දරුවන්ට ඉලෙක්ට්‍රොනික් උපකරණ සීමා කරන්න

kids_using_smartphones

සමහරක් වෙලාවට තාක්ෂණයේ දියුණුව නිසාම මිනිස්සුන් අමාරුවෙ වැටෙනවද කියලත් හිතෙනවා. බලන්නකො දැන් අඬන දරුවා නළවගන්නත් ස්මාට් ෆොන් ටැබ් වලට පුලුවන්. කෙටියෙන්ම කිව්වොත් දරුවො සන්සුන් කරන එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ ස්මාට් ෆොන් ටැබ් පරිඝණක රූපවාහිනිය වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණයි.

පසු ගිය දිනෙක මගේ දඟයා අසනීප වුන නිසා ප්‍රතිකාර ගන්නට වෛද්‍යවරයා වෙත ගියා.ඉතින් මගේ වාරය එන තෙක් රැඳී සිටින්නට සිදු වුනා.ඔය අතර සිදු වුන සිද්ධි කිහිපයක් තමයි මේ ලිපිය අකුරු කරන්නට හේතුව. මවත් පියාත් සමග පැමිණ සිටි  අවුරුදු හතක හා පහක පමණ වයසැති දියණියන් දෙදෙනාගෙන් කුඩාම දියණිය අත තිබුණේ ස්මාට් ෆෝනයකි. කාලය ගත වෙලා යන්නේ පුදුම වේගයකින්නේ. ඔන්න දැන් විනාඩි හතලිස් පහකුත් ගත වෙලා. තාමත් නොනැවතිල්ලෙම දැරිය ෆෝනය දෙස නෙතු යොමාගෙනඇඟිලි තුඩු ෆෝනයේ ඒ මේ අත මෙහෙයවනවා . ඔය අතර එතනට තවත් පුද්ගලයකු ආවා.දියණියන් දෙදෙනාගෙ පියා සමග කතා බහ කල ආකාරයෙන් ඔවුන් දන්නා හඳුනන අය බව මට හිතුනා.

“ආ මොකද මේ ෆෝන් එක දිහාම බලාගෙන චූටී බබෝ. මේ ඔය ෆෝන් දරුවන්ගේ ඇස් වලටයි මොළයටයි දෙකටම හොඳ නැහැ, එක දිගටඉන්න දෙන්න එපා”

ඔහු දියණියන්ගේ දෙමාපියන්ටඅවවාද කලා.

“ෆෝන් එක නිසා ඔය ඉන්නේ නැත්නම් මෙතන විසුමක් නැහැ”

ඒ දරුවන්ගේ පියාගේ පිළිතුර විය.

තවත් වයස අවුරුදු හයක පමණ දියණියක් මවක් සමග අප අසලින්ම හිඳ ගත්තාය. ඉඳ ගත් තැන සිටම මව ඇය අත තිබූ ස්මාට් ෆෝනයට මද හදහසක් පාගෙනම යම් කාරියකි. පුංචි දියණියගේ දෑස් වල කඳුලුය ඒ ඇයට උණ නිසා වන්නට ඇත. ඇය උන්නේ දැඩි අපහසුතාවයකින්ය.

“අම්මා වතුර”

“අර ෆිල්ටර් එකෙන් වතුර එකක් අරන් බොන්න”

දියණිය ඊට මැලි වුවාය.

“අම්මා වතුර”

තවත් ටික වේලාවකට පසු දියණිය කීව්වා

“හ්ම් එන්න… එන්න … බොන්න පැටියෝ”

නැවත අසුන් ගත් මව ස්මාට් ෆොනයට මදහස පායී. ඒ මොහොතේ ඒ මව ස්මාට් ෆෝනය පැත්තකට දමා දියණියව ළඟට ගත්තා නම් කියා මට සිතුනේ දැරිය ඒ තරම්ම අපහසුවෙන් සිටි නිසාවෙන්ය. අවසානයේ දියණි මවගේ පැත්තකින් මවගේ අතකට හේත්තු වූනා.

ඔන්න දැන් තවත් වයස අවුරුදු එකහාමාරක විතර බබෙක් තාත්තගේ උකුලට වෙලා ටැබ් එකේ සින්දු බලනවා. එක සින්දුවක් ඉවර වුන ගමන් තවත් එකක් දමන්නට කියමින් අඬනවා.

“බේරන්නම බෑ නේද?”

