- Advertisement -

කසළ කළමනාකරණය දරුවන්ට පුරුදු කරන වටිනා ක්‍රම 6ක්

-

කසල කලමනාකරණය සහ බැහැර කිරීම පිළිබඳව සමාජයේ වැඩිම අවධානයක් යොමු වී ඇති කාලයක් ලෙස විශේෂයෙන්ම මේ වසර සඳහන් කරන්න පුළුවන්. මේ වැඩපිළිවලෙහි ඉදිරි කටයුතු සිදුවන්නේ අද කුඩා දරුවෙක්ව සිටින ඔබගේ දරුවා අතින්. කසල කළමනාකරණය වගේම එය නිවැරදිව බැහැර කිරීමේ විනය ඔහුට හෝ ඇයට ලබා දෙන්න ට පුළුවන් නම් එය අනාගතයේ ඔවුන් පත්වන අසීරුතාවයන්ගෙන් මුදවාගන්නට දෙමව්පියන් වන ඔබට  හැකියාව ලැබේවි.

දරුවන්  සරල දිවි පැවැත්මක් ඇති අය බැවින් කසල කළමනාකරණයේ සංකීර් ණ සංකල්ප හෝ එහි බලපෑම තේරුම් ගැනීමට තරම් ඔහුට හැකියාවක් නැහැ. නමුත් එම සංකල්ප සරලව ඔවුන්ගේ මතකයේ ස්ථිරව තැන්පත් කිරීමට ඔබගේ කුඩා ක්‍රියාකාරකමක් සමත් වේවි.

- Advertisement -
වගකීම පවරන්න

අපේ එදිනදා සෑම ක්‍රියාකාරකමකින්ම කසල නිර්මාණය වන බව දරුවා දැන සිටියත් එය බැහැර කිරීමේ ක්‍රමවේදයක් ගැන ඔවුන් සිත කරදර කරගන්නේ නැහැ. ඒ එය වැඩිහිටියන් විසින් සිදු කිරිමට උත්සාහ දරණ නිසායි. නිවසේ දී කරන අත්වැඩකදී හෝ වෙනත් කටයුත්තක දී එකතු වන කසළ නිවැරදිව වෙන් කර ඉවත දැමීමට ඔවුන්ට සහාය වන්න. ඒ සඳහා නිවෙසේ ඇති සම්මත වර්ණ සහිත බඳුන් හඳුන්වා දෙන්න. එම බඳුන් වල දැමිය යුතු කසල වර්ගය සඳහන් කිරීම ඔවුන්ට පහසුවක් වේවි. තමන් නිර්මාණය කළ කසල නිවැරදිව බැහැර කිරීම තමන්ගේ වගකීමක් බව ඔවුන් කෙටි කලක් තුලදීම අවබෝධ කරගනීවි.

පාසලට කුඩා බෑගයක් යවන්න

කොළඹ  ප්‍රදේශයේ පාසල් වල ඇතිවී තිබෙන නව ප්‍රවණතාවය වන්නේ පාසලේ මෙතෙක් තිබූ කසල බඳුන් ඉවත් කිරීමයි. එවිට එම දරුවන්ට තමන් විසින් පාසල් ක්‍රියාකාරකම්වලදී  නිර්මාණය වුණු කසල ආපසු නිවසට ගෙන ඒමට සිදුවෙනවා. බොහෝ දරුවන් ඒ සියල්ල ආපසු පාසල් බෑගයට දමා ගන්නවා මිස එය බැහැර කිරීමේ ක්‍රමයක් ගැන සිතන්නේ නැහැ. සති අන්තයේ පාසල් බෑගය සකසද්දී  එහි ඇති කැපුණු කඩදාසි, පොලිතීන් බෑග්, පැන්සල් කුඩු සහ අත්කම් නිර් මාණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙණු දක්කට පුළුවන්. මෙයට හොඳම විසඳුම වන්නේ දරුවාට ඒ සඳහා පරිසර හිතකාමී කුඩා බෑගයක් ලබා දීමයි. එය සම්මත වර්ණ අනුව කොටස් තුනකට බෙදුණු බෑගයක් නම් ඔබ දරුවාට කසල වෙන්කර බැහැර කිරීමේ මූලික සංකල්පය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලබා දී අවසන්.

