දරුවන්ට සාරධර්ම හුරු කරමු

worship_parents

අද දරුවන්ගේ කිසිම සදාචාරයක් නැහැ…අපිට නිතරම ඇහෙන මේ තත්වයට ඇඟිල්ල දිග් කළ යුත්තේ කාටද…දරුවෙක් බිහි කළ පමනටම  ඔබ සර්ව සම්පූර්ණ දෙමව්පියන් බවට පත් වෙන්නේ නැහැ. “හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී…” යන යහ සිත-විල්ලට ගැලපෙන විදිහට ඔබ දරුවෙක් ලෝකයට දායාද කරන්නේ නම් සැබැවින්ම ඔබ වාසනාවන්ත මව්පියන්ය.. ඒ වගේම ඔබේ දරුවා ලෝකයට ආශිර්වාදයකි.

අපි හැම දෙනෙක්ම සාරධර්ම ගැන කතා කරනවා. ඇත්තටම සාරධර්ම යනු මොනවාද…සාරධර්ම විදිහට අපි හඳුන්වන්නේ සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් අපි හැම දෙනෙක් තුළම පැවැතිය යුතු ශික්ෂනයක්. දරුවා සදාචාරාත්මකව හැඩගැසුනොත් ලෝකය ඉබේටම යහපැවැත්මෙන් යුක්ත වෙනවා. ඒ නිසා දරුවා සදාචාරාත්මකව හැඩගස්වන්නේ කොහොමද….?

අතීතයේදී මවක් දරුවාගේ සාරධර්ම ගැන හිතුවේ කුස තුළ සිටියදී පටන්. ඇය බෙහෙවින්ම සීලවන්ත හැසිරීමක් ගොඩ නගා ගත්තා. මහමායා දේවිය පවා දරු ගැබ පිලිසිඳ ගන්නා දිනයේ සිටියේ පෙහෙවස් සමාදන් වී බව අපි දන්නවා. දරුවෙක් ගැන පතන හැම සිහිනයක් පිටුපසින්ම තිබුනේ ධාර්මික ගති පැවැතුම්. ඒ නිසාම දරු කලලයත්  දැහැමි සිතුවිලි වලින් පෝෂණය වුනා.

විද්‍යාව පවා පිලිගෙන තිබෙන විදිහට ගැබිණි මවකගේ හැසිරීම දරු කලලයට බලපානවා. ඒ නිසා මවක් විදිහට ඔබ නිරන්තරවම දැහැමි විදිහට හෙවත් සාර්ධර්ම අනුව ගති පැවැතුම් ගොඩ නගා ගන්න. ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ කියන්නා සේම දෙමව්පියන් විදිහට ඔබ සදාචාරාත්මක නොවන විදිහට හැසිරෙමින් දරුවාගෙන් සාරධර්ම බලාපොරොත්තු වෙන්න බැහැ.

අවවාදයට වඩා ආදර්ශය උතුම්බව

ඔබේ දරුවා සාරධර්ම තුළ හැඩගැස්වීමට නම් අවවාදයට වඩා ආදර්ශයෙන් ඒ බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගැන්වීම ඉතා වැදගත්ය. කකුලුවා හරහට යමින් දරුවන්ට කෙලින් යෑමට පාර කිව්වත් අර්ථයක් නොවන සේ ඔබ දරුවන්ට ඒ පිලිබඳව ආදර්ශයෙන් කියා දීම වැදගත්ය. එක්තරා ජනකතාවක දැක්වෙන අන්දමට තම පියාට වලං කටුවක ආහාර පාන දෙමින් ඔවුන් සුවසේ ජීවත් වූහ. දිනක් මෙම මැටි වලං කැබැල්ල දක්නට නොවුයෙන් පියා ඒ පිලිබදව විමසා සිටියදී කුඩා දරුවා කියා සිටියේ තාත්තා වයසට ගියාම කන්න දෙන්න මම වලං කැබැල්ල අරගෙන තිබූ බවයි. මේ අන්දමට මව්පියන්ගේ හැසිරීමත් දරුවන්ගේ සාරධර්ම ගොඩ නැගීමට වඩාත් වැදගත් වෙන බැව් නොරහසක්.

ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි…”

මෙම කවියෙන් කියවෙන්නා සේම දෙමව්පියන් වන ඔබත් පූර්වාදර්ශ චරිත නොවුනොත් ඔබේ අවවාද අනුශාසනාවන්ද වැද්දන් දෙසන බණ තත්වයට පත් වෙනු ඇත. නිතරම දරුවන්ට අම්මා…තාත්තා වගේ හැදෙන්න කීමට තරම් ඔබ ආදර්ශමත් චරිතයක් විය යුතුමය.

ඒ වගේම සාරධර්ම මේවා යැයි අවවාද ලබා දීමටත් වඩා සාරධර්ම නිසා ඇති වෙන යහ ප්‍රතිඵල පිලිබඳව දරුවන්ටම අවබෝධ විය යුතුයි. මේ වෙනුවෙන් ඉතාම රසවත් කවි, කතාන්දර අප අතර ඇත. සාම ජාතකය වැනි ජාතක කතා මගින් මව්පියන්ට සැලකීමේ වටිනාකම දරුවන්ට කියා දීම එතරම් අපහසුවක් නොවේ.