“ඔව් කොයි වෙලෙත් සින්දු බලන්න ඕනී”

දරුවගෙ මව අසල සිටි කාන්තාවට පිළිතුරු දුන්නා.

මම මේ බලන්නේ අනුන්ගේ ඔපා දූප වුනත් අපි නොදැනුවත්ව අපි අතින් අපේ දරුවන්ට සිදු වන්නේ නපුරක්  නිසාවෙන්ම ඔබ වෙනුවෙන් මේ සටහන් තබන්න මට හිතුනා. ඇත්තටම දරුවන් දඟයන්ය. අලින්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියන්නේ එකනේ. අපේ පොඩිත්තෝ සන්සුන් කරවන්න, කෑම ටික කවා ගන්න හොඳම විකල්පය ස්මාටි ෆෝනය, රූපවාහිනිය ,පරිඝනකය වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණ නම් …

දැනට ලොව පුරා කෙරී ඇති සමීක්ෂණ වලට අනුව දරුවන් ස්මාටි ෆෝනය රූපවාහිනිය පරිඝනකය හා විඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී ඇත. මෙම උපකරණ සෘජුවම බලපෑම් කරනුයේ දරුවන් මොළයට බව ඔවුන් පවසනවා. දරුවකුගේ මොළයේ සීඝ්‍ර වර්ධනයක් සිදු වන්නේ ළමා අවදියේ. දරුවකුගේ බුද්ධිය වර්ධනය කිරීමට නම් ඔවුන්ගේ මොළයේ ස්නායු සෛල වර්ධනය කළ යුතුය. දරුවාට ඇති අඩු ස්නායු සෛල වර්ධනය වීමට නම්  ස්නායු සෛල උත්තේජනය කළ යුතුයි.  ඒ නිසා ඇස, කන, නාසය, දිව හා ශරීරය කියන පංචේන්ද්‍රයන් නිසියාකාරව ක්‍රියාකරවීම තුලින් ස්නායු සෛල වර්ධනය කරවන්න පුලුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට ඇබ්බැහිවීම නිසාවෙන් බුද්ධිවර්ධනයද අඩාල වෙනවා.  දරුවාගේ අවධානය, මතකය, ස්වයං පාලනය, සිතිමේ හැකියාව, නිර්මාණශීලීත්වය යන අංශ සඳහා සෘජුවම බලපෑම් එල්ල කරනවා.

ස්වභාවික පරිසරය ගවේෂණය කර ලබා ගන්නා දැනුම ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය නිසා හීනවෙනවා. දරුවන් එකිනෙකා එක්ව සෙල්ලම් කරන විට ඇති වන ගැටුම් නිරාකරණය කරගනිමින් ජීවිත අත්දැකීම් ලබමින් ගොඩනැගෙන අන්තර් පුද්ගල සබඳතාවයන්ට දරුවන් යොමු නොවීම නිසාවෙන් ඔවුන් සමාජය හා ගැටෙන වයස වන විට  සමාජ සබඳතාවයන් පිළිබඳ අවබෝධයක් නැති නිසාවෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑමටත් සිදුවෙනවා.

එසේම ඉලෙක්ට්‍රොනික් උපකරණ සමග දවසේ වැඩි කාලයක් දරුවා ගත කිරීම නිසාවෙන් කය වෙහෙසා සෙල්ලමි වල නිරත නොවන නිසා බෝ නොවන රෝග වලට දරුවන් ගොදුරු වීමේ අවධානමක්ද ඇත.

ඕනෑම දෙයක් අනවශ්‍ය ආකරයට පාවිච්චි කලොත් වෙන්නේ විනාශක් නේ. සීමාව දැනගෙන කටයුතු කලොත් ඒවායෙන් නිවැරදිව ප්‍රයෝජන ගන්න පුලුවන්. එ නිසා දරුවන්ගේ වයස අනුව ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය පිළිබඳ අවධානය යොමු කලයුතුයි. අවුරුදු දෙකට අඩු දරුවන්ට ඉලෙක්ට්‍රොනික් උපකරණ කිසිසේත් නුසුදුසු බවත් දෙකත් හයත් අතර දරුවන්ට පැයක් හෝ පැය භාගයක් පමණත් හයත් දොළහත් අතර දරුවන්ට පැයක් හෝ දෙකකට පමණක් සීමා කල යුතු බව පර්යේෂකයෝ අවධාරණය කර ඇත. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිත කරන්නේ නම් ඒ සඳහාද කාල සීමා පැනවීම අවශ්‍යවේ.

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here