නිවාස සැලසුම් පෙන්වන්න

නවීන නිවාස ඉදිකිරීමේ දී සහ ගෘහ උද්‍යාන සකස් කිරීමේ දී  කසල බැහැර කිරීමට තැනක් අනිවාර්යයෙන් වෙන්කිරීමේ ප්‍රවණතාවයක් තිබේ. එහෙත් එය මූලික සැලැස්මේ ඇති බැවින් එයින් නිවසට හෝ උද්‍යානයට අලංකාරයක් ලබා දෙනවා විනා අනවශ්‍ය ඉඩකඩ නාස්තියක් වෙන්නේ නැහැ. එවන් සැලසුම් කෙරෙහි දරුවාගේ අවධානය යොමු කරවන්න. ඔවුන් අනාගතයේ තමන්ගේ නිවාස ගොඩනැගීමේ දී හෝ අන් අය සඳහා නිවාස සැලසුම් කිරීමේ දී ඔබ ලබාදුන් මාර්ගෝපදේශය කිසිදා අමතක නොකරනු ඇත.

පරිසර තරඟ වලට දරුවා සහභාගී කරන්න

පාසල් මගින් හෝ විවිධ පරිසර සංවිධාන මගින් පැවැත්වෙන තරඟ, ප්‍රදර්ශණ සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම ඉතා වැදගත්. මෙහිදී දරුවාට පරිසරයට ඇළුම් කරන තමන්ගේ සමවයස් කරුවන් හමුවනවා පමණක් නොවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් ද හමුවෙනවා. දරුවන්ට ක්‍රියාකාරකම් ඇසුරින් ඉගන ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ඉන් ලැබෙනවා. කසළ කළමනාකරණය පිළිබඳව දරුවන්ගේ නිර්මාණ දුටුවොත් එයි ඇති නව අදහස් පිළිබඳව ඔබත් විමතියට පත්වේවි. අනාගතයේ දිනක කසළ කළමණාකරණය පිළිබඳ දරුවා නිර්මාණශීලි වීමේ අභිමානය නිසැකව විඳගැනීමට ඔබට  හැකියාව ලැබේවි.

ප්‍රායෝගික උදාහරණ දෙන්න 

ඔබේ ගෙදර කුණු එකතුවෙන තැනක් තිබේ නම් එය දරුවාට දෙන්නේ ඉතා වැරදි ආදර්ශයක්. නමුත් එය අවස්ථාවක් කරගනිමින් දරුවා සමග එකතු වී එය නිවසේ පරිශ්‍රයෙන් ක්‍රමාණුකූලව බැහැර කරන්න‍. එය ප්‍රසන්න නොවන අත්දැකීමක් බැවින් දරුවා එය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. නමුත් එය බලාසිටින්නට ඔහුට පුළුවන්. එහිදි දිරාපත් වන කසළ, එසේම දිරාපත් නොවන කසළ මොනවාද යන්න ඔහුට පෙනේවි. සියළුම වර්ගයේ කසල අක්‍රමවත් ආකාරයට බැහැර කිරීම නිසා ඔබ සියල්ලන්ම විඳින අපහසුතාව ඔබ මෙන්ම ඔහුත් වටහා ගනීවි.

ඔබගේ  ගෙවත්තේ ඉඩ පහසුකම් තිබේ නම් කොම්පෝස්ට් වලක් හෝ බඳුනක් දැනටමත් එහි තිබෙනවා වෙන්නට පුළුවන්.‍ එයින් පොහොර ලබා ගෙන කුඩා මිරිස් පැළයක් හෝ මල් පැලයක් දරුවා අතින් සිටුවා ඔහු එම ජාතික වගකීමේ කොටස්කරුවෙකු කරගන්න.

ඉවත දමන දේ තුළින් නිර්මාණ කරවන්න

පාසලේ අත්වැඩ සඳහා නිර් මාණ කරවීමේ දී හැකිතාක් දුරට ඉවත ලන දේ පාවිච්චි කිරිමට දරුවාට දිරි දෙන්න. මේ සඳහා අදහස් අන්තර් ජාලය තුළින් ද ලබා ගැනීමට පුලුවන. වෙළඳ සැලෙන් මිලදී ගන්නා බොත්තම්, ස්ටිකර් වැනි දේ යොදවා කරන නිර්මාණ වලට වඩා ඉතා නැවුම් අත්දැකිම් එක් කරගන්නට ඔබේ දරුවාට ඉඩ ලබා දෙන්න. එයින් දරුවා නව නිර්මාණ අදහස් එකතු කරගන්නවා සේම කසල විධීමත් යමක් සඳහා යොදවා  බැහැර කරන ප්‍රමාණය අවම කරගත් බවත් වටහා දෙන්න.

මේ ක්‍රියාකාරකම් සියල්ල ඔබට එදිනෙදා ජීවිතය තුළ කළහැකි දේවල්. අවශ්‍ය වන්නේ ඔබේ කැමත්ත සහ අවධානය පමණයි. එහෙත් එමගින් ඔබ දරුවාට ලබා දෙන විනය ඔහු සිය ජීවිතය ගොඩනැගීමේ දී අඩිතාලමක් කරගන්නා බව නිසැකයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය විසින් සකසන ලද ලිපියකි

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article