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි ”

මේ අන්දමින් පරමාදර්ශි චරිත ගැන දරුවන්ට සාහිත්‍ය මගින් කියා දීම අපහසුවක් නැත.එවිට ඔවුන්ගේ හදවතට මෙම යහගුණ අනුගමනය කිරීමේ වටිනාකම ඉතාම හොදින් ඒත්තු යනු ඇත.එය වචන දහසකින් ලබා දෙන අවවාදයන්ට වඩා දරුවන්ට අගනේය.

ආගමික වටපිටාවට දරුවා හුරු කරන්න

ඔබ අදහන ආගම කුමක් වුනත් මේ හැම ආගමකින්ම කියා දෙන්නේ සමාජයේ ජීවත්වමට අවශ්‍ය යහගුණ බව අමතක නොකරන්න. ඒ නිසා බාලකාලයේ පටන්ම පන්සල,පල්ලිය, කෝවිල මේ කුමන ආගමික ස්තානයකට වුව දරුවා කැටුව යන්න. උදේ හවස තමන් අදහන ආගම දහමට අනුව ජීවිතය හැඩ ගසන්න.

දහම්පාසල් අධ්‍යාපනය

ඔබ කුමන ආගමක වුනත් දහම්පාසලක් වෙත දරුවා යවන්න අමතක නොකරන්න. අද ඉරිදා දිනයන්හි පංති තහනම් කිරීමේ නියෝගයන් පැනවීමට තරම් අවශ්‍යතාවයනක් ගොඩ නැගී ඇත්තේ දරුවන් දහම් අධ්‍යාපනයට ඇති පසුගාමී බවයි. ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේද උනන්දුව ඇති වීම ඉතා වැදගත්. බොහෝ මෙව්පියන් කල්පනා කරන්නේ ඉරිදා දිනයටත් දරුවන් දහම්පාසල් වෙත කැඳවා ගෙන යෑමට ගිය විට ඔවුන්ගේත් කාලය සහ විවේකය නැති වෙන බවයි. ඒ වුනත් දහම් අධ්‍යාපනයෙන් දරුවා හැඩගැසීම යනු අනාගත ආයෝජනයක් බව හිතන්න.

දිනපතා පාසලෙන් දරුවා ලබන අධ්‍යාපනයට වඩා දහම්පාසලකින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නවා ඇත. සමගිය, සාමය වගේම අනුකම්පාව, ගිලනුනන්ට උපස්තානය, බෙදා හදා ගැනීම වැනි බොහෝ යහගුණ ඉගෙන ගැනීමට හොඳම තෝතැන්න දහම්පාසලයි.අද දරුවන් තුළ බදා ගැනීම විනා බෙදා හදා ගැනීමක් නැත. ඒත් දහම්පාසලකදී ප්‍රායෝගිකව සිදු වෙන දන්සල්, දානමය පිංකම් නිසා දරුවන් තුළ දීමට පුරුද්ද ඇති වේ. අනුන්ගේ දුක වේදනාව ඉදිරියේදී සහකම්පනය වගා වීමටත් මෙවැනි කටයුතුවලින් නොදැනීම ඇති වෙන පුරුදු බවට පත් වේ.

වැඩිහිටි සහ ළමා නිවාස වෙත දානමය කටයුතු සඳහා සහභාගී වෙන දරුවා තමාට තිබෙන පහසුකම් ගැන නොවන තවත් දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් පිලිසරණක් නොමැතිව සිටින බව දැකීමෙන්ම ඒ ගැන යම් වැටහීමක් ලබා ගනු ඇත.

මව්පියන් විදිහටත් යහගුණ වගා වෙන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න

දරුවන්ගේ උපන්දින උත්සවයන්හිදී ඉහළ පෙලේ හෝටලයක සාද පවත්වනවාට වඩා සමාජයේ සිටින අසරණ දරුවන්ට හා වැඩිහිටියන්ට සරණක් වීමට මගක් දරුවාට පෙන්වන්න. ඉගෙණුම් උපකරණ නැති පාසලක, පංතියක හෝ අසල්වැසි දරුවන්ට ඒ වෙනුවෙන් උපකාර වෙන්න. වාර්තා තබන කේක් කපනවා වෙනු‍වට එම වැය බර යහපත් කටයුත්තක් වෙනුවෙන් යොදවන්න. එහිද සමාජය සමග එකට එක්ව ජීවත් විය යුතු අන්දම දරුවා හඳුනා ගනු ඇත.

බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වී ඇත්තේ දරුවා තමාට වඩා ඉහල සමාජ තත්වයට ඔසවා තැබීමයි. ඒ වෙනුවෙන් වෙර දරනවා විනා හැම දෙනෙක් සමගම එකට එක්ව ජීවත්වෙන අන්දම කියා දීමට මැලිය. එය මැලිකමට වඩා උනන්දුවක් නොදැක්වීක් යැයි කිව හැකිය. එහෙත් දරුවන් තුළ සාරධරම ගොඩනැගුනොත් ඔහු තුළ සමානාත්මතාවය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම එතරම් අපහසුතාවයක් නොවේ.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here