙන විවිධ අපල සහ දෝෂ දුරු වෙන විදිහටත් මල්වර සිරිත් සකස් වී තිබෙනවා. එහෙම නම් මේ සියල්ල තුළ තවත් අන්දමින් පුංචි මගුල් ගෙවල් වගේ උත්සව සංවිධනය කිරීම අවශ්‍යද…?

මල්වරවීමට පසුව ඇයට තුන්මාසයක්ම සුබ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීමට අවසර නැහැ. ඒ මේ දැරිය කිල්ලට හෙවත් අපිරිසිදුතාවයට පත්ව ඇති නිසයි. ඒ වගේම ඇයට මස් , මාලු , බිත්තර ලබා දෙන්නේ නැහැ. අමනුෂ්‍ය දෝෂ ඇති වෙන නිසා මේ විදිහට ආහාර තහංචි තිබුනත් ඇතැමුන් කියන්නේ මෙම ආහාර නිසා පිටවෙන රුධිරයේ දුර්ගන්ධය ඇති වෙන අතර හදිසියේ හෝ අජීර්ණ තත්වයක් ඇති වුනොත් අද මෙන් ඇතුලත වැසිකිලි නොමැති නිසා මේ තත්වය ඉතා අපහසුතාවයට පත් වෙන බවයි.

ඒ වගේම මස්, මාලු වැනි ආහාර තෙලෙන් බැද නොදී කිරට පිළියෙල කර දීම අවැඩක් නොවන බව ආයුර්වේද හා ‍ජෙය්‍යාතිෂවේදිනී හිමාලි හේරත් මහත්මිය සඳහන් කරයි. මේ කාලසීමාවේදී දැරියගේ  පෝෂණය වැදගත් නිසා තැම්බුම් හොද්ද ලබා දීමත් සිද්ධ වෙනවා. ඒ වගේම හිමාලි හේරත් මහත්මිය සඳහන් කරන්නේ තෙල් බැදුම් වෙනුවෙන් අමනුෂ්‍ය බැල්ම ඇති වීම තවත් හේතුවක් බවයි.

රජරට ප්‍රදේශවලදී  නිවසින් පිටත තිබෙන පැඟිරි කඩුල්ලෙන් දැරිය පැනීමට නියමිතයි. එයින් අර්ථවත් කරන්නේ දැන් ඇය ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළ වගයි.

මල්වර සිරිත් එදා ඉටු කරනු ලැබුවේ රෙදි නැන්දා විසින්. වැඩිවිය පත් දැරිය හැඳ සිටි ඇඳුම් සහ ආභරණ මුට්ටියකට දමන අතර එය “වස්හැලිය” යනුවෙන් හැඳින්වුනා. මෙය ඉවත් කරන්නේ දැරිය නාවන දිනයටයි. ඒත් අද මේ කාර්යය කිරීමට රෙදි නැන්දාවරුන්  නොමැති නිසා එම සිරිත් අභාවයට යමින් තිබෙනවා.

හින්දු සිරිත් අනුව දැරියක් මල්වර වූ විගසම අඟුරුවලින් එම ප්‍රදේශය සීමා කරනවා. දැරිය ලිඳක් වෙතට ගොස් සිරැර පිරිසිදු කොට නැවත නාවන තෙක් ඇයට මස් , මාලු ආහාරයට දෙන්නේ නැහැ. එළගිතෙල් හා බිත්තර වැඩියෙන් ලබා දෙන්නේ දැරියගේ ප්‍රජනන ශක්තිය වැඩි වීමටයි. කොහොඹකොළ, ගම්මිරිස් , ඉඟුරු, සුදුළූණු සහ කහ අඹරා හකුරු සමග ලබා දෙනවා. එයින් ඔසප් වේදනාව දුරු වෙන බවටත් විශ්වාස කරනු ලැබුවා.ජලය පානය කිරීම නිසා උදරය ඉදිරියට එතැයි විශ්වාස කල බැවින් ජලය වෙනුවට කෝපි ලබා දුන්නා.

හින්දු ජාතිකයන් විසින් දැරිය නාවන දිනයේදී ඇයට පිලියල කරනු ලබන ඇදුම් කහ වතුරෙන් සෝදනවා. යාපන ප්‍රදේශයේදී නම් දැරියගේ කාමරයේ අඳින සෘජුකෝනාඝ්‍රාකාර කාමරයේ දින හතක් ඇය රඳවා තබනවා. හින්දු මල්වර සිරිත් අතර ආලත්ති තටු සකස් කරන අතර මේ වෙනුවෙන් මල්, පළතුරු, කැවිලි, පිට්ටු, කිරිබත් , සූකිරි හා වී වැනි ද්‍රව්‍යයන් අයත් වෙනවා. මෙම කටු නවය දැරියගේ හිස වටා කරකවා රෙදි නැන්දාට ලබා දෙනවා. වී ටිකකට මන්නයක් දමා එයත් දැරියගේ හිස වටා කරකවමින් ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා.හින්දු වැසියන් මල්වර වුන දැරියට අයියර් ලවා ආහිර්වාද ලබා ගනී. ” මනවර”” යනුවෙන් හැදින්වෙන මෙම සිරි‍තේ  ප්‍රාදේශීය වශයෙන් වෙනස් වීම් තිබෙනවා.

ඉස්ලාම් සිරිත්

දැරිය මල්වර වූ නිමිති දැනගත් විට ඇය නාවා දින හතක් වෙන් කර තබනවා.පිරිමින්ගෙන් මුවාකර තබන අතර යකඩයක් අතට දී ආරක්ෂාව සපයනවා. ඌරු මස් හැර වෙනත් මස් වර්ග ඇයට ආහාරයට ලබා දෙනවා.  පිට්ටු සහ පොල් යොදා ගෙන තනන ලද ආහාර වැඩියෙන් ලබා දෙන්නේ එයින් ඔසප් වේදනාව සමනය වෙනු ඇතැයි වූ විශ්වාසය නිසයි. ඇතැම් අය ලෙබ්බේ ලවා නැකැත් සාදා ගන්නා අතර අම්මා , ආච්චි හෝ නැන්දා විසින් දැරිය නාවා ගෙට ගන්නවා. ඒ අවස්ථාවේදී මුට්ටියක් බිඳීම හෝ ඇය පිටුපසට බිත්තරයක් බිඳීම සිද්ධ වෙනවා. දැරිය මුලින්ම දකින්නේ පහනවක් එයින් පසුව පසෙක තබා ඇති කුරානයේ කොටසක් කියවනවා. උත්සව ගැනීමක් සිද්ධ නොවුනත් එතැන් පටන් ගැහැණු දරුවා පන්ජාබ් හෙවත් සිරුර වැසෙන සේ ඇදුම් ඇඳීම අවශ්‍යයි.

මල්වර සිරිත් තුළ තිබෙන බොහෝ දේ කිසියම් විදයාත්මක ගැලපීමක් සමග සම්බන්ධයි. ඒ නිසා මේ සිරිත් අපිට ඉවත දැමීමට අපහසුයි. එහෙත්…අනවශ්‍ය විදිහට උත්සව පැවැත්වීම ගැන තීන්දු තීරණ ගැනීමට පෙරාතුව දෙවරක් හිතුවොත්…?

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article